HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මාරක කොරෝනා වසංගතයෙන් මිදෙන්න සරල පහසු මගක්!

කෝවිඩ් -19 වසංගතය වසර දෙකක් තිස්සේ කර ගෙන යන විනාශය තවමත් අවසන් නැත. අද (මැයි 11 වැනිදා) වන විට සමස්ත ලෝකයේ ම කොරෝනා වෛරස ආසාදිතයන් ගණන 159,596, 606කි. කොරෝනා නිසා සිදු වූ මරණ 3,317,492කි. දිවි ගලවා ගත් ගණන 137,259,864කි. ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ගණන 128,530කි. සිදුවූ මරණ ගණන 827කි. දිවි ගලවා ගත් ගණන 105,611කි. මෙය තවමත් නොනවතින පාටක් නැත. තුන්වැනි රැල්ල ඇරඹී ඇති බැවින් මෙය ඉදිරියේ දී තවත් උග්‍ර වෙතැයි අපේක්ෂා කෙරේ. ප්‍රතිශක්තිකරණ එන්නත් වුනත් තවමත් ලබා දී ඇත්තේ ජනගහනයෙන් සියයට 2කට පමණි. මේ ආසදන රෝගය පාලනය කරන්නට ඔසුවක් නිපදවා නැත. එසේ නම් රෝගයෙන් මිදෙන්නට නම් අප විසින් කළ යුත්තේ කුමක් ද? 

සැමවිටම නාසය හා මුඛය වැසෙන සේ මුව ආවරණයක් පලඳිමි.

අප මුලින් ම සතුරාගේ ස්වභාවය තේරුම් ගත යුතු ය. මෙවර අපේ සතුරා වෛරසයකි. ව‍ෛරසයක ආයු කාලය සාමාන්‍යයෙන් දෙසතියකි. ඒ නිසා වෛරසය සිරුරකට ඇතුළු වී නව වෛරස බිහි කිරීමක් සිදු නොකළහොත් ඒ මුල් වෛරස තොගය ඉබේ ම දෙසතියක් අවසානයේ රැඳී ඇති තැන්වල දීම විනාශ වෙයි. වෛරසය අපේ සිරුරවලට ඇතුළු වන්නේ හා පිටවන්නේ අපේ මුඛයෙන් හා නාසයෙනි. එසේ ඇතුළු වූ පසු එය අපේ සෛල උපකාර කර ගෙන අලුත් වෛරස නිපදවීමට පටන් ගනියි. අපේ ශරීරය රෝගී වන්නේ එවිටයි. මේ රෝගයට නිශ්චිතව දිය හැකි ඔසුවක් තවමත් සොයා ගෙන නැත. 

අපේ සිරුරට මෙවැනි සතුරකු ඇතුළු වූ විගස එය විනාශ කර දැමීමට අපේ සිරුරේ ඇති ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වී ඊට එරෙහිව ප්‍රතිදේහ නිපදවයි. අපට උණ ඇතුළු රෝග ලක්ෂණ ඇති වන්නේ එවිටය. වෛරසය නිශ්චිත ආයු කාලය ගෙවා අවසන් කරනතුරු අප දිවි රැක ගත යුතුය. එසේ කිරීමට අප අපොහොසත් වුවහොත් අපට මිය යාමට සිදුවෙයි. මෙසේ වන්නේ අපේ ප්‍රතිශක්ති පද්ධතියට සිරුර තුළ සිදුවන වෛරසයේ වැඩීම පාලනය කර ගත නොහැකි වූ විටය. 

මෙහිදී අනතුරේ වැටෙන්නේ ප්‍රතිශක්ති පද්ධතිය ස්වභාවයෙන් ම දුර්වල අයය. සෞඛ්‍ය තත්වය දුර්වල අවදානමට ලක් වූ අයය. නිදන්ගත රෝග ඇති අයය. මෙහිදී වැඩි අවදානමකට ලක් වූ වයස් කාණ්ඩ ද තිබේ. ඒ අයට වෛරසය වැළඳීම කෙසේ හෝ වළක්වා ගත යුතුය. 

හැමවිටම මීටරයේ දුරස්ථභාවය පවත්වා ගෙන යමි.

වෛරසයක් වසංගතයක් සේ ශීඝ්‍රයෙන් පැතිර යන විට එය පාලනය කිරීමට ප්‍රතිශක්තිකරණ එන්නත ඉතා හොඳ පිළියමකි. එය ප්‍රතිඵලදායක වන්නේ ජනගහනයෙන් 80%කටවත් ලබා දුන් විටය. එවැනි ප්‍රතිශක්තිකරණ එන්නතකින් කෙරෙන්නේ වෛරසයක් සිරුරට ඇතුළු වූ විට එය සෛල තුළට වැදී වර්ගයා බෝ කිරීම වැළක්වීමට ප්‍රතිශක්ති පද්ධතියට උදවු කිරීමයි. 

මේ කිසිවක් නොකොට අපට මේ වෛරසයෙන් මිදෙන්නට සරල පහසු ක්‍රමයක් තිබේ. ඒ මගින් වෛරසය සම්පූර්ණයෙන් ම සමාජයෙන් තුරන් කරන්නට උපකාර කිරීමටද අපට පුලුවන. ඒ සඳහා අප විසින් කළ යුත්තේ රෝග නිවාරණ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් පිළිපැදීමය. එනම් අප සියලුදෙනාම එක්ව ප්‍රතිඥාවක් දී වෛරස නිවාරණ පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කිරීමයි. 

වෛරස නිවාරණ පංචශීල ප්‍රතිපත්තිය 

  1. නිතර හොඳින් සබන් ගා දෑත් සෝදමි.  
  2. හැමවිටම මීටරයේ දුරස්ථභාවය පවත්වා ගෙන යමි. 
  3. දෑත්වලින් නාසය, මුව ස්පර්ශ කිරීමෙන් වැළකෙමි.  
  4. දෑත් එක්කොට ආචාර කිරීමෙන් පමණක් අනෙකා පිළිගනිමි. 
  5. සැමවිටම නාසය හා මුඛය වැසෙන සේ මුව ආවරණයක් පලඳිමි. 

මෙය අප සාමාන්‍යයෙන් පන්සිල් ගන්නාක් මෙන් නොකොට අර්ථය තේරුම් ගෙන උදේ හවස මෙනෙහි කරමින් එහි එන කරුණු ඔබ අතින් බි‍‍ඳ‍ෙන්නට නොදී දවස පුරා ම පවත්වා ගෙන යායුතුය. ඒ ආකාරයට දෙසතියක් අඛණ්ඩව පවත්වා ගෙන ගියහොත් ඔබට වෛරසය පරාද කළ හැකිය. මෙය සාර්ථක කර ගත හැක්කේ කෝටි 22කට ආසන්න අපේ සමස්ත ජනතාවම, ජාති, ආගම්, කුල මල, ගෝත්‍ර, පක්ෂ, පාට ආදී සියලු භේදවලින් තොරව එකාවන්ව, එකදිගට අවම තරමින් දෙසතියක් මේ වෛරස නිවාරණ පංචශීල ප්‍රතිපත්තිය පිළිපැද්දොත් පමණය. 

ඒ වන විට හඳුනාගෙන ඇති ආසාදියන් ඒ දෙසතිය තුළ ඉක්මනින් ම ආසාදිතයන් නොවූ අයගෙන් වෙන් කර ගෙන ප්‍රතිකාර කර සුව කර ගැනීම කළ යුතුය. 

මගේ මේ යෝජනාව විහිළුවක් ලෙසත්, මෙය කළ නොහැක්කක් ලෙසත් කෙනෙකුට පෙනෙන්නට ඉඩ තිබේ. එහෙත් මට නම් පෙනේනේ දැන් අප මෙය මර්දනය කරන්නට යොදන පිළියම් හැම එකක් ම විහිළු හැටියටය. රෝග නිවාරණ ප්‍රතිපත්ති බලෙන් ක්‍රියාත්මක කරන්නට යාම, රෝග පැතිරීමේ වගකීම ජනතාව පිට පටවා කර ඇරීම පවා මට නම් විහිළුවකි. 

ඒ නිසා මා නම් සිතන්නේ විනයගරුක පුරවැසියන්ට මේ වෛරස නිවාරණ පංචශීල ප්‍රතිපත්තියට අනුගත වීම තුළින් මේ ව්‍යසනය මර්දනය කළ හැකි බවය. අනිත් අය කෙසේ වෙතත් ඔබ මේ වෛරස නිවාරණ පංචශීලය රැක්කොත් ඔබට පමණක්වත් රෝගය වැළඳීමෙන් ගැලවී සිටිය හැකිය. එහෙත් අවට සමාජයේ වෛරස තර්ජනය ඇති නිසා එය පහව යනතුරු දෙසතියෙන් නොනැවතී දිගටම මේ ප්‍රතිපත්තිය පවත්වා ගෙන යාමට ඔබට සිදුවෙයි. 

 මේ වෛරස නිවාරණ පංචශීල ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට සමස්ත ජනතාවම පොලඹවා ගැනීමට හැකි ජාතික නායකත්වයක් අවශ්‍යය. චීනයේ මා ඕ සේතුංගේ කාලයේ වී කුරුලු වසංගතයක් ඇති වී රටපුරා අස්වැන්න විනාශ යාමේ තර්ජනයක් එල්ල විය. මා ඕ සේතුං ඒ මර්දනය සඳහා නායකත්වය දුන්නේ ය. එතුමා සමස්ත ජනතාව අමතමින් සිකුරාදා සවස් භාගයේ වී කුරුල්ලන් ලැගුම් ගන්නා ගස්වලට නැග ඔවුන්ට ලැගුම් ගත නොහැකි වනසේ එක විට පැය දෙකක් පුරා ඒවා සොලවන්නැයි ඉල්ලීමක් කළේය. ඒ සඳහා නිශ්චිත වේලාවක් ද එතුමා විසින් ලබා දෙන ලද අතර එතුමා ද ඒ අවස්ථාවට එක් විය. මුළු රටේ ම ජනතාව ඊට සහභාගි වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ වී කුරුල්ලන් සහමුලින් ම වඳ වී යාමය. 

ඒ ආකාරයට රටේ සියලු දෙනාම එක්ව වෛරස නිවාරණ පංචශීල ප්‍රතිපත්තිය පිළිපැදීම තුළින් මේ වෛරසයට ද එක විට එක දිගට දෙසතියක් ‘ප්‍රහාර’ එල්ල කළේ නම් එය සමාජයෙන් තුරන් කිරීම කළ නොහැක්කක් නොවේ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments