HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඈත එපිට සක්වළ දකින්නට යැවෙන අලුත් විස්මිත ඇස!

ඇමරිකාවේ නාසා ආයතනය ලබන ඔක්තෝබරයේ දී උඩුගුවනට විදින්න බලාපොරොත්තුවෙන් සිටින යෝධ දුරේක්ෂය පසුගියදා දිග හැර නිරීක්ෂණය කළා. ජේම්ස් වෙබ් (James Webb) අභ්‍යවකාශ දුරේක්ෂය කියා හැඳින්වෙන එය සැලසුම් කර ඇත්තේ හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය වෙනුවට භාවිත කිරීමටයි. මෙය ඇමරිකාවේ නාසා (NASA) ආයතනයේ තනි වැඩක් නොවේ. මේ සඳහා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) හා කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (CSA) යන ආයතනත් හවුල් වී තියෙනවා. 

කැලිෆෝනියාවේ රෙඩොන්ඩෝ වෙරළේ නෝත්‍රොප් ග්‍රමන්හිදී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ 
දුරේක්ෂය පරීක්ෂාවට ලක් කෙරෙන අයුරු.

අනාගතයේ දී මේ නව අභ්‍යවකාශ දුරේක්ෂය පෘථිවියේ සිට සැතපුම් මිලියන ගණනක් එපිට පෘථිවියත් සූර්යයාත් අතර විශේෂ කක්ෂයක ස්ථාපිත කරනු ඇති. මෙය ලබන ඔක්තෝබරයේ දී ප්‍රංශ ගුයානාවේ කෝරෝ (Kourou) ලාන්චියෙන් උඩු ගුවනට යවනු ඇති. මෙය ඉහළට ගෙන යන්නේ යුරෝපීය අභ්‍යවකාශ ආයතනයට අයත් ඇරියාන් 5 (Ariane 5) රොකට්ටුවෙන්. 

මෙතෙක් භාවිත නොවූ තරම් විශාල දර්පණයක් මේ නව අභ්‍යවකාශ දුරේක්ෂයට සවි කෙ‍ෙරනවා. ‘ජපන් ඔරිගමි කඩදාසි කලාවේ නිර්මිතයක්’ සේ පෙනෙන මේ දර්පණය පළමු වතාවටයි, මෙහිදී දිග හැරෙන්නේ. මෙහි ප්‍රධාන දර්පණය අඩි 21 අඟල් 4ක් විශාලයි. එය උඩුගුවනේ රැ‍ඳ‍ෙන ආකාරය කෙසේ දැයි ඔබට මෙහිදී දැක ගත හැකියි. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය
ප්‍රධාන දර්පණය (primary mirror), විද්‍යාත්මක උපකරණ (scientific instruments), 
ද්විතියික දර්පණය (secondart mirror), ස්ථායිකාරක තැල්ල (stabilization flap), 
හිරු ආවරණය (sunshade), ඇන්ටෙනාව (antena), සූර්ය අරා පද්ධතිය 
(soar array), අභ්‍යවකාශ යානයේ සන්නායක පද්ධතිය (spacecraft bus).

මේ යෝධ දර්පණය සැකසෙන්නේ ෂඩාස්‍ර හැඩයේ දර්පණ 18කින්. දැන් මෙසේ දිග හැර බලන මෙය නැවතත් තිබුණු පරිදි අකුළා උඩුගුවනට යවනු ඇති. එ් අවස්ථාවේ දී එය රැඳවීමට නියමිත තැනේදී යළි දිග හැරී නිසි පරිදි සැකසීම ස්වයංක්‍රීය යාන්ත්‍රණයකින් තමයි, සිදුවන්නේ. 

‘මේ ප්‍රධාන දර්පණය තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්වන්නක්.’ යයි නාසා ගොඩාඩ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ දෘෂ්ටි දුරේක්ෂ කළමනාකරු ලී ‍‍‍‍‍ෆ‍ෙයින්බර්ග් කියනවා. ‘මේ තරම් විශාල දර්පණයෙහි සැහැල්ලු බව, එහි ඇති ක්‍රියාකාරී උපාංග හා යාන්ත්‍රණය, ඊට අනුබද්ධ විද්යුත් මෙවලම්, තාපාවරණ ආදිය විස්මයජනකයි.’ ඔහු කියනවා. 

ලබන ඔක්තෝබරයේ දී අභ්‍යවකාශයට යැවෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට 
අයත් යෝධ දර්පණය දිග හැර බලන අයුරු.

අභ්‍යවකාශයේ දී මෙම අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියාත්මක වන අයුරු පරීක්ෂාකර බැලුවේ කැලිෆෝනියාවේ රෙඩොන්ඩෝ වෙරළේ නෝත්‍රොප් ග්‍රමන්හී පිහිටුවා ඇති විශේෂ පාලක මැදිරියේ දියි. මෙහි ඇති සංකීර්ණ උපකරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශූන්‍ය ගුරුත්වය ඇති කිරීම සඳහා මේ දුරේක්ෂයට සවි කෙරෙන විශේෂ ගුරුත්ව පාලක යන්ත්‍රයද මෙහිදී අත්හදා බලනු ඇති. 

දර්පණවල ආරක්ෂාවට තාප ආවරණ යෙදීම, අනෙක් පරිවාරක මෙවලම් නිසි තැන්වලට සවි කිරීම ද මේ පරීක්ෂාවේ දී සිදු කෙරෙනවා. 

විද්‍යා ගවේෂණ චාරිකාවට පෙර මෙසේ සියුම් ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන්නේ 
මෙම අභ්‍යවකාශ දුරේක්ෂයට අයත් සියලු උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි බැලීමටයි.

විද්‍යාව මින් පෙර කිසිදාක නොකළ ආකාරයට, අභ්‍යවකාශයේ ඉතා ඈත පිහිටි ආකාශ වස්තූන් පරීක්ෂා කිරීමට නම් මේ දුරේක්ෂයේ දර්පණ දැවැන්ත ඒවා විය යුතුයි. එතරම් විශාල දර්පණයක් දිග හැර ගෙන යන්න කිසිම රොකට් එකකින් බැහැ. ඒ නිසා එය විධිමත්ව හකුළා ගෙන ගොස් අවශ්‍ය තැනදී එය දිග හැර නිසි පරිදි ස්ථාපිත කර ගන්න ඕනෑ. මිනිසාට ඒ තරම් දුර යා නොහැකි නිසා ඒ සියල්ල ස්වයංක්‍රීයව කරන්න සිදු වෙනවා. 

අන්තිමේ දී අඩි 16ක රොකට්ටුවක් තුළ බහාලන්නට හැකි ආකාරයට හකුළුවාලන්නට ඔවුන් සමත් වුණා. මෙය අභ්‍යවකාශයට ගෙන ගොස් නිශ්චිත තැනට මුදා හළ විට එහි යෝධ දර්පණය දිග හැර එය නාභිගත කොට සියලු කටයුතු ස්වයංක්‍රීයවයි, සිදු කෙරෙන්නේ. ඒ සඳහා සංක්‍රියක (actuators) 132ක් හා මෝටර රැසක් ඒ ස්වයංක්‍රීය යාන්ත්‍රණයට ඇතුළත් වෙනවා. වෙබ් දුරේක්ෂයට අයත් සියලු කොටස් එක් තැන් කොට, එහි දර්පණ සියල්ල නිසි ලෙස නාභි ගත කොට, සක්‍රිය දැවැන්ත පරාවර්තකයක් බවට පත් කරන්නේ ඒ සංක්‍රියක මගිනුයි. මෙයත් එක්තරා ආකරයක විද්‍යාවේ හාස්කමක්! 

එහි ඇති සංකීර්ණ උපකරණ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශූන්‍ය ගුරුත්වය 
ඇති කිරීම සඳහා විශේෂ පාලක යාන්ත්‍රණයක් මේ දුරේක්ෂයට සවි කෙරෙනු ඇති.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය එක්තරා විධියක ‘කාල යන්ත්‍රයක්’ (time machine) වගේ එකක්. එයට අභ්‍යවකාශයේ තැන්පත් කළ පසු විශ්වයේ අතීතයට ගොස් අපේ විශ්වයේ රහස් එළිදරවු කර ගත හැකි වේවි. එය මීට වසර බිලියන 13.5කට එපිට මුල් ම මන්දාකිණි බිහි වූ අන්දම සොයා ගැනීමට උදවු වේවි. ඒ වගේ ම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්, චන්ද්‍රයන්, ඉන් එපිට ඇති බහිර්ග්‍රහයන් (exoplanets), තරු, කළු කුහර ආදිය ගැන තතු අපට කියා දේවි. 

ඈත අභ්‍යවකාශයේ ඇති අධික ශීතල නිසා ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ සවි කරෙන උපකරණ කෙල්වින් 40ක වැනි ඉතා පහළ උෂ්ණත්වයකදී, එනම් ඍන සෙල්සියස් 233ක දී, පවා ක්‍රියාත්මක වීමට හැකි වන ලෙසයි, ‍ඒවා සකසා ඇත්තේ. 

මේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය තනන්නට දායක වූ අය කියන විධියට මෙය තැනීම සඳහා ඩොලර් බිලියන 8කට වැඩි වියදමක් යනවා. ඇමරිකාවේ නාසා ආයතනය ආරම්භයේ දීම මෙයට ඩොලර් බිලියන 7ක් ලබා දී තියෙනවා. 

පහත වීඩියෝව බලන්න!

2021 ඔක්තෝබරයේ මෙය අභ්‍යවකාශයට යැවූ පසු මෙය ලෝකයේ ලොකුම හා බලසම්පන්න දුරේක්ෂය වනු ඇති. විශ්වය බිහි වූ මහා පිපිරුමෙන් මෙපිට වසර මිලියන 200ක් දක්වා විමර්ශනය කරන්නට මෙයට හැකියාව තියෙනවා. 

මේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සැලසුම් කර ඇත්තේ වසර පහක කාලයක් පාවිච්චි කිරීමට වුවත් මෙය වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් සක්‍රියව පවතීවි යැයි නාසා ආයතනය විශ්වාස කරනවා. මෙය රඳවන දුර අනුව අපට එහි අලුත්වැඩියා කටයුතු ගැන හිතන්නවත් බැහැ. 

දැනට හබල් දුරේක්ෂය රඳවා ඇති තැනට වඩා සැතැපුම් 340ක් ඈත අභ්‍යවකාශයට ගෙන ගොස් මෙය විදාහළ විට මෙහි ප්‍රමාණය අඩි 66ක් දිග හා අඩි 46ක් පළල වේවි. පෘථිවියේ සිට සැතැපුම් 930,000ක් ඈතින් විශේෂ කක්ෂයක මෙය රැඳවීමට නියමිතයි. එය හඳට ඇති දුර මෙන් සිවු ගුණයක්! මේ ස්ථානය හැඳින්වෙන්නේ සූර්ය-පෘථිවි ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යය (Sun-Earth Lagrange point) කියායි. සූර්ය-පෘථිවි ආකර්ෂණයන් හා විකර්ෂණයන් සමබලව පවතින තැනක්. 

2021 ඔක්තෝබරයේ දී මෙය යුරෝපීය රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යැවීමට නියමිතයි. මෙය ස්ථාන ගත කළ පසු පළමු නිරීක්ෂණය ලැබෙතැයි අපේක්ෂා කෙරෙන්නේ 2022 දියි. 

මෙය අති සංකීර්ණ ප්‍රබල දුරේක්ෂයක් නිසා, පිටසක්වළ ජීවීන් ඇත්නම් නිශ්චිතව මෙමගින් අපට සොයා ගත හැකි වේවි. විද්‍යාඥයන් අපේක්ෂා කරන විධියට එය 2026දී සිදුවේවි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments