HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපි දෙන්නගෙන් කවුද මෝඩ? ළඟදී එළිදකින අලුත්ම නස්රුදින් කෘතියෙන්!

නස්රුදින් තරුණ කාලේ විදේශයකින් ආ සුල්තාන්වරයෙක් නස්රුදින් ජීවත්වුණු පළාතත් එයාගේ රාජ්‍යයට යටත් කර ගත්තා. එතුමා කතා කළේ නස්රුදින් ඇතුළු ජනයා කතා කළ භාෂාව නෙමෙයි. වෙන එකක්. ඒ නිසා රටවැසියන්ගේ හිත දිනා ගන්න කියලා හිතලා එතුමා මසකට වරක් ‘ගම සමඟ පිළිසඳර’කට රටවැසියන් හමුවන්න ආවා. 

එහෙම එන කොට, එන දවසට කලින් රාජ පුරුෂයො ඇවිත් සුල්තාන්වරයාට හමු විය යුතු අය තෝරලා, ඒ අයට සුල්තාන්වරයා ඉදිරියෙදි හැසිරෙන හැටි, එතුමා අහන ප්‍රශ්න, ඒ ප්‍රශ්නවල දෙන එතුමාගේ භාෂාවෙන් දෙන උත්තර එහෙමත් කියලා දුන්නා. ඒ විදියට එතුමා නස්රුදින්ගේ ගමටත් ආවා. 

එක රාජපුරුෂයෙක් ඇවිත් නස්රුදින්ටත් කියලා දුන්නා, සුල්තාන්වරයා එයාගෙන් අහන ප්‍රශ්නවලට දෙන උත්තර දෙන හැටි! ඒ රාජපුරුෂයා මෙහෙම කිව්වා, එතුමා මුලින් ම ඔහෙගෙන් අහයි, ‘යුෂ්මතා කොච්චර කාලයක් තිස්සේ මේ ගමේ ජීවත් වෙනවද?’ කියලා. ඒකට උත්තරේ හැටියට ඔහෙගෙ වයස 25 යි කියලා කියන්න. ඊළඟට අහයි, ‘‍යුෂ්මතා, මුල්ලා කෙනෙකු වෙන්න කොච්චර කාලයක් තිස්සේ ඉගෙන ගත්තද?’ කියලා. එතකොට ඉගෙන ගත්තු අවුරුදු ගාන 12යි කියලා කියන්න. ඊළඟට අහයි, ‘අපේ බදු එකතු කිරීම හා ආගමික සුබ සාධන කටයුතු කිරීම ගැන යුෂ්මතා සෑහීමකට පත් වෙනවද?’ කියලා. ඒකට ‘එහෙමයි, ස්වාමීනි!’ කියන්න. 

රාජපුරුෂයා ඔහොම කියලා දුන්නාට සුල්තාන්වරයා නස්රුදින්ගෙන් ප්‍රශ්න ඇහුවෙ වෙනස් පිළිවෙළකටයි. ඒ දෙබස මෙහෙමයි. 

සුල්තාන්වරයා - ‘‍යුෂ්මතා, මුල්ලා කෙනෙකු වෙන්න කොච්චර කාලයක් තිස්සේ ඉගෙන ගත්තද?’ 

නස්රුදින් - අවුරුදු 25යි! 

සුල්තාන්වරයා - ‘යුෂ්මතා කොච්චර කාලයක් තිස්සේ මේ ගමේ ජීවත් වෙනවද?’ 

නස්රුදින් - අවුරුදු 12යි! 

සුල්තාන්වරයා - ඒක වෙන්න බැරි දෙයක්! වයස 12ක කෙනෙක් 25 අවුරුද්දක් තිස්සේ ඉගෙන ගන්නෙ කොහොමද? උඹ හිතුවද මිනිහෝ මේ වගේ විකාර කතා පිළිගන්න තරම් මං මෝඩයෙක් කියලා.’ සුල්තාන්වරයා ගෝරනාඩු කළා. නස්රුදින්ට ඒ කිසිදෙයක් තේරුණේ නෑ. ඔහු හිතුවෙ ඒ සුල්තාන්වරයාගේ තුන් වැනි ප්‍රශ්නය කියායි. 

නස්රුදින් රාජපුරුෂයා කියා දුන්නු විධියට ඊට උත්තර දුන්නේ ‘එහෙමයි ස්වාමීනි! කියලයි. 

(පර්සි ජයමාන්නගේ ළඟදී එළිදකින අලුත්ම නස්රුදින් කෘතියෙන්.)

විනෝද සමයෙන් ඒ කතාව ප්‍රතිනිර්මාණය කළ හැටි!

මේ අපූරු කතාවේ එන නස්රුදින් ජීවත්වුණා කියන්නෙ 13 වැනි සියවසේ තුර්කියේ එස්කීෂයර් කියන නගරයෙයි. එහි නස්රුදින් සමරා පවත්වන වාර්ෂික උත්සවයකුත් තියෙනවා. මෙවර මා තෝරා ගත්තු කතාවේ හරයට සමාන කතාවක් අපේ ජනප්‍රිය විනෝද සමයකටත් ඇතුළත් කර තිබුණා. 

බලන්න කොයිතරම් දක්ෂ විධියට ඇනස්ලි ඩයස් ඒ කතාව කොච්චර අපූරුවට රචනා කරලා තියෙනවාද ? ඒ වගේ ම මේ පැරණි කතාව අසා නොතිබුණත් අපේ විකට රචකයන්ගේ ප්‍රතිභාව අනුව ඒ වගේ විහිළුවක් නිර්මාණය කරන්න බැරිකමකුත් නැහැ. 

විනෝද සමය පහතින් නරඹන්න! 

අද මෙහි සුද්දාට රඟපාන ඇනස්ලි ඩයස් හා සැමුවෙල් රුද්‍රිගු (අමාරිස් අයියා) යන දෙදෙනාම ජීවතුන් අතර නෑ. කෝකියාට රඟපාන බර්ටි ගුණතිලක (අවුරුදු 98) තවමත් ජීවත්වෙනවා.

Post a Comment

0 Comments