HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලිවිසැරියත් දිවිසැරියත් නිමා කළ සියවස් සපිරී මිතුරා

ඔහු අපට සිටි වයෝවෘද්ධතම ලේඛකයා ය. දසක හතක් තිස්සේ දස්කම් පෑ ඔහුගේ පන්හිඳ පසුගිය මැයි 17 වැනිදා නිහඬ විය. ශ්‍රී ලංකාවේ පුවත්පත් ඔස්සේ කෙටිකතාවෙන්, කවියෙන්, ඔහු අපට ජීවන රස බෙදා දුන්නේ ය. ළමා කාලයේ පටන් හුරුපුරුදු ඒ නම අපට කිසිදාක අමතක නොවේ. ඔහු අන්කිසිවකු නොව වෙන්නප්පුවේ පයස් ප්‍රනාන්දු ය. පසුගියදා දිවි සැරිය නිම කරන විට ඔහු ජීවන මගේ 101 කණුව පසු කරමින් සිටියේ ය. 

වෙන්නප්පුවේ පයස් ප්‍රනාන්දු

1920 වෙන්නප්පුවේ උපන් ඔහු මහරගම රජයේ ගුරු විද්‍යාලයෙන් පුහුණු ගණිත ගුරුවරයෙක් ලෙස වරම් ලබා සබරගමු පළාතේ රජයේ පාසල්වල සේවය කොට, පින්නවල බණ්ඩාරනායක මැදි විදුහලේ සේවයෙන් පසු 1980 දී විශ්‍රාම ලැබුවේ ය. ගණිත පොත් කීපයක් ලියා පළ කළ ඔහු ‘ජර්මන් කැටිකීසම්’ නම් කෘතිය ‘ක්‍රිස්තු ධර්මය’ නමින් සිංහලට පෙරළුවේ ය. ඔහුගේ කෙටිකතා පොත් අතර ‘අකීකරු පුත්‍රයා’, ‘සම්මා දිට්ඨි’, ‘වන සසරින් නිවන් මගට’, ‘පබෝදා’ යන ඒවා කැපී පෙනෙයි. 

ඔහු අනූහය හැවිරිදි වියේදී, පළ කළ ඔහුගේ අවසාන කෘතිය වූ ‘වීසි කළ දළං කෑලි’ නම් කාව්‍ය සංග්‍රහයෙහි සිය දිවි පවත ගැන ලියූ මේ අනුවේදනීය කවි පෙළ ඔහුගේ ජීවිතයේ සරල බව, ඔහු සතු නිහතමානීකම, අවංකකම, මිනිස්කම විදහා පායි. 

ලෝකය දැක ඇත්තෙ අන් සතු    නිවෙසකලූ 
සීමිතවයි ලැබුනෙ ඕනෑ දේ                  සියලූ 
ගැටවර වියේ ඉදිරිය පිළිබඳ                 ගැටලූ 
බර පොදියක් වුණේ නැත මා හිස        මැඩලූ 

අහරක් ඇඟලුමක් නො මැතිව නිසි    ලෙසිනී 
කුස්සියෙ එළියෙ බිම පැදුරේ       වැතිරෙමිනී 
ඉල්ලා ගත් අනුන්ගේ පොත්       සරණයෙනී 
ගුරු ජීවිතය ඇරැඹූවෙත්               අහඹුවෙනී 

පන්හිඳ අතට ලැබ නැකතට කවි          සමය 
උරුමය ලෙසට නො ලදිමි එය      ඇත්තමය 
දිවියෙහි නො පැතුවේ සරසවි        උණුසුමය 
මා සතු ගරු උපාධිය                  දුප්පත්කමය 

දුක සැප දෙකම විදුලිය වූ             ඇසිල්ලක 
අනූ හය වසක් පිරි දිවි                 ගෙවිල්ලක
මතකය ගෙනෙන ඒ සිදුවූ             සියල්ලක
ජීවිත පුවත වෙයි අබ ලූ                 පියල්ලක 

උපතින් කතෝලිකයකු වූ ඔහු 1950 දී ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතින් ලේඛකයකු ලෙස දොරට වැඩියද ඔහු අපට හමුවූයේ සිළුමිණ, ජනතා, ලංකාදීප, දවස, රිවිරැස, මිහිර, තරුණි, වනිතා විත්ති, නවයුගය, ශ්‍රී, රසවාහිනී වැනි ජාතික පුවත්පත් හා සඟරා තුළින් කෙටිකතාකරුවකු හා කවියකු ලෙසිනි. දිවංගත ශ්‍රීලාල් හික්කඩුවේ ලියනගේ සූරීන් කතු පදවිය දැරූ සමයේ සිළුමිණ, මිහිර, තරුණී, නවයුගය ආදී පුවත්පත් සඟරාවලට ඔහුගේ නිර්මාණ නිතරම එක් කරගත් බව අපට මතකය. 

මා කිසිදාක ඔහු කයින් හඳුනාගෙන නොසිටියද, දශක පහකට අධික මගේ පුවත්පත් කලා ජීවිතයට ඔහුගේ නිර්මාණවලින් ලද පිටිවහල ඉමහත් ය. මේ සටහන තබන්නේ ද ඊට කෘතගුණ වශයෙනි. කෙටිකතා පමණක් නොව ඔහු අප වෙත එවූ, වෙනත් ලිපියක් හෝ වේවා, අපට සතුට දනවන දසුනක් විය. ගණිත ගුරුවරයකු වූ නිසාදෝ ඔහුගේ සෑම නිර්මාණයක් ඔහු හොඳින් පෙළ ගස්වා තිබුණු අතර ඒවායෙහි කිසිවිටෙක කපා කොටා සංස්කරණය කළයුතු දෙයක් නොවීය. 

පුවත්පත් කලාවේදීන් වන අපට පුවත්පතක් සාර්ථකව කර ගෙන යාමට තෙයාකාරයක සම්පත් දායකයන් අත්‍යවශ්‍ය ය. ඉන් කාර්යමණ්ඩල සාමාජිකයන් ප්‍රධාන ය. දෙවනුව බාහිර සම්පත් දායකයන් ය. තුන්වනුව පාඨක කාරකාදීන්ය. පයස් ප්‍රනාන්දු සූරීන් වැටෙන්නේ දෙවන කොටසට ය. මගේ පුවත්පත් ජීවිතයේ දී මට හමු වූ එවැනි ‘පෑනේ’ මිතුරන් සිය ගණනක් අතරින් ඔහුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. 

ඔහු වැනිම තවත් මිතුරෙක් පසුගියදා ඔහු ගිය මග ගියේය. ඒ කන්ද උඩරට සිට අපට බොහෝ සේ ලිපි ලියා එවූ ආර්. බී. අතපත්තු මිතුරා ය. ඔහු ලියූ පොත් අතරින් ‘ස්වභාවික ව්‍යසන’, ‘විශ්වය, අපට පෙනෙන ග්‍රහලෝක හා තරු’, ‘අහස’ යන පොත් පුස්තකාලවල කැපීපෙ‍ෙනන කෘතීන් ය. අතපත්තු මිතුරාට නිවන් සුව පතන අතර පයස් ප්‍රනාන්දු මිතුරාට සගමොක්සුව පතමි. 

- පර්සි ජයමාන්න 

(වෙන්නප්පුවේ පයස් ප්‍රනාන්දු සූරීන් දිවංගත වූ බව අප දැනුවත් වූයේ සිරිල් එ‍ෙඬ්රමුල්ල මිතුරා තැබූ සටහනකිනි.)

Post a Comment

0 Comments