HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගාමිණී පොන්සේකා ගැන මෙතෙක් නොකී කතාවක්!

ගාමිණී පොන්සේකා ගැන ලියැවුණු බොහෝ කරුණු සම්පිණ්ඩනය කළහොත්, පුළුල්ම රංගන පරාසයක් තිබූ ශ්‍රී ලාංකේය නළුවාය. ඔහුගේ රංග පෞරුෂය, ඔහුගේ කාය පෞරුෂය අතික්‍රමණය කළේය. 

ගම්පෙරළියේ ජිනදාස - සාගරයක් මැද දොස්තර මොළදණ්ඩ - සරුංගලේ නඩරාජා - හුලවාලි ධාරා - නිධානය විලී අබේනායක - අමල් බිහෝ බයියා - වැලිකතර වික්‍රම රන්දෙණිය - චණ්ඩියා චුට්ටේ - පරසතු මල් බොනී මහත්තයා - යුගාන්තය සවිමන් කබලාන - රන්මුතු දූවේ බන්දු ආදී භූමිකා විභාග කර බලන විට ඔහුගේ රංග පරාසය කොතරම් පුළුල්දැයි වටහා ගත හැකිය. 

ඔහු දෛවයෝගයේ අසුන් පිට ගියේය. රන්මුතු දූවේ දී මූද යට කිමිදුණේය. ගැටවරයෝ හිදී බෝට්ටු රේස් ගියේය. ආත්ම පූජාවේදී කඩු සටන් කළේය. චණ්ඩියාහිදී ගුටි බැට ඇණ ගත්තේය. සංදේශයේ දී දුනු ඊතල හරඹ කළේය. සැනසුම කොතැනද හි සිවුරු පොරවා භාවනා කළේය. 

චණ්ඩියා හිදී පේමන්ට් බස කතා කළේය. සීතා දේවී, නොමියෙන මිනිසුන් හි ව්‍යක්ත ඉංගිරිසිය කතා කළේය. සරංගලේ සහ දෙමළ චිත්‍රපට කිහිපයක දෙමළ බස කතා කළේය. නැටුවේය. ගහගත්තේය. සිංදු කීවේය. මේ සියල්ල ඔහුගේ රංග පරාසයට ප්‍රබල සාධකය. 

ගාමිණී ජීවිත සිනමාවෙන් සමුගන්නා විට සිංහල චිත්‍රපට 96ක රඟපා සිටියේය. ‘ඉලය නීලා’ සහ ‘නීල කඩලින් ඔරිත්තලෙයි’ දෙමළ චිත්‍රපට දෙකක රඟපා සිටියේය.’රැම්පේජ්’, ‘ක්‍රිස්ටල් බුක්’ සහ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ ඉංගිරිසි චිත්‍රපට 3ක රඟපා තිබුණි. පරසතු මල් (1996), උතුමාණෙනි (1980), මයුරිගේ කතාව (1970), සාගරයක් මැද (1981), බාඳුරා මල් (1981), සක්විති සුවය (1982), කොටි වලිගය (1986), නොමියෙන මිනිසුන් (1994), ඇන්තිම රැය (1998) චිත්‍රපට නවයක් අධ්‍යක්ෂණය කළේය. 

නළුවකු වශයෙන් ඔහු සිනමා නළු නිළියන්ට වෘත්තීය ගෞරවයක් හා අභිමානයක් අත්පත් කර දුන්නේය. ජාතික මට්ටමේ සකලවිධ සම්මානයෙන් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවට පමණක් නොව, අපට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති භාරතයේ නළුවන්ට ද යථාර්ථවාදී රංගන රීතිය හඳුන්වාදෙමින් ආසියානු කලාපයේ තාත්වික රංගන රීතියේ පුරෝගාමී රූපණ ශිල්පියා විය. 

‘සිංහල සිනමාවේ හොඳම නළුවා ඔබ නේද?’ 

මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. 

‘නෑ.. ජෝ අබේවික්‍රම.’ ගාමිණීගේ පිළිතුර විය. 

‘එහෙනම් ඔබ නේද ජනප්‍රියම නළුවා?’ 

‘විජය කුමාරතුංග’ ගාමිණී ගත් කටටම කීවේය. 

‘එහෙනම් ඔබ?’ ‘හැබැයි ඒ දෙන්නටම නැති රංගන පරාසයක් මට තියෙන බව මම දන්නවා.’ 

ගාමිණී පොන්සේකාගේ මේ පිළිතුර ඔහුගේ ප්‍රබුද්ධත්වයට හොඳම සාක්ෂියකි. 

(- ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ ‘කීර්තිශේෂ’ නම් අලුත් ම කෘතියෙනි.) 

සරසවි ප්‍රකාශනයක් වන ‘කිර්තිශේෂ’ තුළින් අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කළ විශිෂ්ඨයන් පනස් පස් දෙනකුගේ අපදානයන් මේ කෘතියට ඇතුළත් වෙයි. අපේ හද දිනූ කවීන්, ගීත රචකයන්, නවකතාකරුවන්, රංගධරයන්, නර්තන ශිල්පීන්, චිත්‍රශිල්පීන්, සංගීතඥයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, පත්‍රකලාවේදීන්, සංස්කෘතික පුරෝගාමීන්, සාහිත්‍යධරයන් රැසක් ගැන විචිත්‍ර‍ ලෙස කළ රචනා ගොනුවකි. මෙහි පළවෙන්නේ එහි ගාමිණී පොන්සේකා ගැන කළ අපදානයෙන් කොටසකි.

Post a Comment

1 Comments

  1. Gamini fonseka muslim agama wala dagena muslim kellek bandala nama wenas kara kiyala liyala na oya...hari narakayi

    ReplyDelete