කොවිඩ් මරු කටේ සිට තරුණ වෛද්‍යවරියකගෙන් ආයචනයක්!

මෙවර අපි පළ කරන්නේ වෙනත් තැනකින් උපුටා ගත් කතාවක්! අන්තර්ජාලයේ නරක පැත්ත දකින අයට එහි හොඳ පැත්ත පෙන්වන්න හොඳ උදාහරණයක් හැටියටයි අප මෙය දකින්නේ. මේක අපේ කරුණාවන්ත තරුණ වෛද්‍යවරියකගේ අත්දැකීමක්! මෙය අප පළ කරන්නේ කොවිඩ් 19 අපව කෙතරම් අසරණ කළාද යන්න තේරුම් ගන්නයි! ඒ ආපදාවේ නපුරුම තැන සේවය කරන අය කෙතරම් මානුෂිකව රෝගීන් දිහා බලනවාද? ඔවුන්ව ගොඩදාන්න වෙහෙසනවාද? ඒ සඳහා මානසිකවත් කායිකවත් ඔවුන් කොයිතරම් වෙහෙසක් ගන්නවාද? යන්න මේ අනුවේදනීය ලිපියෙන් අනාවරණය වෙනවා. නම නැතිව පළ කෙරෙන මේ ලිපිය ලියූ ඒ විර තරුණ වෛද්‍යවරියට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. 

මේ ලිපිය අප නැවත පළ කරන්නේ මේ වෛරසය වළක්වා ගැනීමට උදව් නොකර, නීති රීති නොසලකා, සෞඛ්‍ය උපදෙස් නොතකා, වැඩ කරන අයගේ ඇස් අරවන්නයි. මෙය අප උපුටා ගත්තේ Value Info SL@wishmalokaya Education Website වෙබ් අඩවියෙන්. 


කොවිඩ් මරු කටේ සිට තරුණ වෛද්‍යවරියකගෙන් ආයචනයක්! 

ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි, ඔව් ඇත්ත. එත් ඒක මේතරම් අමාරුද කියල පොඩ්ඩක් හිතල බලන්න. මම වෛද්‍යවරියක් වෙලා තවම අවුරුද්දයි මාස හතයි. මේ වන විට මම කොවිඩ් දැඩිසත්කාර ඒකකයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් විදියට වැඩ කරන්නේ. පසුගිය අවුරුද්දක් පුරාම නොකා නොබී නිදිවැරූ සීමාවාසික කාලයේවත් මා මේ තරම් පීඩනයකින් හිටියේ නෑ කියල මට දිවුරලා කියන්න පුළුවන්. 

අපි හැම දවසකම රාජකාරිය සඳහා පිටත්වෙලා යන්නේ පුදුමාකාර අවිනිශ්චිත හැඟීමකින්. මම විස්තර කරන්නම්. කොටස් දෙකකින් සමන්විත දැඩිසත්කාරයේ අමාරුම රෝගීන් සිටින ඇඳවල් කිහිපයයි තියෙන්නෙ. ඒත් එක්කම යම් තරමකට සුව වුණාම ඒත් ඔක්සිජන් ඕනෙ රෝගීන්ට වෙන් කරපු ඇඳන් තියෙනවා. ගොඩාක් අමාරු නැති ලෙඩ්ඩුන්ට නම් වාට්ටුවක් තියෙනවා. එකේ එකසිය ගානක් ඉන්නවා. මම දැඩිසත්කාරයේ වැඩකරන නිසා ඒ වාට්ටුව ගැන නම් වැඩිපුර දන්නේ නෑ. 

දිනපතා දැඩි සත්කාරය තුළට වෛද්‍යවරුන්, හෙදියන් සහ සෙසු කාර්යමණ්ඩලය යන්න ඕනෑ. විශ්වාස කරන්න! එහෙම යන්න කලින් ඇඳගන්න ඕනෙ ඇඳුම් කට්ටලයට ඇඳුම් 4ක්, හිස්වැසුම් දෙකක්, ග්ලවුස් පහක්, ගොගල්ස් කට්ටලයක්, මුහුණු ආවරණයක්, මේස් යුගලක්, බුට්ස් දෙකක් සහ මාස්ක් දෙකක් තියෙනවා. එච්චරයිද? අනේ නෑ. අර දාන මාස්ක් දෙක මුණට අලවල ප්ලාස්ටර් ගහනවා. ආයේ හුස්ම පොදක් යන්න ඉඩක් නෑ. ඉතින් ඔය ඇඳුම් ඇඳන් දැඩි සත්කාරේ ඇතුළේ අඩුම තරමේ පැය තුනක් නම් ඉන්නම වෙනවා. හුස්ම ගන්න අමාරු එක එක්ක ඇස් දෙකට දාන් ඉන්න ගොගල්ස්වල මිදුමත් බැඳුනම අපි එකේ ඇතුළේ ඇවිදින්නේ අන්ධයෝ වගේ. විසි වෙනවා හැප්පෙනවා. 

 ග්ලවුස් පහක් දාල තියෙද්දී අල්ලලා ලේ නහර හොයාගන්න එක! එක අතිශය පළපුරුදු ඩොක්ටර් කෙනෙක්ට නර්ස් කෙනෙක්ට වුණත් හරිම අමාරුයි. මිස්ලා යෝගට් කවන්න කට හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. සේරමත් හරි ඇතුළට යන යන පාරට නාන්න වෙන එක… රෑ එකට දෙකට දවසට තුන් හතර පාරක්. හ්ම්ම්… අපේ අමාරුව පැත්තකින් තියමුකෝ. ඒක අපේ රස්සාවනේ… අපි දොස්තරලා වුණේ ලෙඩ්ඩු වෙනුවෙන්නේ… 

එත් ඒ ඇඳන්වල ඉන්න අහිංසක ලෙඩ්ඩු. අම්මෙක් තාත්තෙක් එක්කෝ කාගෙ හරි මහත්තයෙක් නෝනෙක්… ඒ මිනිසුන්ට ඔක්සිජන් දාලා තදම තද මාස්ක්, මරණ බයෙන් කොයි වෙලෙත් ඉන්න හැටි… ගෙදර මනුස්සයෙක් දකින්න නෑ. ආයේ ගෙදර යන්න වෙයිද දන්නේ නෑ. කෑම ටිකක් කන්න වතුර ටිකක් බොන්න හුස්ම අල්ලගන්න බෑ. වැසිකිළියට යන්න බෑ. මුත්‍ර බට ගහලා. අතට කටු ගහලා. 

අපි ළඟට යන යන වාරේ අනේ ඩොක්ටර මට හොඳවෙයිද? මට ආයේ මගේ ළමයි දකින්න බැරිවෙයිද? අහනවා. 

 “තාත්තේ” කියන වචනෙටත් අඬනවා. 

ගෙවල්වල මිනිස්සු ඉන්නෙ ගින්දරෙන්. දවසකට අයි.සී.යූ. එකට කෝල් පනහක් විතර එනවා විස්තර අහල. අපි වෙලාව තියෙන විදියට පුළුවන් හැටියට උත්තර දෙනවා. කොහොම හරි දරාගෙන ඉවසගෙන ඉදලා ෂිෆ්ට් එක ඕෆ් වෙලා ගෙදර ආවට අර මිනිස්සු ගැන හිතන එක නවත්තා ගන්න බෑ. රෑට හිනෙනුත් පේනවා. 

එහෙම කරලා පහුවදා යද්දී ඇඳක් හිස්වෙලා තියෙනවා දැක්කම. ඒ ජිවිතෙත් එක්ක තරග කරලා පැරදිලා තියෙන්නේ කලින් දවසේ වතුර පොවපු ‘තාත්තා’ කියලා දැක්කම ඒ දැනෙන වේදනාවට වචන මම දන්නේ නෑ. ඉතින් පොඩි කාලේ ඉඳන් දරුවෝ හදපු වඩපු ඒ තාත්තාව ආයේ ඒ දරුවන්ට බිරිදට ඇස් දෙකට දකින්න එකම අවස්ථාවක්වත් නෑ කියලා හිතෙද්දි පපුව පිච්චිලා යනවා. 

ළමා රෝග වාට්ටුවේ සහ නාරි හා ප්‍රසව වාට්ටුවේ මීට කලින් වැඩකරපු මම, ලෙඩ්ඩු මැරෙනවා දැකල තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. 

ඉතින් මම ගෙදර ඇවිත් මගේ මහත්තයාගේ ඔඩොක්කුවේ ඔළුව තියන් ඉකි ගගහ අඬනවා.කොටින්ම කියනව නම් මනුස්සයෙක් මැරුණ දවසට මට වාහනේ එළවන්න තරම්වත් හැකියාවක් නෑ. මහත්තයා මාව එක්කන් යන්න එනවා. 

ඊටත් පස්සේ මම මේ වෛරස් ගොඩක ඉඳන් යන්නේ දියවැඩියාව තියෙන මහත්තයගේ අම්මා අප්පච්චි ඉන්න ගෙදරට නේද? නංගිගේ බබාට මාස නමයයි නේද? මට නම් බෙහෙත් හරි විදලා. මගේ මහත්තය උපන්තේකට ඉස්පිරිතාලෙක ඉඳල නෑ නේද? මට කල්පනා කරලම ඔළුවේ කැක්කුම හැදෙනවා. 

ඒ ඔක්කොම වේදනා අස්සේ දැඩිසත්කාරෙන් ලෙඩෙක් සුවවෙලා “යන්නම් ඩොක්ටර්” කියලා හිනාවෙද්දී…මාස දෙකකින් බලන්න ගමේ නොගිය, මන් නොයන තාක්කල් හොඳින් ඉඳීවි කියල මට හිතෙන, ගෙදරටම වෙලා තනියෙන් ඉන්න, මාව දොස්තර කෙනෙක් කරන්න නොවිඳිනා දුක් විඳපු මගේ අහිංසක අම්මාට මගේ පින් සේරම මම අනුමෝදන් කරනවා… තාත්තා කොහේ හරි ඉඳන් එයාගේ චූටි කෙල්ලගේ වීරකම් බලාගෙන ඇති. මට එහෙම හිතෙනවා. 

ඉතින් ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි තමයි. එත් ඔයා එළියට බහින ගමන දැඩි සත්කාරයෙන් කෙළවර වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔයා වෙනුවෙන්, ඔයාගේ ගෙදර අය වෙනුවෙන්, අපි වෙනුවෙන්, අපේ ගෙදර අය වෙනුවෙන්…! 

දැඩි සත්කාර ඒකකයක රැකියාවේ නියුතු වෛද්‍යවරියක අපට එවූ ලිපියකි. හදිසියේ රෝහල් කාර්යමණ්ඩලවලට පැනවූ නීතිය නිසා අප මෙය මෙසේ නම් ගම් රහිතව පළකරමු. ඒ, කෝටි දෙකක් වූ ශ්‍රී ලාංකිකයන්ට තමන් කොයි තරම් අනාරක්ෂිතදැයි දැනගැනීමට සහ සෞඛ්ය කාර්යමණ්ඩලවලට උත්තමාචාරයක් වශයෙනි.

පසු සටහන.

විශ්මලෝකය වෙබ් අඩවියෙන් උපුටාගත් මෙම ලිපියට එහි කතුවරියගේ නම නොදැමීම හොඳයි කියා අප හිතෙන්නේ එය සියලු ඉසිවරයන්ගේ හද ගැස්ම නියෝජනය කරන එකක් වී ඇති නිසයි. රජයේ තහණ්චිය  තියෙන්නේ රාජකාරිවල දී තොරතුරු විකෘත වීම නැවැත්වීමටයි. මේ වගේ අදහස් දැක්වීමකට එය බලපාන්නේ නෑ. ඒත් නම නැතිව පළ වීම එයට ලොකු ගැම්මක් එකතු කළා. ඇය තුළ වෛද්‍යවරියක විතරක් නෙමෙයි ප්‍රතිභාසම්පන්න ලේඛිකාවකත් ඉන්නවා. ඇගේ මේ ලිපියත් කෙටිකතාවක් තරම් හැඟීම දනවනසුලුයි.

මල් කැකුළු,  සංස්කාරක


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments