අද අම්මලාගේ දිනයයි! ගරු වදනින් කියන්නේ නම් මව්වරුන්ගේ දිනයයි! ලෝකයේ සියලු දරුවන් සෙනෙහසින් සිහිපත් කළ යුතු දිනයයි. සකල ලෝකවාසීන් විසින් මවුවරුන්ට ප්‍රණාමය දක්වන දිනයයි. ජගත් මවුවරුන්ගේ දිනය වශයෙන් සමරන්නට සම්මතව තිබෙන්නේ සෑම වසරක ම මැයි මාසයේ දෙවැනි ඉරිදායි. එය 2021 යෙදී ඇත්තේ මැයි 9 වැනිදාටයි. මව්වරුන්ට එක දිනයක් මදියි කියා අවුරුද්දේ හැමදාම මවුවරුන්ගේ දිනය කර ගන්න හදන අම්මාලට ගොඩක් ආදරේ අයත් ඉන්නවා.
අවුරුද්ද පුරා ම කොහොම වුනත් අම්මලාගේ දිනය දාටවත් වැඩිහිටි නිවාසයේ ඉන්නා අම්මා බලන්න යන්න වෙලාවක් නැති දූලා පුතාලාත් ඉන්නවා. ඒ මොනවා වුනත්, වැඩිහිටි නිවාසයක හිටියත්, අතු පැළක හිටියත්, යන එන මං නැතිව බස් ආචාරණයක් යට සිටියත්, අම්මා කෙනකුගේ දාරක ප්‍රේමය මඳක්වත් අඩු වෙන්නේ නෑ
ඉන්දියාවේ කොවිඩ්වලින් මිය යමින් සිටි ගැබිණි මවක් අවසාන මොහොතේ කෑ ගසා ඇත්තේ ‘මා මැරුණාට කමක් නෑ. අනේ මගේ දරුවා බේරා ගන්න!’ කියායි. අම්මලාගේ හැටි එහෙමයි.
අම්මලාගේ හැටි කියන අවුරුදු දහස් ගණනක් පැරණි චීන උපමා කතාවක් මට මෙතැනදී මතක් වෙනවා. ඒ කතාවේ හැටියට බිරිඳට දොළදුකක් ඇති වෙනවා, සැමියාගේ මවගේ හදවත කන්නට. ඒ ගැන කියා සැමියාට කරදර කරනවා. මව මරා දමන්නට පුතාගේ කැමැත්තක් නෑ. මව ගැන ගතු කියා පුතා තුළ මව කෙරෙහි වෛරයක් ඇති කර තම ආසාව ඉටු කරන්නට සැමියා පොලඹවා ගන්නට බිරිඳ සමත් වෙනවා.
ඒ අනුව බිරිඳගේ සැමියා, ඒ අම්මාගේ පුතා, එක් රාත්‍රියක සොරකු සේ වෙස්වලා ගෙන අවුත් මව පැහැරගෙන යනවා. කැලයකට ගෙන ගොස් මව මරා හදවතත් අතේ රැගෙන ඒ රාත්‍රියේ ම බිරිඳට දෙන්නට ආපසු දුව ගෙන එද්දී ගස් මුලක පැටලී පුතා ඇදගෙන වැටෙනවා. පුතාගේ අතේ ඇති මවගේ හදවත කතා කර පුතාගෙන් මෙහෙම ඇහුවා. ‘පුතේ උඹට රිදුනද?’ කියා. ඒ අම්මලාගේ හැටියි!
මව්වරුන්ගේ අගය කියන්න ගියොත් මේ ලිපිය කියවන්න ඔබට දවස් ගානක් යාවි. ඒ නිසා බුදුරදුන් මවු පදවියට දුන් සම්මාන ගැන සටහනක් මීට එක් කරන්න මං කල්පනා කළා. ‘ගෙදර බුදුන්’, ‘පෝසකා’ (දරුවන් පෝෂණය කරන්නී), ලොවට සක්විති රජුන් බිහිකරන්නී. ඉන් කීපයක්.
මගෙන් ඒ ඇති! පහත පළවෙන්නේ මා අතට පත් මවු පදවිය ගැන වෙනත් කෙනෙකු ලියූ ලිපියක්. අද වගේ දවසකට වඩාත් උචිත එකක් සේ හැඟෙන නිසා මෙසේ පළ කරනවා. මෙය මව් පදවිය ගැන මට කියවන්ට ලැබුණු ඉංග්‍රීසි ලිපියක සිංහල ඡායානුවාදයයි. මෙහි කර්තෘ අඥාත (anonymous) යි.
‘අම්මාගේ රස්සාව මොකක් ද?’
එක්තරා කාන්තාවක් මෝටර්රථ දෙපාර්තමේන්තුවට ගියේ ඇගේ රියැදුරු බලපත්‍රය අලුත් කර ගන්නට ය. එහි සිටි නිලධාරිනිය ඇගෙන් ඇය නිරත ‘වෘත්තිය කුමක් දැ’යි ඇසීය.
ඇය මඳක් පසුබා ගියේ තමන් කුමන වෘත්තියකට අයත් දැයි වර්ගීකරණය කරන්නේ කෙසේදැයි තීරණයකට ඒමට එක්වරම නොහැකි වූ නිසා ය. නිලධාරිනිය යමක් පහදා දෙන අදහසින් මෙසේ කීවා ය. ‘මං මේ ඇහුවෙ ඔබට මොකක් හරි ජොබ් එකක් තියෙනවද? නැත්නම් ඔබ නිකම්ම නිකම්.....’ කියා සිය කතාව නවතා එකී කාන්තාව දෙස විමසිලිමත් ව බලා සිටියා ය.
‘ඇයි නැත්තෙ මට ජොබ් එකක් තියෙනවා’ යයි කාන්තාව බිඳුණු හඬකින් කීවා ය. ‘මම අම්ම කෙනෙක්’
‘අපේ ලැයිස්තුවෙ වෘත්තියක් හැටියට “මවක් ” කියලා එකක් නෑ. එහෙනම් අපි ඒකට “ගෘහිණියක්” කියලා දමමු.’ නිලධාරිනිය තීන්දු කළා ය.
කාලයත් සමග මේ සිද්ධිය මට අමතකව ගියත්, යළිත් එය මගේ මතකයට නැඟුණේ ඉන් වසර ගණනාවකට පසු පොලිස් ස්ථානයක දී මට ද එවැනි අත්දැකීමකට මුහුණ පාන්නට සිදු වූ විට ය.
එහි දී මට හමුවූයේ නියම වශයෙන් ම වෘත්තීය කාන්තාවකි. මනාව හැඳ පැලඳගත්, කාර්යශූර, ප්‍රසන්න පෙනුමැති කාන්තාවක් සේ මා දුටු ඇයට ‘පොලිස් ස්ථානාධිපතිනි, ළමා හා කාන්තා කාර්යාංශය’ වැනි බරපතල නිල ථානාන්තරයක් ද තිබුණේ ය.
‘ඔබේ වෘත්තිය කුමක් ද?’ ඇය මගෙන් සුපුරුදු ප්‍රශ්නය ඇසුවා ය. ‘මේකට මොකක් කියලද කියන්නේ?’ යයි මොහොතකට සිතූ මම ඊළඟට කටට ආවක් කීවෙමි.
‘මම පර්යේෂණ නිලධාරිනියක්, ළමා සංවර්ධනය හා මානව සම්බන්ධතා ක්ෂේත්‍රයේ’ මම කීවෙමි. ඇය මඳක් කල්පනා කරමින් සිට, පෑන අතේ තබාගෙන ම හිස ඔසවා මා දෙස බැලුවේ තමාට ඇසුණු දේ නිවැරදි දැයි විමසන බැල්මකිනි. මම ඒ තනතුර ඇයට ලියා ගැනීමට පහසු වන පිණිස පැහැදිලිව වචනෙන් වචනය උච්චාරණ කරමින් අවශ්‍ය වචන අවධාරණය කරමින් කීවෙමි. මගේ එම ප්‍රකාශය නිල පෝරමයක කළු අකුරින් ඇය අතින් ලියවෙන අයුරු මගේත් මවිතයට හේතු විය.
මගේ වෘත්තිය ගැන අලුත් උනන්දුවකින් කතා කළ ඇය ඊළඟට මගෙන් මෙසේ ඇසුවා ය. ‘මං මෙහෙම ඇහුවට කමක් නැද්ද? ඔබේ ක්ෂේත්‍රයේ මොන වගේ දෙයක් ද ඔබ කරන්නෙ?’
කිසිම පැකිළීමක් නැතිව, තැන්පත් විලාසයෙන් මම පිළිතුරු දනිමි. ඒ සඳහා නිතැතින් ම මගේ මුවට වදන් ගලා ආවේය. මා දුන් උත්තරයෙහි වූ වදන් මට ඇසුණේ මෙසේය. ‘මට තියෙන්නේ අඛණ්ඩ පර්යේෂණ වැඩ සටහනක්, පර්යේෂණාගාරයේත්, ක්ෂේත්‍රයේත් එක වගේ තියෙනවා. මං වැඩ කරන්නේ මගේ මාස්ටර්ස් (Masters) එකටයි. දැනටමත් මට සම්මාන හතරක් තියෙනවා. ඇත්තෙන්ම මේ වෘත්තිය මානව ක්ෂේත්‍රයේ වැඩි ම ඉල්ලුමක් ඇති එකක්. මං දිනකට පැය 14ක් වැඩ කරනවා. මේ ජොබ් එක සාමාන්‍ය ජොබ් එකකට වඩා අභියෝගාත්මකයි. ලැබෙන ප්‍රතිලාභ මුදලට වඩා හුඟාක් වටිනවා.’
ඒ කතාව ඇසූ පසු ඇය තුළ මා කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වූ බව ඒ පෝරමය පුරවන අතර නිකුත් වූ ඇගේ කටහඬින් පළ විය. ඉන්පසු මා යන්නට නැඟිටින විට මා සමග නැඟිටි ඇය මට සමුදුන්නේ මා කැටුව පිටවෙන දොරටුව තෙක් පැමිණීමෙන් අනතුරුව ය.
මගේ නව චිත්තාකර්ෂණීය වෘත්තිය ගැන උද්දාමයෙන් යුතුව නිවසට ආ මා ඉදිරියට ආවේ, අවුරුදු 10, 7, හා 3 වයස්වල පසු වූ මගේ පර්යේෂණාගාර සහකරුවන් තිදෙනා ය. ඔවුහූ මහත් ආදරයෙන් මා පිළිගත්හ. ඒ සමගම, මගේ ළමා සංවර්ධන වැඩ සටහනේ මාස 6ක් වයසැති, නව පර්යේෂණ මොඩලය ද වචන උච්චාරණ කරන අත්හදා බැලීමක යෙදෙනු මට උඩුමහලින් ඇසුණි.
නිලධාරිවාදය ජයගත් සෙයක් මට දැනුණි. ‘නිකම් නිකම් මවක්’ වෙනුවට මානව වර්ගයාට නැතුව ම බැරි වඩාත් ගෞරවණීය වෘත්තියක නිරතව සිටින්නියක ලෙස නිල වාර්තාවලට ඇතුළත් වන්නට මට හැකි විය.
මවු පදවිය (Motherhood)....කෙතරම් ආශ්චර්යමත් වෘත්තියක් ද! ගෙදර ඉස්සරහ දොරේ නමට යටින් ගහන්න පුලුවන් නම් මෙහෙම, ‘ළමා සංවර්ධනය හා මානව සම්බන්ධතා පර්යේෂණ නිලධාරිනි’ (Research Officer, Child Development and Human Relations.)
0 Comments