HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අඟහරු බලා යන ගමනේ දී මැරුණොත් මොකද වෙන්නේ?

අභ්‍යවකාශයට යන එක මරුට අතවැනීමක් වගේ දෙයක්. ඒකයි රතු ග්‍රහයා වෙත යන්න මිනිසුන් යවන්න සූදානම් වෙන ඊලොන් මස්ක් කියා කිබෙනවා, ‘මැරෙන්න සූදානම් වෙලා එන්න!’ කියලා. ඒ කතාවෙහි ඇත්තක් තියෙනවා. ඔබ දන්නව ද අභ්‍යවකාශය කෙතරම් අනතුරුදායක තැනක් වුනත්, මේ වෙන කොට අභ්‍යවකාශයට ගිය 550 දෙනකු අතරින් අභ්‍යවකාශයෙදි මරණයට පත් වුණේ සැබැවින් ම තුන්දෙ‍ෙනක් පමණයි. ඒ 1971 දී සෝයුස් 11 අභ්‍යවකාශයානයේ දෝෂයක් නිසා මියගිය සෝවියට් අජටාකාශගාමීන් තිදෙනායි. 

අභ්‍යවකාශයේ දී මරණයක් සිදුවිය හැකි අවස්ථාවක් ලෙස 
යානයෙන් පිටතට යාමක් සිත්තරකු දුටු හැටි.

මීට වසර 60කට පමණ පෙර ප්‍රථම මිනිසා උඩු ගුවනට යන්නට රොකටයකට නැග්ග මොහොතේ පටන් මේ වන තෙක් මිනිස් ජීවිත 21 පමණ අපට අහිමි වී ගොස් තියෙනවා. දැන් අප මුල්වරට මිනිසුන් අඟහරු තරණයට ලෙන යාමට සූදානම් මේ මොහොතේ යළිත් මරණයට පත් වීමේ අවදානම ගැන කතාබහක් ඇති තියෙනවා. 

රතු ග්‍රහයා වෙත යන අභ්‍යවකාශගාමීන්ට අඩු තරමින් මෙතෙක් මිනිසා නොගිය මග කැප්සියුලය රිංගා ගෙන මාස හතක් තිස්සේ යාමට සිදු වෙනවා. ඒ යන ගමන දිවි රැක ගෙන යන්න පුලුවන් වුණොත් රතු ග්‍රහයා තුළ තියෙන දරුණු පරිසරයට මුහුණ දෙන්නට ඔහුට සිදු වෙනවා. ඒ නිසා මරණයට පත් වීමේ අවදානම ඉතාමත් වැඩියි. 

එහි යන පිරිසකගෙන් කෙනෙක් මැරුණොත් මාස ගානක් හෝ අවුරුදු කීපයක් යාවි පොළොවට දේහය ගෙන්වා ගන්න. එතැන දී ප්‍රශ්නයක් මතු වෙනවා. අභ්‍යවකාශයේ දී කෙනෙක් මිය ගියොත් මොකද වෙන්නේ? කියන එක. 

විශේෂඥයන් යෝජනා කරලා තියෙනවා, එවන් අවස්ථාවකදී සිරුරට කළ හැකි දේ පිළිබඳව. එකක් අඳුරු සක්වළට තල්ලු කර යැවීම, රතු ග්‍රහයා මත මිහිදන් කිරීම, ඒත් ඒ සිරුර මිහිදන් කිරීමට කලින් පිළිස්සීම. ඒ පරිසර දූෂණය අවම කිරීමටයි. මෙහි දී ඉදිරිපත් වී ඇති නරකම යෝජනාව මිය යන තැනැත්තා ආහාරයට ගැනීමයි. ආහාර හිඟය නිසා ජීවිතය ගැට ගසා ගැනීමට මියගිය සගයන්ගේ සිරුරු භක්තිවිඳීමට ඔවුන්ට සිදු වනු ඇත. ඒක හරියට 1972 දී ඉහත ඇන්ඩීස් කඳුකරයේ හිම මතට කඩා වැටුණු ගුවන්යානයේ ගිය ඌරුගුවේ පාපන්දු කණ්ඩායමේ සගයන් දිවි රැක ගැනීමට මියගිය මිතුරන්ගේ සිරුරු යොදා ගත්තා වාගේ වේවි.(මේ කතාව 70 දශකයේ මුල දී මා ‘හිමගිරක කඳුළු’ නමින් ‘සිළුමිණ’ පත්‍රයේ පළ කළා.) 

<
අභ්‍යවකාශයේ දී ජීවිතක්ෂයට පත් වූ සෝවියට් අජටාකාශගාමීන් තිදෙනා 
පුහුණු වෙමින් සිටි අවස්ථාව. සල්යුට් 1 අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් 
ආපසු එද්දී සෝයුස් 11 අභ්‍යවකාශ යානයේ දෝෂයක් නිසා මියගිය පැට්සෙයෙව්, 
ඩොබ්රොවොල්ස්කි හා වොල්කොෆ් යන අජටාකාශගාමීන් තිදෙනා

නියම අභ්‍යවකාශ යුගයට අප පිවිසෙන්නේ දැනුයි. ඒ අනුව අපේ මුල් නවාතැන වූ රතු ග්‍රහයා කරා අභ්‍යවකාශ යානා යැවීමට කටයුතු කරන ස්පේස්එක්ස් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ඊලොන් මස්ක් රතු ග්‍රහයා වෙත අයට ‘මැරෙන්න සූදානම් වෙලා එන්න!’ යයි කියන්නේ එහි ඇති අවදානමේ බරපතලකම නිසයි. 

නාසා ආයාතනය ද අභ්‍යවකාශයේ සිදු වන මරණ සිදුවූ විට ඒ පිළිබඳව ක්‍රියාකරන ආකාරය ගැන මාර්ගෝපදේශ සකසා නැහැ. ‘පොපියුලර් සයන්ස් (Popular Science) සඟරාවට අදහස් දැක්වූ විශේෂඥයන් කියන්නේ රතු ග්‍රහයා බලා යන සැතැපුම් මිලියන 170ක ගමනේදී අභ්‍යවකාශගාමියකු අතරමග දී හදිසියේ මියගියහොත් සිරුර ශීත කුටියක තබා හෝ හිමායන වියළීමට (freeze dried) ලක් කොට යානය අඟහරු මතට ගොඩබසින තෙක් පවත්වා ගෙන යායුතුයි කියායි. 

හිමායන වියළීම පෘථිවියෙන් පිට දී හුඟක් වෙනස් ආකාරයටයි සිදු වන්නේ. මළ සිරුර අභ්‍යාවකාශ ගාමීන් යන කැප්සියුලයෙන් පිටත සිටින සේ රඳවා ගත යුතු වෙනවා. එවිට අභ්‍යවකාශයේ ඇති හිමවලින් එය වැසී යනවා. අධි ශීතනයට හෝ හිමායන වියළීමට හෝ ලක් නොකරන්නේ නම් තවත් විකල්පයක් තියෙනවා. ඒ මියගිය සගයාගේ සිරුරු විශ්වයට මුදා හැරීමයි. 

නාසා ආයාතනයේ ග්‍රහ ආරක්ෂණ කාර්යාලයේ ප්‍රකාශිකා කැතරීන් කොන්ලේ (Catherine Conley) කියා ඇත්තේ, ‘නාසා ආයතනයෙන් හෝ අන්තර්ජාතික මට්ටමින් හෝ එවන් අවස්ථාවකදී සිරුරට කළ හැකි දේ පිළිබඳව නිශ්චිත මාර්ගෝපදේශ සකස් කර නැහැ. එසේ ම එවැනි සිරුරක් විශ්වය මුදා හැරීමද අනුමත කර නැහැ. 

හැබැයි මෙසේ රතු ග්‍රහයා බලා යන මෙහෙයුම් සියල්ල, මළ සිරුරු විශ්වයට මුදා හරින්නට තීන්දු කළහොත් අනාගතයේ දී අඟහරු වෙත අයට යන්නට වෙන්නේ ඒ මළ සිරුරු අතරින් යැයි විශේෂඥයන් කියනවා. 

ඊළඟට අඟහරුගාමීන්ට මුහුණපාන්නට වන බරපතලම ගැටලුව වන්නේ සුර්යයාගෙන් එහි පතිත වන දරුණු විකිරණ තත්වයන්ගෙන් දිවිගලවා ගැනීමයි. අඟහරු මතට පතිත වන විකිරණ ප්‍රමාණය පිළිබඳ ලැබී ඇති දත්ත අනුව එය පෘථිවියට පතිත වන විකිරණ ප්‍රමාණය මෙන් 700 ගුණයක්. 

මේ අධි විකිරණ තත්වය නිසා කන්තුකවාහිනී පද්ධතිය විකෘත වී, ධමනී දෘඪ වී, හෘදයට හානි පැමිණෙනවා. රුධිරවාහිනීවල ඇතුළත ආස්තරණයේ ඇති සෛල මේ විකිරණ නිසා විනාශ වනවා. මේ තත්වයන් අවසානයේ දී හෘද අකරණය නිසා මරුමුවට පත් වෙනවා. 

අභ්‍යවකාශයේ දී මියගිය අජටාකාශගාමියකු යානයෙන් පිටතට තල්ලු කළ විට 
පාවී යන අයුරු සිත්තරකුගේ ඇසින්.

‘වෙනත් ග්‍රහලෝකවලට පෘථිවියේ ක්ෂුද්‍ර ජීවීන් මුදා හැරීමේ දැඩි තහනමක් නාසා ආයාතනය විසින් පනවා ඇති නිසා පුළුස්සා දැමීම සමහර විට ඊට එරෙහි නොවේවි.’ කියා කැතරීන් කොන්ලේ කියනවා. 

වනචාරීකාර්යයක් සේ පෙනුනත් සමහර විශේෂඥයන් අවධානය යොමු කරලා තියෙනවා. 1972 දී ඇන්ඩීස් කඳුකරයේ සිදු වූ ගුවන්යානා අනතුරෙන් දිවිගලවා ගත් අයට පිහිට වූ උපක්‍රමය ගැනත්. එදා ඇන්ඩීස් හිමේ අතරමං වූ ඔවුන් මිය ගිය සිරුරු කෑමට ගෙන දිවි ගලවා ගත්තා. 

ජෛව විද්‍යා ආචාර්ධර්ම පිළිබඳ විශේෂඥයකු වූ පෝල් වොල්ප් කියන්නේ, ‘අප මළවුන්ට ගරුකරන ආකාරය අනුව එවැන්නක් සිදු කිරීම, සදාචාරයට එකඟ නැතැයි බොහෝ දෙනා කියන්න ඉඩ තියෙනවා. එහිදී ඇති වඩාත් හොඳ විකල්පය එය විය හැකියි. එහෙත් එය ආකර්ෂණීය එකක් නොවෙයි.’ කියායි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments