අද වෙසක් දිනය නිසා බොදු උපමා කතාවක් ඔබට පිරිනමන්නට කල්පනා කළා. මේ කතාව අප උපුටා ගන්නේ අපේ ‘සෙන් බොදු කතා’ නම් කෘතියෙන්.
සෙන් යනු මහායාන බුදුසමයට අයත් සාම්ප්‍රදායකි. එසේ හඳුන්වන්නේ ඒ සාම්ප්‍රදාය නිකායයන් කීපයක් ඇති නිසයි. සෙන් යන නම ජපන් බසට එක්වී ඇත්තේ චීන බසෙහි එන චාන් යන වදනෙනි. ඒ වදන චීන බසට එක්වී ඇත්තේ සංස්කෘත භාෂාවේ ‘ධ්‍යාන’ යන වදනෙනි. එහි සාමාන්‍ය සිංහල තේරුම ‘දැහැන’ නොහොත් භාවනාවයි, නැතිනම් භාවනාවෙන් ලබන ඵලයයි.
සෙන් කතා තුළින් බොහෝ විට කෙරෙන්නේ ක්ෂණයක් තුළින් සත්‍යය පසක් කර දීමයි.
ලෝකය දැකීම
සෙන් ආරාමවල සිරිතක් තියෙනවා, ඒවාට එන සංචාරක භික්ෂුවක් නවාතැන් ඉල්ලුවොත් නේවාසික භික්ෂුවක් එම භික්ෂුව සමග බුදුදහම ගැන විවාදයකට යායුතු බව. එහි දී විවාදයෙන් ජය ගන්නා භික්ෂුවට ඉඩ දී පරාජය වූ භික්ෂුව එම ආරාමයෙන් නික්ම යායුතු යයි ඒ සම්මතයේ සඳහන් වෙනවා.
මේ සිරිතට ගරු කරන ආරාමයක් උතුරු ජපානයේ තිබුණා. එහි භික්ෂූන් දෙනමක් වාසය කළා. ඉන් වැඩිමහලු භික්ෂුව දැන උගත් නැණවත් අයෙක්. අනෙක් භික්ෂුව තරමක් මෝඩ එමෙන් ම එක් ඇසක් පමණක් පෙනුනු අයෙක්.
දිනක් එහි ආ සංචාරක භික්ෂුවක් නවාතැන් ඉල්ලුවා. ඒ නිසා ආකාරයට උදාර ඉගැන්වීම් විවාදයට එන ලෙස අභියෝග කරමින්.
වැඩිමහලු සහෝදර භික්ෂුව එදින අධ්‍යයන කටයුතු නිසා වෙහෙසට පත්ව සිටි හෙයින් බාලයාට ඔහු වෙනුවෙන් විවාදයට සහභාගි වන ලෙස දැන්වුවා. ‘යන්න ගිහින් නිහඬව පරිස්සමෙන් විවාදය කරන්න.’
ඉතින් ඊට පස්සෙ තරුණ භික්ෂුව හා ආගන්තුක භික්ෂුව යන දෙදෙනා බුදුගෙට ගියා ධර්ම විවාදය අරඹන්න. දෙදෙනාම බුදු පිළිමය දෙපසින් වාඩි වුණා.
ටික වෙලාවකට පස්සෙ ආගන්තුක භික්ෂුව මහත් කලබලයකින් වැඩිමහලු භික්ෂුව උන් තැනට ආවා. “ඔබේ බාල සොහොයුරා අති දක්ෂයෙක්! ඔහු මාව පැරැද්දුවා.”
“ඔහු මොනවද කීවේ ? මට ඒ ගැන කියන්න!” වැඩිමහලු භික්ෂුව ඉල්ලා සිටියා.
“මෙහෙමයි!” ආගන්තුක භික්ෂුව සිද්ධිය විස්තර කළා. “විවාදය ආරම්භයේදිම මම එක ඇඟිල්ලක් ඔසවා ‘ඉන් ලෝකයේ එකම ශ්‍රේෂ්ඨයා බුදුරජාණන් වහන්සේ බව ඇඟවේවා. ඔහු ඇඟිලි දෙකක් ඔසවා, ‘බුදුරජාණන් වහන්සේ හා උන් වහන්සේ දෙසූ දහම යන දෙක ම එක තරමට ම ශ්‍රේෂ්ඨයි’ කියා පෙරළා මට උත්තර දුන්නා. ඊළඟට මම ඇඟිලි තුනක් ඔසවා පෙන්නුවා. මා එයින් අදහස් කළේ, ‘බුදුරජාණන් වහන්සේ, උන් වහන්සේ දෙසූ දහම, උන් වහන්සේගේ අනුගාමිකයන් යන තුන් ආකාරය ම ලෝකයේ එක සේ ශ්‍රේෂ්ඨයි’ යන්නයි. ඊට පිළිතුරු වශයෙන් ඔහු ඔහුගේ අත මිටමොලවා මා දෙසට දිගු කළා. ඉන් ඔහු මට කියා දුන්නේ, ‘ඒ ආකාරයට බැලුවොත් සකල ලෝක ධාතුව ම එක සේ ශ්‍රේෂ්ඨ බවයි.’ යන්නයි. ඒ නිසා විවාදයෙන් ඔහු දිනුවා. ඔහු හරිම ප්‍රඥාවන්තයෙක්! දැන් මට මෙහි රැඳෙන්න අයිතියක් නැහැ. මම මේ මොහොතේ ම මෙහෙන් යනවා.” කියා එවේලේ ම ආගන්තුක පිටත්ව ගියා.
ඒ සමගම, “කෝ අර මිනිහා?” කියාගෙන අනෙක් භික්ෂුව වැඩිමහලු භික්ෂුව වෙත දිව ආවා.
“ඔහු මට කීවා ඔබ විවාදයෙන් දිනූ බව.”
“මොන දිනුමක් ද මං මේ ආවේ ඒ මිනිහගෙ
හොම්බට දෙකක් අනින්න.”
“කලබල නැතුව, මට කියන්න මොකක්ද සිද්ධ වුණේ කියලා” වැඩිමහලු භික්ෂුව කීවා.
“ඔබ වහන්සෙට කියන්න, එයා විවාදයට ආවේ හස්ත මුද්‍රාවෙන්. එයා මාව දැකපු ගමන් ම එක ඇඟිල්ලක් ඔසවලා සංඥාවක් කරමින් මට අපහාස කළා. ‘මට තියෙන්නෙ එක ඇහැයි. එක ඇහැක් තියාගෙන මොන විවාදද?’ යන අදහස ඇඟෙව්වා. එයා අපේ ආගන්තුකයෙකු හින්දා මං හුඟක් ආචාරශීලීවෙමින් ඇඟිලි දෙකක් ඔසවලා පෙන්නුවා. මම එයින් ඇඟෙව්වා, ‘එයාට ඇස් දෙකක් තිබීම ගැන මම සතුටු වෙන බව.’ ඒත් එයා මට අපහාස කරන එක නැවැත්තුවෙ නෑ. ඊළඟට ඒ නැහැදිච්ච මිනිහා ඇඟිලි තුනක් ඔසවා මට ඇඟෙව්වා, ‘අප දෙන්නාටම ඇත්තේ ඇස් තුනක් පමණක් බව.’ මගේ ඉවසීම නැතිව ගියා. මං මිටමොලවා ගෙන ඉස්සරහට පැන්නා මිනිහට ගහන්න කියල හිතා ගෙන. මිනිහ ඊට ඉස්සෙල්ලා පැනලා ආවා.”
(පර්සි ජයමාන්නගේ පරිවර්තනයක් වූ ‘සෙන්
බොදු කතා’ කෘතියෙනි. සුරස ප්‍රකාශනයකි.)
0 Comments