HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අධිවේගී මාර්ගයක් හරහා සතුන්ට යන්න තැනූ විස්මිත පාලම!

කොළඹ යා කරන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ශ්‍රී ලංකා අගමැතිවරයා අතින් සුබ මෙහොතින් ආරම්භ වූ නිසා මහා මාර්ග ගැන මගේ හිතට ආ විවිධ අදහස් ටිකක් අද ඔබ ඉදිරියේ තබන්නයි, මේ හදන්නේ. මේවා අධිවේගී මාර්ගද? මහා මාර්ග ද? හයිවේද? එක්ස්ප්‍රස් මාර්ගද? නම් භාවිතයේ නම් පොඩි අවුලක් තියෙනවා. මුලින් ම අවුල ආවේ ‘ගුවන්පාලම’ යන වදනෙන්. අද අප අතර නැති විනී විතාරණ පඬිවරයා මගෙන් එදා ඇසුවේ ගුවනින් නැතිව පාලම් යන්නේ කොහෙන් ද කියායි. සෑම පාලමක්ම ගුවනින් තමා හදන්නේ. ගඟකට ඉහළින් ගුවනින් තනන්නේත් පාලමක්. ඒ නිසා ඒකට ‘පැන්නුම් මග’ හෝ ‘පැනුම් පාලම’ කියා කියන්න පුලුවන්. හරි හෝ වැරදි වුනත් දැන් තහවුරු වෙලා තියෙන්නේ ‘ගුවන් පාලම’ යන්නයි. 

මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගයේ කොටසක්

ආදි රෝමයේ පාරවල් උසට තියෙන්නයි හැදුවේ. ඒ හින්දා තමයි, ඒවාට ‘උස් මඟ’ යන අරුත් ඇතිව ‘හයිවේ’ (high way) කියා කීවේ. ඒවා බොහෝ විට කඳු මතින් හෝ පස් කඳු තනා ඒ මතින් තමයි, ඉදි කළේ. ඒත් අද එය ‘හයි’ (high) යන වදන ‘ප්‍රධාන’ කියන අරුතෙනුයි යොදන්නෙ. ඒත් අපේ රටේ අය ‘හයිවේ’ යන්නට යොදන්නේ expressways කියන‘අධිවේගී මාර්ග’ යන අරුතෙන්. එහෙම කිව්වාට අපේ රටේ පාරවල පැයට කිලෝමීටර් 100කට (පැයට හැ. 63කට) වඩා වැඩි වේගයකින් යන්න අවසර නැහැ. නාම පුවරු සවිකරල තියෙන්නේ 100ට වඩා වේගෙන් යන්න බැරි බව කියලයි. 

රටවල් 16ක් හරහා යන ලොව දිගම අධිවේගී මාර්ගය 

ගිනස් පොතට අනුව ලෝකයේ මහා මාර්ග අතරින් දිගම අධිවේගී මාර්ගය පෑන් ඇමරිකන් මාර්ග (Pan-American Highway) පද්ධතියයි. එය සැ. 16,000ක් (කි. මී. 25,750) දිගයි. එය ඇමරිකා එක්සත් ජනපදය, මැක්සිකෝව, කැනඩාව, කොස්ටා රිකා, පේරූ ඇතුළු රටවල් 16ක් හරහා දිව යනවා. 

මේ සුපිරි මහා මාර්ග තැනීමෙන් විශාල පහසුවක් සැලසෙනවා. දුර ගමන් බිමන් ඉක්මන් වෙනවා. දුර පළාත්වල තියෙන බඩු භාණ්ඩ ඇතුළු විවිධ සම්පත් හුවමාරු කර ගන්න පහසුවෙනවා. මුළු රට පුරාම සංවර්ධනය ගෙනියන්න හැකියාව ලැබෙනවා. දිළිඳු බව නැති කරන්නත් එයින් මග පෑදෙනවා. 

ශ්‍රී ලංකාවේ මහා මාර්ග ඝනත්වය දකුණු ආසියාවෙ වෙනත් කිසිම රටකටත් වඩා වැඩියි. 2016 දී එය වර්ග කි.මී. 100කට කි.මී. 173.9ක් කියලයි කියන්නේ. ලෝක බැංකු වාර්තාවලට අනුව 2018 වන විට අපේ රටේ A පන්තියේ හා B පන්තියේ පාරවල් කි.මී. 12,220,661ක් තියෙනවා. අපේ රටේ දිගම මහා මාර්ගය ලෙස සැලකෙන්නේ A4 high way මාර්ගය එනම් කොළඹ සිට මඩකලපුව තෙක් දිවෙන මහා මාර්ගයයි. එහි දිග කි.මී. 430ක්(සැ.270ක්). මහනුවර සිට යාපනය දක්වා දිව යන මහා මාර්ගය කි‍. මී 321ක් දිගයි. 

මාර්ග සංඥා හා රතු කොළ එළි යෙදූ හැටි 

මාර්ග සංඥාවලට වර්ණාලෝක යොදා ගත්තේ 1912 දී ලෙස්ටර් එෆ්. වයර් (Lester F. Wire) නම් ඇමරිකානු රථවාහන පොලිස් නිලධරයෙක්. මහාමාර්ගවල වාහන හසුරුවලා විඩාවට පත්වෙලා හිටිය ඔහු, කුරුලු කූඩුවක් වැනි පෙට්ටියක් තනා, ඒ දෙපැත්තෙන් අඟල් හයක රවුමක් කපා ඇතුළට කොළ හා රතු පාට කළ විදුලි බුබුළු දෙකක් යොදා එහි වර්ණ මාරු කිරීමට දෑතට යෙදූ ස්විචයක් යෙදුවා. ඔහුට ඒක අතින් මෙහෙයවන්නට සිදු වුණා. රතු පාට වැටෙන කොටම නවත්තන්න වෙන අපහසුව මඟ හැර ගන්න කොළ පාට එක්කම කහ පාට යොදන්න පටන් ගත්තේ පසු කාලෙකයි. ඇමරිකාවේ සෝල්ට් සිටිවල තමයි මේවා මුලින්ම යොදා ගත්තේ. මේ බව සටහන් වෙලා තියෙන්නේ හෙන්රි පෙට්රොස්කි (Henry Petroski)ගේ ‘ද රෝඩ් ටේකන්’ (The Road Taken) නම් පොතෙයි. මහ පාර මැද සුදු ඉර පිළිබඳ අදහස ආවේ 1917 දී එඩ්වඩ් හයින්ස් (Edward Hines) නම් ඇමරිකානුවාටයි. ඔහු හදමින් හිටි ඒ පාරට තාර දමමින් සිටිය දී කිරි ගෙන ගිය බවුසරයකින් වූ කාන්දුවක් නිසා ඇදී ගිය කිරි පාරක් දැකලයි ඔහුට පාර සලකුණු කරන්නට සුදු තීන්ත යොදන අදහස ආවේ. 

ඉන්දියාවේ මහා මාර්ග පද්ධතිය එරට සංවර්ධනයට ලොකු රුකුලක්. 

ලොව විශාලතම මාර්ග පද්ධතියක් ඉන්දියාව සතුව තියෙනවා. විශාල රටක් හැටියට එහි ඇති අධිවේගී මාර්ග පද්ධතිය රට පුරා ඇති මහා මාර්ග එකට යා කරනවා පමණක් නොව එරට ප්‍රාන්ත ද එකට එකක් සම්බන්ධ කරනවා. 

ඉන්දියාවේ දිගම අධිවේගී මාර්ගය ලෙස හැඳින්වෙන්නේ අංක එන් එච් 44 උතුර-දකුණ යා කරන මාර්ගයයි. එය ශ්‍රී නගර්වල සිට කන්‍යාකුමාරි තෙක් දිව යනවා. එහි කි. මී. 3,745ක්. ජාතික අධිවේගී මාර්ග අතර විශිෂ්ටතම මාර්ගය ලෙස සැලකෙන්නේ මහත්මා ගාන්ධි අධිවේගී මාර්ගයයි. අහමදාබාද්වල සිට වදෝදරා දක්වා දිවෙනවා. එහි දිග කි.මී. 93කි. ගුජරාටි ප්‍රාන්තයේ ඉදි කර ඇති මෙය 2009 වසරේ නිම කරන ලද්දකි. 

දැනට ඉදිවෙමින් පවතින තඩවත-මීරිගම අධිවේගි මාර්ගයේ කොටසක්.

මහ පාර හරහා යන ළමයින්ගේ පදික මාරු 

මහා මාර්ග අසල තියෙන විදුහල් ළඟ ඒ විදුහලේ ම ළමුන් පාසල් ආරම්භ වෙන වෙලාවටත් පාසල ඇරෙන වෙලාවටත් මාර්ගය හරහා යන ළමයින් වාහන නවත්වා පාර හරහා යන්නට උදවු කරනවා ඔබ කොතෙකුත් ඇති. දැන් නම් පොලිස් නිලධරයෙක් හෝ නිලධාරිනියක් යොදවා තිබෙනු දැක ගන්න පුලුවන්. ඒත් පාසලේම ළමුන් ස්වේච්ඡාවෙන් ඒ කටයුත්තේ යෙදෙනවා මුලින් ම දැක ගන්න ලැබුණේ මහනුවර කිංස්වුඩ් විදුහල ඉදිරිපිටින් ඇති නුවර පාරෙදියි. මේ සිද්ධියට මට කීවේ මීට වසර 40කට විතර ඉස්සර පොලිස් මූලස්ථානයේ සේවය කරපු එස්. බී. සේනාරත්න කියලා පොලිස් අධිකාරි වරයෙක්. ඔහු වචනවලින් ම ඒ කතාව මෙහෙමයි. 

“1950 ගණන්වල අපි ඉස්කෝලෙ යන කාලේ නුවර කිංස්වුඩ් විද්‍යාලය ළඟ නිතරම ළමයින්ට නුවර පාරෙ යන වාහනවලින් අනතුරු සිදු වුණා. උදේට පාසල පටන් ගන්න වෙලාවට පාර හරහා පැන ගන්න අමාරුයි, නවතින්නේ නැතිව එක පෙළට වාහන යනවා. මම අනිත් ශිෂ්‍ය නායකයන්ටත් කතා කරලා කිව්වා. අපි උදේටයි හවසටයි ළමයි යන වෙලාවට පාර හරහා යන්න උදවු කරමු කියලා. ඒ අය කැමති වුණා. විදුහල්පතිතුමා ඒක ඉතා ඉහළින් අනුමත කළා. පරිස්සම් වෙලා කරන්න කිව්වා. 

“‘කරුණාකර ළමුන්ට පාර හරහා යන්න ඉඩ දෙන්න!’ කියලා බෝඩ් දෙකක් ලෑස්ති කර ගත්තා. පහුවදා ඉඳලම අනිත් ළමයිනුත් එක්ක පටන් ගත්තා. පහුවදා පොලිසි යන්න සිද්ධ වුණා. අපි ගිහින් සහකාර පොලිස් අධිකාරි හම්බ වුණා. ඒ කාලේ පොලිසියෙ මේ වගේ දේවලට යොදවන්න තරම් පිරිස හිටියෙ නෑ. අපට ප්‍රශංසා කරලා අපට අවශ්‍ය දේ ගැන ඇහුවා. රියැදුරන්ට පේන්න උඩින් දාගන්න ජැකට් එකක්, ‘නවතින්න!’ කියන අත්පුවරු කීපයක් තමයි අවශ්‍ය. ඒවා ඇඳලා දෙන්න ඕනෙ විධිය. අපි හදලා දෙන්නම් කිව්වා. හැමදේම හොඳින් කෙරුණා. 

“මාසයක් යන කොට අපිට ඒ පාරෙ නිතර යන එන රියැදුරන්ගේ ආදරය ගෞරවය විතරක් නෙමෙයි කෑමබීම තෑගි බෝග ආදියත් ලැබුණා. ඒ විතරක් මහනුවර පොලිසියේ මෙහෙය වීමෙන් අනෙක් පාසල් අසලත් මේ සේවය ක්‍රියාත්මක වුණා. මං පොලිසියට බැඳිලා සේවය කරද්දි තමයි මට මේක හැකි වුණේ ඒ ආරක්ෂක වැඩ පිළිවෙළ, පොදු නිල ඇඳුමක් දීලා, මුළු ලංකාව පුරා ම පාසල් අසල ක්‍රියාවේ යොදවන්න පුලුවන් වුනේ.” සේනාරත්න මහත්තයා හරිම ආඩම්බරෙන් මා එක්ක ඒ කතාව කිව්වෙ. අද එතුමා ජීවතුන් අතර නැහැ. ඒත් උදේට පාසල් අසලින් යන හැම විටම මට එතුමාව මතක් වෙනවා. 

කඩවත-මීරිගම අධිවේගී මාර්ග කොටසට ‘බාලගිරි දෝෂය! 

අපේ අධිවේගී මාර්ග පද්ධතියේ කඩවත-මහනුවර කොටසේ කොස්සින්න-මීරිගම කොටසට බාධා ගණනාවක්ම ඇති වුණා. දාරළුවේ දී අවුරුදු සීයකට වැඩි කාලයක් වඳ වී ගිය ගසක් සේ සැලකූ කෲඩියා සිලනිකා නම් ශාකය හඳුනා ගන්න හරියටම මල් පිපෙනකම් වැඩ නවත්වා බලන් ඉන්න සිද්ධ වුණා. අපි ඒ ගැන ‘මල්කැකුළු’වලින් කීවා ඔබට මතක ඇති. දැන් ආයත් වැඩ නවතවලා තියෙනවා පහුගියදා ගම්පහට ඇති වූ මහ ගංවතුරට හේතුව මේ අධිවේගී මාර්ගයයි කියලා ජනතාව උද්ඝෝෂණය කරපු නිසා ආයිත් නවත්තලා තියෙනවා, ඒ ගැන සොයා බලලා ඒකට පිළියමක් යොදලා යළි පටන් ගන්න. 

වන සතුන් වෙනුවෙන් ම හදපු විස්මිත ගුවන් පාලමක්! 

කඩවත ඉඳලා මාතරට දිවෙන අධිවේගී මාර්ගයේ යනකොට තවත් විස්මයජනක ඉදිකිරීමක් දැක ගන්න පුලුවන්. ඒ අපරැක්ක වන සංරක්ෂිත කලාපය හරහා යන කොටසෙදියි. මේ කොටසේ දී වනාන්තරය දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා දෙකට බෙදෙනවා. ඒ නිසා ඒ වන සතුන්ගේ සංචරණ කටයුතුවලට බාධා වෙනවා. ඒක වළක්වන්න විස්මිත පාලමක් තනා තියෙනවා. ඒ පාලම තනා තියෙන්නේ ඒ වන සතුන්ට අධිවේගී මාර්ගයට උඩින් වනාන්තරයේ එහා මෙහා යන්නයි. මෙහෙම පාලමක් හදපු පළමු වතාව‍ මෙයයි.  ‍

අධිවේගයේ ඇති විස්මිත ගුවන් පාලම පහත වීඩියෝවෙන් බලන්න! 

ඒ පාලම දක්ෂිණ අධිවේගී මාර්ගයේ යද්දී දැක ගන්න පුලුවන්. අධිවේගී මාර්ගයට ඉහළින් විහිදෙන එකම ගුවන් පාලම මෙයයි. මේ කැලයට යන්න අවසර නෑ. ඒ නිසා සතුන්ට වෙන්වුණු මේ අරුම පුදුම පාලම ‘යූ ටියුබ්’ හරහා දැක ගන්න අපට අවස්ථාව සැලැස්සුවේ අපේ සුමිතුරු කිංස්ලි රත්නායක මාධ්‍යවේදියායි. ඔහු සිරස ගුවන් විදුලියේ ආරම්භයේ දීම ඊට එක් වී අලුත් අලුත් දේ ගෙනා අයෙක්. මෑතදී සිරස රූපවාහිනියේ ‘නියමාර්ථය, මිලින්ද මොරගොඩ සමග’ නම් වැඩසටහනෙන් ජනප්‍රසාදය දිනූ අයෙක්. වර්තමානයේ දී ඔහු සේවය කරන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසයි. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments