HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අප තුළ දෑඅනුරාගය ඇති කළ, අරිසෙන් අහුබුදු අපට අහිමිව දස වසරයි.

ආනන්ද සමරකෝන් ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය ලෙස නම් කිරීමට කලින් නමෝ විත්ත‍ියෙන්ම ලියා පුහුණු කර ගායනය කළේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ දී යැයි එහි තැන්පත් කර ඇති ඵලකයක සටහන්ව තිබේ. ඒ පිළිබඳ අපූරු සටහනක් සුන්දර නිහතමානී ද මැල්ගේ ‘මහින්දෙ තමයි ඉස්කෝලේ’ නම් කෘතියෙහි එයි. එය මෙසේය. 

‘ජාතික ගීය මහින්දයේ දී මුලින්ම ගායනා කිරීම අහම්බයක් වුනත්, ඒ වාසානාවන්ත සිද්ධිය තමන්ගේ පාසලේදී සිදුවීම ගැන මහින්දීයයෝ කවුරුත් ආඩම්බර වෙති. ඒ නිසා ජාතික ගීය නුසුදුසුය කියා එය වෙනස් කර වෙනත් ගීතයක් යොදා ගන්නට වරින් වර කෙරෙන යෝජනා ඔවුන්ගේ සතුටට හේතු වන්නේ නැත. එසේ වුවද ජාතික ගීයට වඩා ගැළපේ යැයි නිතර දෙවේලේ කියනු ලබන ‘ලංකා ලංකා පෙම්බර ලංකා’ ගීතයට නම් මහින්දීයයන් අකැමති වන්නට හේතුවක් නැත! සුනිල් සාන්තයන් ගයන මේ ගීතය අරිසෙන් අහුබුදුවන් ලියා ඇත්තේ ද ඒ මහතා මහින්දයේ ආචාර්යවරයෙකු ව සිටි කාලයේ (1948) බැවිනි.’ 

අරිසෙන් අහුබුදු කිවිඳා

ඒ ගීතය අරිසෙන් අහුබුදු ගීත රචකයෙකු වශයෙන් කරළියට ගෙනා මුල්ම ගීතය යි. සුනිල් සාන්ත නව ගී අරක් හඳුන්වා දෙමින් ජනප්‍රියත්වයේ කිරුළ වෙත පා තබමින් සිටි අවධියේදියි. 1939 දී ලියූ නිට්ටඹුවේ ගුරු විදුහල් සිසුවෙකු ලෙස සිටිය දී ඔහු සිය මුල් ම ගීය ලෙස ඒ විදුහල් ගීය නිර්මාණය කළ අහුබුදු සුනිල් සාන්තගේ ඇස ගැසුණේ, කොග්ගල දී පැවැත් වුණු දෙවන කුමරතුඟු සමරු උළෙලට අහුබුදු විසින් රචනා කළ කුමරතුඟු සමර ගීය නිසාය. අපට නව ගී ආරක් බිහි කර දුන් සුනිල් සාන්ත ඔහුට කළ එදිරිවාදුකම් ගැන කළකිරී සංගීතය අත හැරදැමීමෙන් පසු යළි සිනමාවට එක් වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඇවිටිල්ල මත ‘රේඛාව’ චිත්‍රපටයෙනි. 

අරිසෙන් අහුබුදු සිනමාවට ආවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සංදේශය’ චිත්‍රපටයෙනි. ලෙස්ටර්ගේ මුල් චිත්‍රපටය වූ ‘රේඛාව’ සඳහා ගීත ලියූ මර්සලීන් ජයකොඩි පියතුමා පෘතුගීසි සමය පසුබිම් කර ගත් චිත්‍රපටයක් වූ නිසා ඊට ගීත ලිවීම ප්‍රතිකේෂප කළේය. ඒ අනුව එතුමාගෙත් සුනිල් සාන්තගේත් ඉල්ලීම මත ඒ කටයුත්ත අරිසෙන් අහුබුදුට පැවරීමට ලෙස්ටර් එකඟ විය. ඒ ගීත සියල්ල ම, (‘කෝ හතුරෝ....,’ ‘පුර්තුගීසීකාරයා..,’ ‘සුදට සුදේ වලාකුළයි...,’ ‘පුන්සඳ එළිය යි...,’ ‘කටේ කිරි සුවඳ..’) පබැඳුවේ ඔහුය. එහි තේමා ගීතය මෙතෙක් චිත්‍රපටයක ආ ප්‍රශස්තම සමර ගීතය ලෙස ‘දේශීය සිනමා වංශය’ ලියූ අපේ ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම සඳහන් කර ඇත. ‘ජාතිකානුරාගය උද්දීපනය කෙරෙන්නක් නිසාදෝ මේ ගීය දශක ගණනාවක් මුළුල්ලේ සුසානගත කොට තිබේ. එහෙයින් මේ ගීතයේ පදමාලාව සඳහන් කිරීම උචිත ය.’ කියමින් එය ඔහු ලෙස්ටර්ගේ කෘති විමසමින් ඒ පදමාලාව මෙසේ දක්වා ඇත. 

‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!’ 

එකකුත් අපගෙන් නැසුවොත් සතුරන් - උන්ගෙන් සීයක් හෙළාපියව් 
කඩුවට කඩුවයි හීයට හීයයි පපුවට පපුවයි දී පලයව් 

පෙරට තබන පය අපේ - නවතිනු ජයටැඹ යටයි 
රුපු ඔළු දහසක් අපේ එකකු‍ගෙ කඩුවට යටයි. 

ගාමිණි පැරකුම් මුත්තන් හදැලා - ගත් ගත් මුගුරත් ජයේ නටයි 
කාලතුවක්කුත් ඒකට පරදියි - සැක නෑ සැක නෑ සටන් කරව් 

මරු හිටියත් පෙරමුණේ - ඌ අමුනව් කඩුමුණේ 
මරුවාටත් මරු වුණේ - සිංහලයා පෙර දිනේ 

දිනුවොත් හෙළ ලෝ මැරුණොත් සුර ලෝ 
දෙලොවම දෙව් ලෝ හටන් කරව් 

සතුරන් වනසවු කඳවුරු ගිනිලව් - ජය පිට සිංහල ධජේ නඟව් 

‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!’ ගීය මෙතැනින් අහන්න. 

ඔහු උපන්නේ 1920 මාර්තු 18 වැනිදා කොග්ගල මලලගම දීය. ඒ ගම් නම අසද්දී සිතට එන අනෙක් නමක් ද වෙයි. ඒ ‘කොග්ගල ප්‍රාඥයා’ ලෙසින් ගරු බුහුමන් ලද, අපේ රටේ බිහි වූ මහා ලේඛකයා වූ මාර්ටින් වික්‍රමසිංහය. එතුමාගේ උපතින් වසර 30කට පසු ඒ ගමෙහි ම, ඔහු උපන්නේ‍ දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ නාමයෙනි. පියා තොරෝනිස් දේවමනිමේන්ද්‍ර විය. මව ලයිසොහාමි වතුගෙදර නම් වූවාය. 

ඔහු සාහිත රසය කෙරෙහි නැඹුරු වූයේ මවගේ පියා වූ සලමන් වතුගෙදර නම් සීයා නිසා ය. ‘ලක්මිණි පහනේ’ නිත්‍ය සාමාජිකයකු වූ ඔහු‍ එහි පළ වූ කවි ආදිය හඬ නඟා කීවේය. යම්තම් බහතෝරණ අවධියේ ම සිට ම කුඩා ආශුබෝධගේ බිලිඳු සිත ඊට ආසක්ත විය. එ් වගේ ම සීයා නිතර කියැවූ කවිපොත් කීපයක් ද විය. ඒවා නම් ගුත්තිලය, කුසදා කව හා අන්ධභූත ජාතකයයි. 

ඔහු කුඩා කල 1927 දී කතළුවේ රජයේ පාසලට ඇතුළු වී මූලික අධ්‍යාපනය ලැබීය. 1934 දී පාසල් හැරයෑමේ සහතිකපත් විභාගයෙන් ඔහු පළමු පෙළේ සාමර්ථ්‍යයක් ලැබීය. 1935 වසරේ දී හබරාදූවේ අභයදාන විදුහලට ඇතුළත් වී ප්‍රාරම්භ සහතිකය ලබා 1937 දී කොග්ගල අමද්‍යපාන බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් ව ගුරු සහතිකය ලබාගත්තේය.  1939 දී නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් විය. ඒ කාලයේ දීම ඔහු අම්බලන්ගොඩ සංගීතඥ සමරපාලගෙන් සංගීතය හැදෑරුවේය. 1941 දී වයලීන වාදනයෙන් ගාන්ධර්ව ප්‍රාරම්භය ද සමත් විය.  1942 දී පුහුණු ගුරුවරයකු ලෙස එයින් පිටව ගුරුවරයකු වශයෙන් සේවය කරද්දී ලංකා විශ්ව විද්‍යාලයෙන් බාහිර උපාධියද ලබා ගත්තේය. 

වෙල්ලාල ජයමහ පඬිතුමාගේ ඇසුරෙන් පාලි, සංස්කෘත උගෙන  ඔහු අනුව යමින් කුමරතුඟු අනුගාමිකයකු වූ ඔහු හෙළ බස් ආරට අනුව සිය නම 'අරිසෙන් අහුබුදු' යනුවෙන් යළි සකසා ගත්තේ ය. මෙසේ තමන්ට නම් තබා ගත් ඔහු දැයේ දරුවන්ට නම් තබන්නට පටන් ගත්තේ ඉන් අනතුරුව ය. 

‘ලංකා ලංකා පෙම්බර ලංකා ගීය’ මෙතැනින් අහන්න. 

කලාසූරී අරීසෙන් අහුබුදු සිංහල බස පිළිබඳ වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක් සහ කිවියෙක් විය. ඔහු හෙළ හවුලේ අටවැනි නයුවා ලෙස ද කටයුතු කළේය. ඔහුගේ නිර්මාණකරණය විවිධ පැති ඔස්සේ ගලාගිය එකකි. 

අරිසෙන් අහුබුදු කිවි රස පවස නිවන කවි පොත් රැසක් රචනා කළේය . ‘වෙසක් පඬුර’ (1938), ‘කවි මඟ’ (1944), ‘හදිය’ (1945), ‘ඔවය’ (1948), ‘අඬුව’ (1952), ‘රස නිදසුන’ (1960), ‘ග‍‍‍ඟ‍ෙහි ගිය මිණ’ (1962), ‘ධනවත් වීමේ මඟ’ (1962), ‘පතිවිය - සාම අස්න’ (1962), ‘රස දහර මහ කව’ (1969), ‘බෝ පුද’ (1982), ‘කඳ දෙව් උපත’ (1983), ‘බුද්ධ වංශය’ (1984), ‘සිංහල වංශ කතාව’ (1985), ‘සෙත් වතුර’ (1985) ඉන් කීපයකි. ඔහු ලියූ වේදිකා නාට්‍ය අතර ‘වෙට්ට පිත්තලය හා පෙරැළිය’ (1945), ‘හෙළ හැතිරිය’ (1952), ‘රාජ යෝගය - රිදී රේඛාව’ (1987) ආදිය ද වෙයි. ‘අලවු විනය ‘(1952), ‘පරෙවිය’ (1963), ‘අබිනික්මන’ (1965), ‘මඟුලේ මඟුල’ (1968), ‘ඇසල සඳ’ (1969), ‘බලාපොරොත්තු’ (1972), ‘සීගිරි හබය’ (1967) කියා මුද්‍රා නාට්‍ය රචනා කර ඇත. ඔහු ලියූ ගී ‘අතු අගැ දිළි වන මල් (1987) නම් ගී සංග්‍රහයට ඇතුළත් වෙයි. මීට අමතරව ඔහු කතන්දර 23ක් ද කුමරතුඟු ඇසුර (1957), කිවිසුරු පවත (1964), මිතුරු වියෝව (1965) වැනි චරිත කතා ද ලියා පළ කර ඇත. වියරණ රචනය, සිප් වදන් සැකැසුම් වියරණ ආදී බස පොහොසත් කරන සඟරා ආදියද පළ කළේය. ඒ හැරෙන්නට පුවත්පත් සඟරාවනට ලිපි දහස් ගණනක් සැපයීය. 

එතුමාගේ සේවය තවත් පැත්තකින් රටපුරා ලොව පුරා ව්‍යාප්ත විය. ඒ නම් තැබීම වෙනුවෙනි. රජයෙන් ඉදිකරන ලද ප්‍රධාන ගොඩනැගිලි සියල්ලට ම පාහේ නම් තබන ලද්දේ අහුබුදුවන් විසිනි. ඉසුරු පාය, සෙත්සිරි පාය, සව්සිරි පාය, සරසවි පාය ඊට නිදසුන් ය. අලුතින් ඉදි කරන ගම්මාන බොහොමයක් ඔහු අතින් නම් ලද ඒවා ය. එතැනින් නොනැවතී දරුවන්ට, ව්‍යාපාරවලට, විවිධ ආයතනවලට නම් තැබීය. අප රටෙහි ව්‍යාපාර සන්නාම අතරින් වැඩි හරියක් ඔහුගේ ය. සිරිලක පුරා පමණක් නොව ලොව පුරා උපදින ලාංකික බිලිඳුන් නම් තැබීම නිසා ඔහුට ‘ජාතියේ නම් තබන්නා’ යන ගරු නම උරුම විය. ඒ සේවය ඔහුගේ දියණිය අදටත් කරගෙන යන්නීය.

1937දී අහංගම ශාරිපුත්‍ර විදුහලෙන් ඇරැඹූ ගුරු වෘත්තිය කීඹියේ රජයේ පාසල, කටුගස්තොට දීගල විදුහල, වැල්ලේතොට පාසල, නුවරඑළියේ හෝලි ට්‍රිනිටි විදුහල, ගාල්ලේ මහින්ද විදුහල හා ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහල තෙක් විහිදුණේය. වසර 42ක් ගුරු සේවාවේ යෙදුණු අහුබුදු 1979 වර්ෂයේ දී ගුරු දිවියෙන් සමුගත්තේය. 1985 තෙක් සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ සංස්කාරක තනතුරක් දැරීය. ඉන්පසු 1985-1989 තෙක් අගමැති කාර්යාලයේ උපදේශකවරයකු ලෙස ද එතැන් සිට 1994 තෙක් ජනාධිපති භාෂා උපදේශක ලෙස ද අනඟි මෙහෙයක් ඉටු කළේය. 

ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද, කලාශූරී නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත. ලක්මවට මෙවන් විශිෂ්ට සේවාවක් සිදුකළ ඒ මහා වියතා සිය දිවි මගෙහි 92වන සැතපුම් කණුව පසුකරමින් සිටියදී මීට හරියට ම දසවසරකට පෙර 2011 මැයි මස 26වන දින දැයෙන් සමුගත්තේය. 

    - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments