සිංගප්පූරුවේ චැංගී අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් මගීන් 379 දෙනෙකු රැගත් බොයිං 747 යානයක් අහසට නැංගේ ලන්ඩනය බලා යන්නටයි. එය නොනවත්වා කෙරෙන පැය 17ක පියසැරියකි. මගීන්ට අමතරව එහි ගුවන් සේවක කාර්ය මණ්ඩල දාහත්දෙනෙකු සිටියහ. නියමු කුටියේ ප්‍රධාන නියමුවාට අමතරව තවත් නියමුවන් දෙදෙනෙක් හා පියසැරි ඉංජිනේරුවෙක් සිටියහ. ඒ පියසැරිය මෙහෙය වූ ප්‍රධාන නියමුවා කීර්තිමත් ලේඛකයෙක් බව එහි ගිය මගීන් දැන සිටියේ නැත. ඔහු අන් කිසිවකු නොව කපිතන් එල්මෝ ජයවර්ධනය. පළපුරුදු ගුවන් නියමුවකු වූ ඔහුට මෙය තවත් එක් ගමනක් පමණක් විය.
සිංගප්පූරුවෙන් පියසැරිය අරඹා පැයක් පමණ ගත විය. එය ගුවන්යානය තුළ දිවා ආහාරය පිරිනමන වේලාව විය. ගුවන් සේවක කාර්ය මණ්ඩල යුහුසුලු විය. මගීන් තමන්ට පිරිනැමුණු දිවා ආහාරය ගන්නට පටන් ගත් අතර අනපේක්ෂිත දෙයක් ඒ අවස්ථාවේ දී සිදු විය. තමන් ඉදිරියේ ඇති ටෙලිවිශන් තිරය හදිසියේ ම අක්‍රිය වී ගියේ යැයි පැමිණිලි කළේය. ඒ සමග ම අනික් මගීන්ගෙන් ද ඒ පැමිණිල්ල ආවේ ය. මොහොතකින් මුළු යානය පුරා ඇති සියලුම ටෙලිවිශන් තිර අක්‍රිය වී ගියේය.
යානය සිංගප්පූරුවෙන් නික්ම තවමත් දෙපැයකට වඩා ගත වූයේ නැත. තවත් පැය 15ක් ලන්ඩනයට ළඟා වීමට ගුවනේ ගත කළ යුතුය. රාත්‍රි කාලයේ නම් මගීන් නින්දට යන බැවින් එකරම් ගැටලුකාරී තත්වයක් ඇති වන්නේ නැත. එහෙත් මේ දිවා කාලයේ කෙරෙන ගුවන් ගමනකදී මගීන් සම්බන්ධ කර තබන්නට අත්‍යව්‍ශ්‍ය ටෙලිවිශන් තිරය නොමැතිව යාම ඔවුන් නොසන්සුන් කරන්නක් වනු නිසැකය.
එහෙයින් කිසියම් පිළියමක් යෙදිය යුතුය. කපිතන් එල්මෝ නියමු කුටියේ කාර්ය මණ්ඩලය සමග කතා බස් කොට ස්ථානෝචිත ප්‍රඥාව යොදා ගෙන ගත හැකි හොඳම පියවර ගත්තේ ය. ඔහු යානය මෙහෙයවීම සගයන්ට පවරා මගීන් අතරට ආවේ ය.
ප්‍රවීණ ලේඛකයකු වූ එල්මෝ තමන් දන්නා හොඳම වදන් යොදා ගෙන යානයට මුහුණ පාන්නට වූ අකරතැබ්බය ගැන මගීන්ට පැහැදිලි කර දුන්නේ ය. ‘ගුවන්යානයට අනතුරක් නැහැ. ඒත් අපේ ටෙලිවිශන් සිස්ටම් එක අක්‍රිය වෙලා. ඒ නිසා යානය හරවා ගෙන ආපසු සිංගප්පූරුවට යනවා නම් පැය දෙකක් විතර යනවා. වෙනත් ගුවන් යානයක් මාරු කරගෙන ආපහු මෙතැනට එන්න තවත් පැය දෙකක් යනවා. අනිත් විකල්පය දිල්ලියට බස්සවලා මේ දෝෂය හදා ගන්න එක. ඒකත් නිශ්චිතව කියන්න බැහැ. ඒ හින්දා අවසාන විකල්පයට අනුව අපි එක පිම්මේම ලන්ඩන් බලා යමු.’ එල්මෝ යානයේ වූ ගුවන් මගීන්ට කීය.
පැය 17කට වැඩි කාලයක් තිස්සේ එක් පිම්මෙ යන මේ ගමනේ දී ඇති වන කාන්සිය මෙතෙක් නැති කළේ ටෙලිවිශන් පද්ධතියයි. ඒ නිසා එල්මෝ යෝජනා කළේ, තම සගයන් යානය ගෙන අතර ඔහු මගීන් සමග හිඳ ඔවුන්ගේ කාන්සිය මඟ හැරවීමට ක්‍රීයාකාරකමක් කරන්නට යන බව ය.
ඔහු එය හැඳින්වූයේ ‘සිත් සන්තොසින් ගුවනේ දී ලියන කවි’ කියා ය. එය මගීන් අතර පැවැත්වෙන කවි තරඟයකි. කවි නිර්මාණ තරඟයේ ස්වභාවය විස්තර කරමින් කළ එල්මෝගේ කතාව කෙතරම් ආකර්ෂණීය වීද යත් ඒ ගුවන් යානයේ සිටි මගීන් 379 දෙනාම කවි රසවතුන් බවට පත් වූහ. කිසිදා කවි නොලියූ අය පවා කවි ලියන්නට කැමැත්ත පළ කළහ. කොළ පෑන් පැන්සල් ගෙන ඔවුහූ කවි ලියන්නට සූදානම් වූහ. ලියන උපකරණ නැති අයට ගුවන් සේවක සේවිකාවන් ඒවා යුහුසුලුව සපයූහ.
‘අපි දෙපැයක් කවි ලියමු. ඔබේ සිතේ ඇති ඔබ දන්නා ලස්සන වචනවලින් ඔබේ අදහස කවියකට ගොනු කරන්න. මේ තරඟයෙන් ප්‍රථමයාට හා දෙවැනියාට ත්‍යාග පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා.’ කපිතන්වරයා ගුවන් මගීන් කීවේ ය.
එල්මෝගේ උරහිස මත වැඩි සිටි සරස්වතිය බිමට බැස ගුවන්යානයේ සිටි සියලු මගීන්ගේ හදවත් තුළට ඇතුළු වූවාය. මිනිත්තු කීපයක් ඇතුළත ඒ යානය කවි සරසවියක් බවට පත් විය. ලොව පුරා යන මගී යානා අතර කවි සරසවියක් බවට පත් වූ එක ම යානය ඒ සිංගප්පූරු යානය වුවා නිසැක ය. මගීන් කවි පබඳින්නට පටන් ගත් අතර එල්මෝ යළිත් නියමු කුටියට ගියේ ය.
නියමු කුටියෙන් ආපසු මගී ආසන වෙතට ආ විට එල්මෝ දුටුවේ වර්ඩ්ස්වර්ත්ලා, එලියට්ලා, යේට්ස්ලා ලොව පළමු වරට ඉහළ අහසේ පැවැත්වූ කවි තරඟයෙන් දිනන්නට වෙසෙන ආකාරයයි. ඒ අතර විවිධ වයස් පරාසවල අය මෙන් ම විවිධ තරාතිරම්වල අය ද වූහ. ළමයින්, තරුණ තරුණියන්, වැඩිහිටියන් පමණක් නොව වයෝවෘද්ධයන් ද එකසේ උනන්දු වන බැව් දුටු එල්මෝට තම උත්සාහය සාර්ථක වූ බව පසක් විය.
ඔහු කවි ලියන්නට ගත් ඔවුන්ගේ උත්සාහය දෙස පහන් සිතින් බලා සිටියේ ය. අවසානයේ දී මගීන් 56 දෙනෙක් කවි තරඟයට නිර්මාණ ඉදිරිපත් කළහ. පළමුවන පන්තියේ මගීන් පවා කවි ලියන්නට ඉදිරිපත් වූ අතර ඉන් එක් අයෙක් කවියක් ලියමින් කීවේ, ‘මම කවියෙක් නොවෙමි, එහෙත් මම මෙයට සහභාගිවීමට කැමැත්තෙමි’ කියාය. මවක් හා දුවක් ලියූ කවියෙන් කියැවුනේ මෙවන් අදහසක්. ‘අපිට තෑගි එපා! අපි කවියට ආදරෙයි!’
දෙපැයක් අවසානයේ දී නිර්මාණ එකතු කරනු ලැබී ය. කපිතන් එල්මෝ ප්‍රමුඛ විනිසුරු මඬුල්ල විසින් ජයගත් දෙදෙනා ශූරයා හා අනුශූරයා ලෙස තෝරණු ලැබුවා. ඒ අනුව කවි ශූරයා ලෙස තේරුණේ 38 බී අසුනේ සිටි පෝල් වූටූ ය. අනු ශුරයා වූයේ 51 ඒ අසුනේ සිටි ඊව්ලියන් ජෝන්ස් ය. වැඩි දෙනකුගේ ඉල්ලීම මත ජයග්‍රාහී නිර්මාණ හිමි දෙදෙනා ඔවුන්‍ගේ කවි සංකල්පනා ළයාන්විත ගායනා කළහ. ඇතැම් ඉතිරි කවිත් ගායනා කිරීමට නිර්මාණකරුවෝ ඉදිරිපත් වූහ.
පැය තුනකට පසු ටෙලිවිශන් පද්ධතිය යථා තත්වයට පත් කරන්න සිංගප්පූරුවේ මෙහෙයුම් කාර්යාලය සමත් විය. එහෙත් මගීන්ට එහි ආකර්ෂණයක් නොවීය. විනෝදාස්වාදනය සපයන ටීවී තිරයට වඩා ඔවුන්ට කවි රසය ප්‍රබල විය. එදා ඉහළ එදා පැවතියේ කවි සාදයකි. මේ කවි එකතුව සිංගප්පූරු ගුවන්සේවය සතු මහඟු වස්තුවක් බව සඳහන් ය.
එදා අඩි 36,000ක් ඉහළ අහසේ පැවති කවි සාදයේ නියමුවා වූයේ ඒ ගුවන්යානයේ ද නියමුවා වූ එල්මෝ ජයවර්ධන ය. ඔහු ශ්‍රී ලංකාව බිහි කළ ජගත් පුත්‍රයෙකි. ගුවන් නියමුවන් රැසක් ලොවට දායාද කළ සුවිශේෂ උපදේශකවරයෙකි. එසේ ම ඔහු ශ්‍රී ලංකාවේ නම ඉංග්‍රීසි සාහිත්‍යයේ සලකුණු කළ සුවිශේෂ සාහිත්‍යධරයෙකි.
එල්මෝ ජයවර්ධන ජගත් කීර්තිය දිනූ ලේඛකයෙක් පමණක් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්මාන දිනූ අයෙකි. ඔහුගේ ‘සෑම්ස් ස්ටෝරි’ (2001) නම් නවකතාවට වසරේ හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි රාජ්‍ය සම්මානයත් ග්‍රේෂියන් සම්මානයත් ප්‍රදානය කරනු ලැබීය. ඒ ඇසුරෙන් සම්මානනීය ඉංග්‍රීසි චිත්‍රපටයකුත් තනා තිබේ. 2005 දී රාජ්‍ය සම්මාන දිනූ ඔහු ලියූ ‘සිංහලයේ අවසන් රජදහන’ (Last Kingdom of Sinhalay) ඓතිහාසික නවකතාවටත්, Kakiyan ‘කාකියන්’ (2019) නම් නවකතාව වසරේ හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි රාජ්‍ය සම්මානය පිරිනැමිණ. එය කපුටකු පිළිබඳව ඉංග්‍රීසියෙන් ලියැවුණු ලොව එකම කෘතියද වෙයි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යයට ඔහු කළ මෙහෙය වෙනුවෙන් සාහිත්‍යධරයකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ශ්‍රී ලංකා ‘සාහිත්‍ය රත්න’ සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ඒ 2015 ශ්‍රී ලංකා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ය.
මේ තරම් කීර්තියක් ලත් අයෙකු වුවත් ඔහු වචනයේ පරිසමාප්ත ආර්ථයෙන් ම සරල මිනිසෙකි. සාමාන්‍ය ජන සමාජය තුළ දී ඔබ ඔහු දුටුවොත් නිසැකව හඳුනා නොගනු ඇත. ඔහුගේ සුවිශේෂ බවක් නොදකිනු ඇත. ඔහු දිළිඳුකම පිටු දැකීම පිණිස ලෝක සංවිධානයක් පිහිටුවා එහි සභාපතිත්වය දරමින් කටයුතු කරයි.
සාහිත්‍යධරයකු වශයෙන් නිර්මාණශීලීත්වය ගැන ඔහු දරණ අදහසක් සිළුමිණ පුවත්පතින් උපුටා දක්වමින් මේ සටහන අවසන් කිරීමට කැමැත්තෙමි. “නිර්මාණාත්මක ලිවීම කියන්නේ විශ්ව විද්‍යාලයකින් ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අයට උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි, නිර්මාණශීලි ලේඛනය කියන්නෙ. මම එහෙම ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මම එහෙම නුගත් කෙනෙක්. ඒත් ඒ නුගත් උගත්කම තමයි මගේ නිර්මාණශීලීත්වය ගොඩ නැඟුවේ. මතක තියාගන්න කාටවත් බැහැ කාවවත් නිර්මාණශීලි කරන්න. ඒ විතරක් නෙවෙයි, මම වෘත්තියෙන් ගුවන් නියමුවෙකුව සිටි කාලයේ දී ගුවන් යානා පැදවීම සම්බන්ධයෙන් ද මට තිබුණා මගේ ම කියලා දෙයක්. ඒ දැනුම තමන්ගෙම දෙයක්. මගේ ලේඛන කලාව ගැනත් මට කියන්න තියෙන්නෙ ඒක ම තමයි.”
- පර්සි ජයමාන්න
0 Comments