HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මාළුවෙක් නස්රුදින්ගේ ජීවි‍තේ බේරූ හැටි!

නස්රුදින් ගල් ලෙනක් ඉදිරියෙන් යද්දී ඒ ඇතුළෙ භාවනානුයෝගීව හිටි සාධුවරයෙකු දැක්කා. තමන් යන ගමන නතර කළ නස්රුදින් ඒ සාධුුවරයාගෙන් මෙහෙම ඇහුවා. 


‘ඔබතුමා භාවනා කරන්නේ මොනවා ගැනද? මොන ක්‍රමයෙන් ද ඔබතුමා ආධ්‍යාත්මික සුවයක් සොයන්නේ?’ 

‘මම සතුන් අරමුණු කර ගෙන භාවනා කරනවා. මිනිසාගේ ජීවිතය වෙනස් කළ හැකි ආකාරය ගැන, බොහෝ පාඩම් ඒ සතුන්ගෙන් මා ඉගෙන ගන්නවා. මගේ ජීවිතය ගලවා ගන්නට සතුන් මට උදව් වෙනවා.’ යෝගී සාධුවරයා කීවා. 

‘ඒක ඇත්ත! මගේ ජීවිතය බේරා ගන්න උදවු වුණෙත් මාළුවෙක්!’ නස්රුදින් කිව්වා. 

ඒ කතාවට සාධුවරයා මවිතය පළ කළා. මාළුවෙකු මෙයාව බේරා ගත්ත නම් මෙයා සාන්තුවරයෙක් ම වෙන්න ඕනෑ කියලා හිතලා නස්රුදින් දිහා මහත් ගෞරවයකින් යුක්තව බැලුවා. එහෙම බලල මෙහෙම ඇහුවා. 

‘කොහොමද ඒ මහා හාස්කම සිද්ධ වුණේ ? මට ඒ විස්තර කියන්න!’ සාධුවරයා බැගෑපත් වුණා. 

‘ඒක කියන්න කලින් ඔබතුමා දන්න සියල්ල ම මට උගන්වන්න!’ නස්රුදින් කිව්වා. 

තමන් ඉදිරියේ ඉන්නේ මහා නැණවතෙක්, සාන්තුවරයෙක් කියලා සත්‍ය වශයෙන් ම පිළිගත් ඒ සාධුවරයා කිසිම පැකිළීමක් නැතිව, අවුරුදු ගාණක් තිස්සේ තමන් ඉගෙන ගත් හැම දෙයක් ම, නස්රුදින්ට කියා දුන්නා. 

අවසානයේ දී සාධුවරයා මහත් ගරුසරු ඇතිව නස්රුදින් අමතා මෙහෙම කිව්වා. 

‘ජීවිතය කාලය පුරාම මං දැන කියා ගත් හැම දෙයක් ම ඔබතුමාට මම උගන්නලා ඉවරයි! දැන් ඔබතුමා මට කියන්න ඕනෑ ඒ මහා හාස්කම ගැන. මාළුවා ඔබතුමාගේ ජීවිතය බේරා ගත් හැටි ගැන’ 

‘ඒක හරිම සුළු දෙයක් නෙ.’ නස්රුදින් කීවා. ‘මං බඩගින්නෙ මැරෙන්න තරම් අමාරුවෙන් හිටියෙ, ඒ මාළුවා හම්බ වෙන කොට. ඌ දිවි පුදා මාව බේරුවා. ඌ කෑවම දවස් තුන හතරකට මගේ ජීවිතේ බේරුණා!’

- (ළඟදීම නිකුත් වීමට නියමිත පර්සි ජයමාන්නගේ අලුත් ම නස්රුදින් කෘතියෙනි.)

Post a Comment

0 Comments