ලෝත ධාවන ශූරයන්ගේ දෙපාවලට දිරිය දුන් විස්මිත නිපැයුම

ග්‍රීක දේව කතාවල ආ ඇචිලීස් වීරයාට කරදර කළේ පාදයයි. ඇචිලීස් අමරණීය කරන්නට විළුඹෙන් අල්ලා දියේ ගිල්වද්දී විළුඹේ දිය නොතැවරුණු නිසා ඔහුගේ මරු සැඟවී සිටියේ විළුඹෙහියි. එදා පටන් මෑතක් වනතුරු ලොව පුරා මලල ක්‍රීඩකයන්ට, විශේෂයෙන් ධාවකයන් සැම දෙනාටමත්, ව්‍යායාම් පිණිස දුවන අයටත්, පාදවල තදබල වේදනාවන් ඇති වුණා. එසේ ඇති වුණේ ඒ කාලයේ ඔවුන්ට පලඳින්නට තිබූ සපත්තු නිසයි. 

නයික් සන්නාමය සපත්තු අතර ලොව පුරා වඩාත් ජනප්‍රිය නාමයයි.

1950 ගණන්වල සපත්තු දමාගෙන දුවන හැමෝ ම මුහුණ දුන් මේ ගැටලුව අද සපත්තු දාගෙන දුවන අයට ඇති වන්නේ නැහැ. ඊට විසඳුම ලබා දුන්නේ ඇමරිකාවේ ඔරෙගන් ජනපදයේ ඉයුජින් නගරයේ විසූ දඩබ්බර ක්‍රීඩා පුහුණුකරුවෙක්. ඔහුගේ නම බිල් බවර්මන් (Bill Bowerman). ඔහු තමා අද ලොව පුරා ප්‍රචලිත විස්මිත ධාවක සපත්තුව නිර්මාණය කළේ. 

ඒ කාලයේ බිල් බවර්මන් රස්සාව කළේ ඇමරිකාවේ ඔරෙගන් (Oregon) විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු හැටියටයි. ඔහු එහි දී අවබෝධ කර ගත්තා ක්‍රීඩකයන්ගේ පාදයේ වේදනාවන් ඇති වන්නේ පලඳින සපත්තුවල වරදින් බව. ඒ නිසා පාදයට වේදනාවක් ගෙන නොදෙන සපත්තුවක් නිර්මාණය කර හැටි ගැන ඔහු අවධානයක් යොමු කළා. ඒ අනුව, හොඳින් පාදයට සවි වන, ඒ වගේම ලිස්සා නොයන විධියේ, සැහැල්ලු සපත්තුවක් ඔහු සැලැසුම් කළා. ඒ සැලැස්ම ඇමරිකාවේ ප්‍රසිද්ධ සපතේරු සමාගම්වලට යැව්වා. එයින් පලක් වුණේ නැහැ. ඒ සියලු සපතේරු සමාගම් ඔහුගේ ඒ සැලැස්ම ප්‍රතික්‍ෂේප කළා. 

ඒ සිදුවීම ඔහුට අමුතු අභියෝගයක් එල්ල කළා. ක්‍රීඩකයන් පුහුණු කිරීමේ දී ඔහු ඔවුන්ට ඉදිරිපත් කරනවා, ‘තරගකාරී ප්‍රතිචාරය’(competitive response) කියා දර්ශනයක්. ඔහුගේ මලල ක්‍රීඩකයන්ට ඔහු නිතරම කීවේ, තරගයක වටිනාකම අගය කළ යුත්තේ ඒ සඳහා ලැබෙන තෑගි හා සම්මාන මත නොව ඉන් තමාට එල්ල වන ආධ්‍යාත්මික හා බුද්ධිමය අභියෝගය මත බවයි. ඔබට ජයගත නොහැකිවුනත්, ඊළඟ වතාවට මුහුණ දීමට අවශ්‍ය දැනුම ඔබට ලැබෙනවා. ඔබට ඔබ ගැනම වැඩි දැනුමක් ලැබෙනවා. ඒ වගේ ම තරගකරුවන් ගැනත් ඔබ දැනුවත් වෙනවා. ඔහුගේ දර්ශනය එයයි. 

නයික් සපත්තු දැන් ක්‍රීඩාවලට විතරක් නොවෙයි වෙනත් අවශ්‍යතාවලටත් තනනවා.

ඒ දර්ශනයට අනුව බවර්මන් ඊට ප්‍රතිචාර දැක්විය යුතු වුණා. ‘ඔබට ඔබේ අදහස ක්‍රියාත්මක කරන්න කෙනකු සොයා ගත නොහැකි නම් ඒක ඔබ කරන්න ඉගෙන ගන්න.’ ඒ නිසා ඔහු සපතේරුවකු වුණා. ඔහු ඉවත ලන බෑග් ආදිය යොදා ගෙන, ඒවා කපා කොටා හැඩ ගන්වා, ඔහු තමන්ට අවශ්‍ය, සැහැල්ලු, සුවපහසු, හොඳම සපත්තුව හැදුවා. ඒවාගේම ඔහුගෙන් පුහුණුව ලත් ධාවකයන් අතින් හදපු මේ අමුතු සපත්තු දා ගෙන දුවලා තරග පහසුවෙන්ම දිනුවා. පාදයේ කැකුක්කුම් ආවේ නෑ. 

බවර්මන්ගෙන් පුහුණුව ලැබූ එක් තරගකරුවකු වූ පිලිප් නයිට්(Philip Knight) තදින්ම විශ්වාස කළා හොඳ සපතේරුවකු අතින් මේ සැලැස්මට අනුව හරි සපත්තුවක් තැනුවොත් එය මලල ක්‍රීඩකයන් විසින් ආදරයෙන් වැළඳ ගනු ඇති කියා. ඒත් කවුරුද එ්ක කරන්නේ? ඇමරිකන් සමාගම් දැනටමත් ‍බවර්මන්ගේ සැලැස්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි! 

නයික් විලාසිතාව දැන් ලොව පුරා හදවත් දිනා තියෙන්නක්

ඒ නිසා නයිට් කල්පනා කළා, වෙනත් විකල්පයක් ගැන. 1962 දී ඔහු ජපානයට ගියා, ඒ කාලේ ජපානයේ හොඳම ක්‍රීඩා සපත්තු තනන සමාගමක් සොයා ගෙන. ඒ තමා ඔනිට්සුකා ටයිගර් (Onitsuka Tiger) සමාගම. ඔවුන් කැමති වුණා, ඒ සැලැස්මට අනුව ක්‍රීඩා සපත්තුවක් තනන්න. ඒත් ඔවුන් ඒ සඳහා කොන්දේසියක් දැම්මා. නයිට්ට කීවා ඒ සපත්තු ඇමරිකාවේ අළෙවි කරන එකම නියෝජිතයා වෙන්න කියා. ඒ අනුව ඩොලර් 1000ක් දී සපත්තු 200ක් ඇණවුම් කරන්න කියා ඔවුන් ඔහුට කීවා. 

ඒත් ඒ අවස්ථාවේ ඔහු අතේ ඒ මුදල තිබුණේ නෑ. ඒ නිසා ඔහු ඒ ඇණවුම එවන බව කියා ඇමරිකාවට ගියා. මේ සඳහා අළෙවි සමාගමක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වුණා. බවර්මන්ගේ නිවසේ කුස්සියේ දී ඒ දෙදෙනාගේ සමාගම රැස් වුණා. දෙන්නා ඩොලර් 500ක් බැගින් දාලා ‘බ්ලූ රිබන්ස්’ නමින් සමාගමක් පිහිටෙව්වා. ඔවුන් ඒ ඇණවුම යවා වසරකට විතර පස්සේ බවර්මන්ගේ සපත්තු ජෝඩු 200ක් ඔරගන්වලට ආවා. 

නයික් නිර්මාතෘවරුන් වන ක්‍රීඩා පුහුණුකරු බිල් බවර්මන් හා ක්‍රීඩක පිලිප් නයිට්(දකුණේ)

මුලදී ඒ සපත්තු අළෙවිය ලේසි වුණේ නැහැ. ඒක සපත්තුවේ ලේස් එක ගැටගහන තරම් අසීරු කරුණක් වුණා. නයිට් හා බවර්මන් දෙන්නා රැකියාවෙන් පසු සපත්තු පෙට්ටි කාරයේ දමාගෙන ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සොයා මලල ක්‍රීඩා ධාවන පිටිවලට ගියා. ඒ නව සමාගමට සිටි එකම අළෙවිකරුවන් දෙදෙනා වූයේත් ඔවුන්මයි. ප්‍රචාරක කටයුතු සිදු වුණෙත් එහෙමයි. ඒ සපත්තු ප්‍රායෝගික විශ්වාසය මත, ඒ සපත්තුවේ නිර්මාතෘගේ කීර්තිය මත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉක්මනින් අළෙවි වුණා. 

ඒ අතර බවර්මන් මේ සපත්තුව තවත් වැඩි දියුණු කළා. අඩියට දාරයක් එක්කළා. ඉහළ කොටසට නයිලෝන් භාවිත කළා. නව ආකාරයක සපත්තු අඩියක් හඳුන්වා දුන්නා. වැඩිකල් නොගිහින් මේ සපත්තු ධාවන ක්‍රීඩා ලෝකය තුළ ජනප්‍රිය වුණා. බවර්මන් නයිට් හවුලේ ‘බ්ලූ රිබන්ස්’ ක්‍රීඩා සපත්තු ඇමරිකාව පුරා ජනප්‍රිය වුණා. ඔවුන් එහි හිණිපෙත්තට නගින්න ළං වී සිටියදී එක පාරටම ඔනිට්සුකා ටයිගර් ජපන් සමාගම ඔවුන්ට සපත්තු සැපයීම හදිසියේ ම නවතා දැමුවා. ඔවුන් නඩු මගට බැස්සාමයි ඔවුන්ට දැන ගන්න ලැබුණේ ඒ සමාගම ඇමරිකා එක්සත් ජනපදය පුරා ඔවුන්ගේ ම අළෙවි ජාලයක් අරඹා ඇති බව. 

ඊළඟ පැය 24 ඇතුළත ජපානය බලා යන ගුවන්යානයක පිලිප් නයිට් දැක ගත හැකි වුණා. දවස් 30ක් ඇතුළත නව සපත්තු නිෂ්පාදකයෙකු ජපානයෙන් සොයා ගන්නට ඔහුට හැකි වුණා. ‘බ්ලූ රිබන්ස්’ නම අතහැර අලුත් නමක් යොදා එදා ඔවුන් පටන් ගත් සමාගම අද ඇ‍මරිකාවේ ජයකෙ‍ෙහළි නැංවූ ව්‍යාපාරයක්. ඔවුන් වසරක ආදායම ඩොලර් බිලියන 2.5ක් විතර වෙනවා. සපත්තු අළෙවියෙන් විතරක් ඔවුන් වසරකට ඩොලර් මිලියන 18,000කට වැඩියෙන් උපයනවා. ඒ විතරක් නොවෙයි, ඔවුන් ක්‍රීඩාවලට අවශ්‍ය හැම දෙයක් ම නිපදවා අළෙවි කරනවා. එක් ක්‍රීඩා පුහුණුකරුවකුගේ හිතේ ඇඳුණු නව අදහසක් අද මහා ව්‍යාපාරයක් වෙලා ක්‍රීඩා ලෝකයේ ජයකෙහෙළි නංවලා හමාරයි. මේ කීර්තිමත් නවෝත්පාදනය අන් කිසිවක් නොව නයික් (Nike). ඒ ඉංග්‍රීසි අකුරු හතර නොදන්නා අයෙක් ලෝකයේ නැති තරම්. ඒ නම ආවේ ග්‍රීක බසින්. නයික් යනු ජයග්‍රහණයේ ග්‍රීක දෙව්දුවයි. 

නයික් සන්නාම සංකේතය

බිල් බවර්මන් හා පිලිප් නයිට් කිසිදාක පරාජය භාර ගෙන නිහඬ වන දෙදෙනෙක් නොවෙයි. බවර්මන් හා නයිට් දෙදෙනාත් ඔවුන්ගේ නයික් කණ්ඩායමත් ඒ වගෙයි. ආරම්භයේ සිට ම ආ ‘තරගකාරී ප්‍රතිචාරය’ නම් දර්ශනය බවර්මන්ගෙයි. ඔහු ක්‍රීඩකයන්ට දුන් උපදේශය වූයේ සාමූහික කැපවීම සාර්ථක වීමට නම් පුද්ගලයකුගේ ඉහළ ම දක්ෂතාවත්, එය කණ්ඩායමක් වෙනුවෙන් ලබාදීමට එකඟවීමත් අවශ්‍ය බවයි. එය ඉටුවියයුතු ආකාරය බවර්මන් නයිට්ට කියනවා. නයිට් අනිත් අයට කියනවා. ඒ අනුව හැමදෙනාම එකාවන්ව කැපවී වැඩ කරනවා. අනික් සියලුම සමාගම් අබිබවා යන්නට ඔවුන්ට හැකි වූයේ ඒ නිසයි. ආරම්භයේ දී බවර්මන් මෙය ඔහුගෙන් පුහුණුව ලද ක්‍රීඩකයන් තුළින් ලොවට පෙන්නා දුන්නා. ඔහුගේ හොඳම ගෝලයා වූ පිලිප් නයිට් ඒ දර්ශනය ක්‍රීඩාවට පමණක් නොව ව්‍යාපාර කටයුතුවලටත් යොදා ගත හැකි බව පෙන්නුවා. 

අද පිලිප් නයිට් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම ව්‍යාපාරිකයන් අතර 24 වැනියායි. නයික් අදහස ලොවට ගෙනා ඇමරිකාවේ කීර්තිමත් ක්‍රීඩා පුහුණුකරු බිල් බවර්මන් 1999දී මිය ගියා. ඔහු ඔලිම්පික් ශූරයන් 31 දෙනෙකුගේ හා ඇමරිකන් ජාතික තලයේ ක්‍රීඩකයන් 51 දෙනෙකුගේ පුහුණුකරු වීමේ වාසනාව ලද්දෙක්.

ඔවුන්ගේ ආදර්ශය පාඨය ‘වහාම කරන්න’ (Just Do It) යන්නයි. එහි පසුබිම් කතාවත් විස්මිත එකක්. එය මිනීමරුවකුගේ අවසාන වදන් ඇසුරෙන් සකස් කළ එකක් යැයි ඒ පාඨය හඳුන්වා දුන් වෙළෙඳ ප්‍රචාරක ආයතනයේ ප්‍රධානියා වූ ඩෑන් වීඩින් කියනවා. 1988 දී මිනීමැරුමකට මරණ දඬුවම ලත් ඝාතකයා වූ ගැරී ගිල්මෝ‍ගෙන් මියයන්නට කලින් අවසානයට කිවයුත්තක් ඇදැයි විමසූ විට ඔහු කියා ඇත්තේ, ‘වහාම කරමු’ (Let’s do it) යන්නයි. ඩෑන් ඩීන් එය මඳක් වෙනස් කළ සකසා ගත් බව කියනවා. 

- පර්සි ජයමාන්න  


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments