HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැන් සිතෙන් යතුරුලියනය කරන්නත් පුලුවන්! විස්මිත සොයා ගැනීමක්!

ඇමරිකානු පර්යේෂකයන් කණ්ඩායමක් අත් අකුරු ලිවීමේ දී මො‍ළයෙන් නිකුත් කරන සංඥා විකේතනය කිරීමට සමත් වී තියෙනවා. මේ සංඥා මො‍ළයේ තැන්පත් කෙරෙන මයික්‍ර‍ො චිපයක් මගින් හඳුනාගෙන පරිගණක තිරයක එවේ‍ලේම අතින් ලියන වේගයෙන් ම සටහන් කරන්න දැන් පුලුවන්කම තියෙනවා. 

මෙවැනි ඉතා කුඩා ඉලෙක්ට්‍රෝඩ අරාවක් තමයි මොළයට බද්ධ කෙරෙන්නේ. 
මෙය පමණට වඩා විශාල කොටයි ඔබට පෙන්වන්නේ. මේ කාසියෙන් එහි ඇති 
ඉතා කුඩා බව ඔබට පැහැදිලි වේවි.

ලියන්නට අත පණ නැති කෙනෙකුට හෝ උපතින්ම ඒ හැකියාව නොලද අයකුට හෝ මේ නව ක්‍රමයෙන් පරිගණක සහයෙන් සාමාන්‍ය අයකුට මෙන් ලිවීම කළ හැකියි. ඒක කරන්නේ මොළය හා පරිගණකය සම්බන්ධ කරන අතුරුමුහුණතක් (brain-computer interface - BCI) සම්බන්ධ කර ගෙනයි. ලියන ආකාරය සිතින් මවා ගත්තා ම ඒ මොහොතේ ම මොළයෙන් නිකුත් කෙරෙන සංඥා විකේතනය කොට එසැණ පරිගණක තිරයේ ලියැවෙනවා. 

මෙසේ විකේතනය කෙරන්නේ බෙහෙත් පෙත්තක් තරම් ඉතා කුඩා ‍චිපයක් මගින්. පර්යේෂකයන් කියන්නේ අත හා ඇඟිලි මෙහෙයවා ලියන්නට අපහසු අයට මෙය ඉතා හොඳ පිළියමක් බවයි. පර්යේෂණාගාරයක් තුළ දී අතක් පණ නැති කෙනෙකු අත නොසොල්වා මේ ක්‍රමය භාවිතයෙන් පරිගණකය යොදා ගෙන, සාමාන්‍ය අයකු ස්මාට් ෆෝන් එකක යතුරු ලියන වේගයෙන් අකුරු ලියන්නට සමත් වුණා. එසේ ම ඔහු තමාට එල්ල කළ ප්‍රශ්නවලට ඒ ආකාරයෙන් ම පිළිතුරු දුන්නා. 

ගෙලෙන් පහළ මුළුමනින් ම පණ නැති, 65හැවිරිදි අයෙක් තමයි මේ පර්යේෂණයට එක්වුණේ. 
ඔහු හඳුනාගත් විගස ඒ අකුරු තිරයේ එසැණ ලියැවුණා.

මේ නව අධ්‍යයනය හැඳින්වෙන්නේ බ්‍රේන්ගේට් (BrainGate) කියලයි. මෙහිදී සිදුකෙරෙන්නේ කුඩා චිපයක් මොළයට බද්ධ කිරිමයි. එය මෙහෙය වූයේ ආචාර්ය ලී හොච්බර්ග් (Leigh Hochberg) නම් රෝඩ්ස් දූපතේ ප්‍රොවිඩන්ස් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ ස්නායුවේදය පිළිබඳ මහාචාර්යවරයායි. ස්ටැන්ෆ්ර්ඩ් විශ්ව විද්‍යාලයේ හා හොවාඩ් හියුස් වෛද්‍ය ආයතනයේ පර්යේෂණ සහකාරකයකු වූ ෆ්රෑන්ක් විලට් ඒ පර්යේෂණයට නායකත්වය දුන්නා. 

‘අපට අවශ්‍ය වෙනවා මිනිසාට ඉක්මනින් සන්නිවේදනය කළ හැකි නව ක්‍රම ගැන සොයන්න’ විල්ට් කියනවා. ‘මේ නව ක්‍රමය විද්‍යුත් ක්‍රමයට පටිගතකර ගන්නා මොළයෙන් නිකුත් කරන සංඥා සහ භා‍ෂාවෙහි අක්ෂරවල ඇති සන්නිවේදන ශක්තිය එකට ගළපා සකසා ගත් එකක්.’ 

අනතුරක් හේතුවෙන් හෝ ව්‍යාධියක් නිසා හෝ මිනිසකුගේ චාලක ශක්තිය ගිලගත් විට ඔහුගේ මෙ‍ාළයේ ක්‍රියාකාරිත්වය නතර වෙන්නේ නැහැ. ඒවා ශරීරයේ අවයව හා බද්ධ නොවීම පමණයි, සිදු වන්නේ. එවැනි අවස්ථාවක මොළයේ සිදුවන ක්‍රියාකාරකම් හසු කර ගෙන ඒවා වැඩට ගැනීමයි පර්යේෂකයන් මෙහිදී සිදු කළේ. 

ඔවුන්ගේ අධ්‍යයනයට භාජනය වූයේ කශේරුකාවට සිදු වූ අනතුරක් නිසා එක් තැන්වුණු 65 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ ගෙලෙන් පහළ සම්පූර්ණයෙන් ම පණ නැතුව ගිහින් තිබුණේ. 

මොළයට බද්ධ කළ ඉතා කුඩා ඉලෙක්ට්‍රෝඩ අරා දෙකකින් ලැබෙන තොරතුරු 
අනුව තිරය මත අකුරු සටහන් කෙරෙනවා.

විද්‍යාඥයන් ඉතා කුඩා ඉලෙක්ට්‍රෝඩ අරා (electrode array) දෙකක් ඔහුගේ මොළයේ අත හා බාහුව ක්‍රියාකරවන කොටස වූ චාලක බාහිකයට (motor cortex) බද්ධ කරනවා. ඒ එක ඉලෙක්ට්‍රෝඩ අරාවක ඉලෙක්ට්‍රෝඩ 100ක් තියෙනවා, චාලක බාහිකයෙන් නිකුත් කෙරෙන සංඥා හසු කර ගන්නේ මේ ඉලෙක්ට්‍රෝඩ අරාවන්ගෙන්. 

ඊළඟට පර්යේෂකයන් කීවා, ඔහුට අතින් පෑනක් අල්ලාගෙන කොළයක ලියනවා යැයි සිතා ඒ කාර්යය සිතෙන් අභිනය කරන්න කියා. ඔහු ඒ කාර්යය එසේ කරද්දී ඔහුගේ මොළයෙන් නිකුත් වූ සංඥා ඉලෙක්ට්‍රෝඩ අරා මගින් හසු කර ගෙන පරිගණකයට යොමු කෙරුණා. එය ඒ මොහොතේ ම විකේතනය කරමින් පරිගණක තිරයෙහි ඒවා එසැණ ලියැවෙන්න පටන් ගත්තා. 

‘මොළයෙන් පිටපතට’ (brain-to-text) යන ක්‍රමයට ඒ පුද්ගලයා ඇසූ ප්‍රශ්නවලටත් ඒ අයුරින් අකුරින් අකුර වශයෙන් උත්තර දුන් අතර ඒවා ඔහු ලියන්නාක් මෙන් මොනිටරයෙහි සටහන් වුණා. එය මැජික් එකක් වාගෙයි බැලූ බැල්මට පෙනුණේ. 

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ‍ජෙයිමී හෙන්ඩර්සන් මේ ගැන කියන්නේ, ‘මේ ක්‍රමයට අංශබාග රෝගියකුට සාමාන්‍ය නිරෝගී අයකු ස්මාට් ෆෝනයක ලියනවා වාගේ ම අකුරුවලින් වචනත් වාක්‍යයත් ගොනු කර ලියන්න හැකියාව ලැබීම ඇත්තෙන්ම පැසසිය යුත්තක්.’ කියායි. 

පහත වීඩියෝවත් බලන්න!

මෙහි අරමුණ ලිවීමෙන් අකර්මණ්‍ය වීම වළක්වා ප්‍රකාශනය තහවුරු කිරීමයි. මේ අධ්‍යයනයේ සම කර්තෘ ක්‍රිෂ්ණා ෂෙනොයි කියන්නේ, ‘බලන්න ඔබ තව කෙනෙක් සමග කතා බහ කරන්න කෙතරම් කාලයක් පරිගණකය ඉදිරියේ ගත කරනවා ද කියලා. එහෙම කරන්න බැරිව ආබාධිතව සිටින අයට ‍පරිගණකයෙන් ඔබ කරන දේ ඒ ආකාරයෙන් ම කරන්න අවස්ථාව සැලසීම හරිම අපූරු දෙයක් නේද?’ කියා අසමින්. 

2015 දී මේ බ්‍රේන්ගෙට් ව්‍යාපෘතිය යටතේ චාලක බාහිකයට සවේදකයක් බද්ධ කිරීම තුළින් පක්ෂගාත රෝගීන්ට සිතිවිලි මගින් අකුරු හඳුනා ගැනීමට ඇති හැකියාව තහවුරු කෙරුණා. දැන් මෙවර ඇත්තේ එහි නව දිගුවක්. හුඟක් වැඩිදියුණු කළ අවස්ථාවක්. කලින් ක්‍රමයට යමකුට මිනිත්තුවකට අතුරු 40ක් පමණයි හඳුනා ගත හැකි වූයේ. මේ නව ක්‍රමයට මිනිත්තුවකට අකුරු 90ක් සිතෙන් ලියන්න පුලුවන්. ස්මාට්‍ෆෝන්වලින් ලියන අය මිනිත්තුවකට වචන 115ක් ලියන අවස්ථාත් තියෙනවා. 

මෙය ඇත්තෙන්ම  විද්‍යාඥයන් ලත් විස්මයජනක ජයග්‍රහණයක්. මේ සම්බන්ධව තවත් අත්හදා බැලීම් කරන්න තියෙනවා, මහජනතාවට මෙහි ඵල ප්‍රයෝජන ලබා දෙන්න කලින්. බ්‍රේන්ගේට් කණ්ඩායම ඉතා ඉක්මනින් මෙය සම්පූර්ණ කර ජනතාව අතට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments