පසුගියදා ඇති වූ එක්ස්ප්‍රස් පර්ල් (X-PRESS PEARL) නැවේ ගින්න අපේ මුහුදේ සත්ව ලෝකයට කළ හානිය මුදලින් පූර්ණය කළ නොහැකියි. ලෝක සාගර කැස්බෑදිනය (World Sea Turtle Day 2021) යෙදුණු ජූනි 16දා වෙන කොට මියගිය මුහුදු කැස්බෑවන්ගේ සිරුරු පනහකට වැඩිය වෙරළට ගොඩ ගසා තියෙනවා. මුහුදු කැස්බැවන් විතරක් නොවෙයි මේ වන විට තල්මසුන් දෙදෙනෙක්, ඩොල්පින් මසුන් කීපදෙනෙක් ද මේ මරණ ලැයිස්තුවට එක් වෙලා තියෙනවා. මාළුන්ගේ ගණන මෙතෙකැයි හරියට කියන්න බැහැ. (ජූනි 30 අධිකරණයට කරුණු දක්වමින් නීතීඥයන් කීවේ කැස්බෑවුන් 176ක්, තල්මසුන් 4ක් හා ඩොල්පින් 10ක් මිය ගිය බවයි.)
ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළ තීරය දිගටම සාගර ජීවීනට අහිතකර අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නැවේ තිබුණු බහාලුම්වලින් පිටතට විසිවී පාවී අවුත් වෙරළ පුරාම ගොඩ ගසා ඇති අතර ඒවා ඇතුළු ගොඩ ගැසූ අපද්‍රව්‍ය, ශ්‍රී ලංකා නාවුක හමුදාව, පොලිසිය හා වෙරළාරක්ෂක පිරිස් විසින් පරිස්සමෙන් එකතු කොට බහාලුම්වලට දමනු පසුගිය දින කීපය තිස්සේ ම අප දුටුවා. එවැනි බහාලුම් 44කට වැඩිය එක තැනක තිබෙනු දැක ගත හැකි වුණා.
කැස්බෑවන් හා ඉබ්බන් ආරක්ෂා කළයුතු සතුන් ලෙසයි, සැලකෙන්නේ. ඒකයි ඔවුන් වෙනුවෙන් ලෝක කැස්බෑ දිනය (මැයි 23) හා ලෝක සාගර කැස්බෑවන්ගේ දිනය (ජූනි 16 වැනිදා) කියා දින දෙකක්ම නම් කර ඇත්තේ. ලොව පුරාම විසිර සිටින මේ සතුන් ආරක්ෂා වුණොත් විස්මිත කාලයක් ජීවත්වේවි. සාන්ත හෙලේනා දූපතේ අවුරුදු 187ක් ජීවත්වූ සතකු උන් බව වාර්තා වෙනවා. අවුරුදු සීයක් තිස්සේ ජීවත්වන ඉබ්බන් සත්වෝද්‍යානවල ඉන්නවා.
ඉබ්බෝ හා කැස්බෑවෝ
මේ සතුන්ගේ සිරුරු සාමාන්‍යයෙන් ශල්කමය පතුරුවලින් සෑදුණු අස්ථිමය පිටකටුවකින් ආවරණය වී ඇත. උන් අයත් වන්නේ සර්පයන්, කටුස්සන්, කිඹුලන්, තලගොයන් ආදී සතුන් අයත් වන උරග (reptalia) සත්ව ගණයටයි. සත්ව විද්‍යාත්මක නාමය ටෙස්ටුටෝ එලිගන්ස් (Testuto eligance) වේ. ගෝත්‍රය කෙලෝනියා (Chelonia) වේ. ශ්‍රී ලංකාවේ දෙනිබිම්, මිරිදිය විල්, වැව්, ඇළදොළ, ගංගා, පොකුණු, වගුරු ආදිය ඇසුරු කර ගෙන වෙසෙන මේ ගෝත්‍රයේ සතුන් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ ඉබ්බා හෝ ඉදිබුවා කියායි.
කරදිය ඇසුරු කර ගෙන, එනම් සාගරවල, මුහුදේ හා කලපුවල පමණක් ජීවත්වන මේ ගෝත්‍රයේ සතුන් හැඳින්වෙන්නේ කැස්බෑවන් (turtle) කියායි. එහෙත් ඇමෙරිකාවේ ‘ටෝටිස් (tortoise) කියා හැඳින්වෙන්නේ ජලය ඇසුරු කර නොගෙන, වියළි ගොඩබිම පමණක් වෙසෙන, සතකුටය. මේ ගෝත්‍රයට අයත් සතුන් පොදුවේ හැඳින්වෙන්නේ ටර්ට්ස්ල් (turtles) කියායි.
ශ්‍රී ලංකාවේ දී ගොඩබිම හා මිරිදිය ජලාශ ඇසුරු කර ගෙන ජීවත්වන මේ සියලුම සතුන් ‘ඉබ්බන්’ ලෙස හැඳින්වෙනවා. ඒ නිසා ඉබ්බා උභයජීවියකු (ගොඩබිම හා ජලය දෙකෙහිම වෙසෙන) ලෙස ද හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ දී කැස්බෑවුන් ලෙස හැඳින්වෙන්නේ විශේෂයෙන් කරදියෙහි, මුහුදුවල හා සාගරවල වෙසෙන වඳවීමේ දැඩි අවදානමකට ලක්ව සිටින සත්ව විශේෂයටයි. මිරිදිය කලපුවලත් කැස්බෑවන් හමුවෙනවා.
ඉබ්බාට කෙටි තරබාරු පාද ඇති අතර, කැස්බෑවාගේ ඉස්සරහ ගාත් ජලයේ ජීවත්වීම පහසු වනු පිණිස අවල්පත් (flippers) ලෙස විකසනය වී තියෙනවා. මේවා භාවිත කොට ඌට ඉතා වේගයෙන් දියේ පිහිනා යෑම කළ හැකියි. වැඩි කාලයක් මිරිදියෙහි (පොකුණුවල) ජීවත්වන ඉබ්බන්ටත් ජාලපාද (webbed feet) තියෙනවා. ඉබ්බා මෙන්ම කැස්බෑවාත් බිත්තර දමන්නේ ගොඩබිමයි.
ඉබ්බාගේ මෙන්ම කැස්බෑවාගේ ද ආරක්ෂක පිටකටුව සෑදී ඇත්තේ මඳක් ආරුක්කු හැඩයක් ඇති උඩු කබලක් (carapace) හා පැතලි යටිකබලක්(plastron) එකට යාවීමෙනුයි. ඉලඇට හා පෘෂ්ඨීය කශේරුකා උඩුකබලට සම්බන්ධ වී තියෙනවා. ඒ නිසා උරමේඛලාව හා ශ්‍රෝණි මේඛලාව සාදන අස්ථි, ඇටවලට ඇතුළු පැත්තේ පිහිටා තියෙනවා. වෙනත් සැතුන්ගේ මේ ඇට ඇත්තේ ඉලඇටවලට පිටතිනුයි. මේ සතුන්ගේ හකුවල දත් නැත. කැපීමට හැකි කොරොස් ද්‍රව්‍යයකින් හකු ගැටි වැසී තියෙනවා.
ඉබ්බන් හා කැස්බෑවුන්ගේ පිටකටුව, ආවරණය අනුව වෙනස් වෙනවා. ගොඩබිම පමණක් වෙසෙන ඉබි විශේෂවල පිටකටුව, හිස හා ගාත් ඇතුළට ගැනීමට තරම් විශාලය. ගාත්වල ඇඟිලි සියල්ලම එකට බැඳී තියෙනවා. ඒවා පිටතින් වෙන්වී ඇත්තේ නියවලිනුයි. මිරිදිය ඩබිබාගේ ඇඟිලි පැහැදිලි ලෙස වෙන්වෙනවා. ඇඟිලි අතර බැඳි පටලයක් ඇති නිසා ඒවායින් දිය මත පිහිනා යාම පහසු කර වනවා. මුහුදු කැස්බෑවුන්ගේ ඉදිරි ගාත්වල ඇඟිලිද එකට යාවී තියෙනවා. ඒ වගේම ඉදිරි ගාත් දෙක සම්පූර්ණයෙන් ම අවල් පෙති දෙකක් ලෙස හැඩ ගැසී තියෙනවා.
ඉබ්බන් හා කැස්බෑවුන්ගේ ශරීර ප්‍රමාණයෙන් හා හැඩහුරුකමින් විවිධයි. උඩුකබල විවිධ හැඩ හා රටාවලින් මෙන් ම විවිධ වර්ණයෙන් ද යුක්තයි. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉන්නා තාරුකා ඉබ්බාගේ උඩුකබල දැව කැටයම් බඳු විචිත්‍ර ගොඩැලි ඇති අතර ඒවා කළු හා කහ පැහැයෙන් යුක්තයි. ඌට වයිරම් ඉබ්බා කියන්නේත් මේ නිසයි. පොතු (ලෙලි) කැස්බෑවා දුඹුරු කහ වර්ණවලින් යුත් සතෙකි.
මඩවගුරුවල වෙසෙන ඉබ්බන් එතරම් ලොකු මහත්වී වැඩෙන්නේ නැත. ඒ කුඩා ඉබ්බෙකු සෙ.මී. 10කට වඩා දිග නැත. ඇමරිකාවේ වෙසෙන අලිගැට ඉබ්බෙකු බරින් කි.ග්‍රෑම් 50ක් පමණ වෙනවා. ඔවුන් මිරිදිය ඉබ්බන් අතර දැවැන්තයන්ය. මුහුදේ වෙසෙන දාර කැස්බෑවා හෙවත් ලෙදර්බෑක් ටර්ට්ල් (leatherback turtle) දැවැන්තයන් අතර ඉහළින්ම වැජඹෙනවා. හොඳින් වැඩුණු පසු ඒ සතකුගේ සිරුර බරින් කි. ග්‍රෑ. 500ක් පමණ වෙනවා. කටුවේ දිග මී. 2කක් පමණ වෙනවා. දාර කැස්බෑවුන් වැඩියෙන් ම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ පුත්තලම හා මොරටුව අසල මුහුදේදියි. ඔළුගෙඩි කැස්බෑ වර්ග කීපයක් ම ශ්‍රී ලංකාව අවට මුහුදේ දැකිය හැකියි.
සීෂෙල්ස් හා ගලපගෝස් දූපත්වල වෙසෙන යෝධ ඉබ්බන්ගේ කටුව මීටරයකට වඩා දිගයි. බර කි. ග්‍රෑ. 227ක් විතර වෙනවා. ඉබ්බන් වර්ග 7ක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව ආචාර්ය දැරණියගලගේ වාර්තාවල තියෙනවා. මයිවර ඉබ්බා, හූනියම් ඉබ්බා, තාරුකා ඉබ්බා, මූකලන් ඉබ්බා, වැටකෙයියා ඉබ්බා, වයිරම් ඉබ්බා, කිරි ඉබ්බා කියා නම් කර තියෙනවා. මෙයින් කිරි ඉබ්බාගේ සත්ව විද්‍යා නාමය ලෙසිමිස් පැන්ඩියුලා සිලෙන්සිස් (Lessemys Zeylensis) වන අතර ඌ ශ්‍රී ලංකාවට ආවේණිකයි. ගොඩබිම වෙසෙන මෙම ඉබ්බන් සාමාන්‍යයෙන් ශාක භක්ෂකයන් වුවද ඇතැම් විට ගොළුබෙල්ලන්, කෘමීන් වැනි සතුන් ආහාරයට ගන්නවා. සාගර කැස්බෑවුන් මංශ භක්ෂකයන් ලෙස ප්‍රකටයි. ඔවුන් වැඩිපුරම කෑමට ගන්නේ කවචයන්, මෘද්වංගිකයන්, කුඩා මාළුන් හා අල්ගේ ශාක වර්ග ආදියයි.
0 Comments