ෆයිසර් (Pfizer) හා මොඩර්නා (Moderna) එන්නත්, මෙතෙක් පැවති එන්නත් කිරීමේ ක්‍රමවේදයේ හැරවුම් ලක්ෂයක් සලකුණු කරනවා. මේ වසංගතය නිසා එය අප අතරට ඉක්මනින් ආවද මේ නව එන්නත් ක්‍රමය ගැන විද්‍යාඥයන් පර්යේෂණ කරන්න පටන් අරන් වසර දහයකටත් වැඩියි. එන්නත් තාක්ෂණයේ නව පෙරළියක් මෙයින් සිදුවෙනවා. එන්නත් කිරීම සඳහා ආර්එන්ඒ දූතයකු (messenger RNA) හෙවත් එම්ආර්එන්ඒ (mRNA) යොදා ගැනීමට පළමුවරට අනුමැතියක් ලැබුණේ මේ ෆයිසර් හා මොඩර්නා එන්නත් සඳහායි.
සාමාන්‍යයෙන් එන්නත් තනනු ලබන්නේ වෛරසයක හෝ බැක්ටීරියාවක සැර බාල කර හෝ අක්‍රිය කළ හෝ වෙනස් කළ ධුලක යොදාගෙනයි. එහිදි සිදු වෙන්නේ මේ ධූලක හේතුකොට ගෙන අපේ සිරුර තුළ ඇති ප්‍රතිශක්ති ප්‍රතිචාරය වැඩි දියුණු වී අපේ සිරුර ඒ වෛරසයෙන් හෝ බැක්ටීරියාවෙන් ආරක්ෂා කිරීමයි. එහෙත් මේ නව එන්නත එවැන්නක් නොවේ. mRNA එන්නත කියා හැඳින්වෙන මේ එන්නතට කොවිඩ් 19 රෝග තත්වය ඇති කරන වෛරසයේ අංශු මාත්‍රයක්වත් ඇතුළත් වන්නේ නැහැ.
ඒ වෙනුවට විද්‍යාඥයන් රසායනික පණිවිඩකරුවකු යොදා ගන්නවා, අපේ ප්‍රතිශක්ති පද්ධතියට උගන්වන්න මේ වෛරසය ආක්‍රමණිකයකු ලෙස හඳුනා ගන්නට. ඒ මිසක් සමහරුන් වරදවා වටහා ගෙන ඇති පරිදි මෙය ජාන (gene) චිකිත්සක ක්‍රමයක්වත්, අපේ ඩීඑන්ඒ (DNA) වෙනස් කිරීමක්වත් නොවෙයි.
DNA කියන්නේ ඩිඔක්සිරයිබෝනියුක්ලියැක් අම්ලය (deoxyribonucleic acid) ටයි. RNA කියන්නේ රයිබොනියුක්ලියැක් අම්ලය (ribonucleic acid)ටයි. DNA කියන්නේ අපේ ජීවිතයේ කෙටුම්පතට නම් RNA කියන්නේ එහි අනුපිටපතටයි. මේ පැහැදිලි කිරීම කරන නවසීලන්තයේ ඔටේගෝ විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීවී හා ප්‍රතිශක්ති විද්‍යා අංශයේ සම මහාචාර්ය ජේම්ස් අෂර් (James Ussher) තවදුරටත් කියන්නේ DNA වල ගබඩා කර ඇති තොරතුරු RNA විසින් ප්‍රෝටීන් බවට පෙරළන බවයි. මේ ප්‍රෝටීන් අණු තමයි අවශ්‍ය කාර්යයන් ඉටු කරන්නේ.
එසේ නම් මේ mRNA එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?
කොවිඩ් 19 හෙවත් සාර්ස් කොව් - 2 (SARS-CoV-2) වෛරසය වටේට මේ ප්‍රෝටීන් අණු පිහිටා තියෙනවා, හරියට කටු බෝලයක් වගේ. ඒවා තමයි වෛරසයට උදවුවෙන්නේ මිනිස් සෛල තුළට ඇතුළු වෙන්නට. ෆයිසර් හා මොඩර්නා එන්නත් තනා ඇත්තේ වෛරසයේ ප්‍රෝටීන් කටු තනන්නට දෙන ජාන උපදෙස් යොදා ගෙනයි.
අපේ සෛලවලට උපදෙස් ගෙන යාම සඳහා එන්නතට යොදා ගෙන ඇත්තේ කෘත්‍රිම mRNA එකක්. මේ mRNA අණු ස්වභාවයෙන් ම ඉතාමත් පහසුවෙන් විනාශ වී යා හැකි, කුඩා ප්‍රවාහන මාධ්‍යයක්. ඒවා හැඳින්වෙන්නේ ලිපිඩ නැනෝ අංශු කියායි. ඒ නිසයි, මේ එන්නත ඉතා අධි ශීත තත්වයක් යටතේ තබා ගතයුත්තේ.
මේ mRNA අපේ සෛලවලට ඇතුළු වුණු පසු සෛලවල ඇති අණු ඒ උපදෙස් කියවා කටු ප්‍රෝටීන තනන්නට පටන් ගන්නවා. අපේ ප්‍රතිශක්ති පද්ධතිය මේ ප්‍රෝටීන ආගන්තුක ඒවා සේ සලකා ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රතිදේහජනක සෛල හා ප්‍රතිදේහ නිපදවන්නට පටන් ගන්නවා. එන්නත ගත්තාට පසු දිනක වෛරසය සිරුරට ඇතුළුවුවහොත් අපේ ප්‍රතිශක්ති පද්ධතියට හැකියාව තියෙනවා, එය හඳුනාගෙන ඊට පහර දෙන්නට.
කොව්ඩ්වලින් පූර්ණ ආරක්ෂාව ලැබීමට නම් මේ ෆයිසර් හා මොඩර්නා එන්නත්වලින් එක් අයකුට මාත්‍රා දෙකක් දිය යුතු වෙනවා. ඒත් මේ ආරක්ෂාව කෙතෙක් කලක් බලපවත්වන්නේදැයි නිශ්චිතව කිව නොහැකියි.
මේ එන්නතෙන් අපේ DNA වලට කිසිම බලපෑමක් සිදු වන්නේ නැහැ. ඒ වගේ ම mRNA අණු කිසි විටෙකත් අපේ ජානමය ද්‍රව්‍ය තැන්පත් කර ඇති සෛලවල න්‍යෂ්ටිවලට ඇතුළු වෙන්නේත් නැහැ. අපේ සෛල, mRNA මගින් යවන පණිවිඩය කියවා අවසන් වූ වහාම mRNA අණු විනාශ කර දමනවා.
තවත් වැරදි ප්‍රකාශයක් නම් මෙම එන්නත මගින් අපේ DNA වලට බලපෑම් කළ හැකි ජාන චිකිත්සාවක් කෙරෙන බවයි. ඒ අනුව DNA වෙනස් කොට වෙනස් කාර්යයන් කළ හැකි නව සෛල බිහිකරන බවයි. එන්නතකින් මෙවැනි දේ කළ නොහැකියි.
මේ වර්ගයේ එන්නතක් වෙළෙඳ පොළට ආවේ මේ පළමු වතාවටයි. 1990 ගණන්වල සිටම ලෝකය පුරාම විද්‍යාඥයන් මේ තාක්ෂණය ගැන පර්යේෂණ පවත්වමින් ඉන්නේ. mRNA ගැන ඔවුන් පර්යේෂණ කරන්නේ ඊටත් බොහෝ කලකට පෙර සිටයි. ඔවුන් කර කර සිටි ඒ පර්යේෂණ නවතා එතෙක් ලද ප්‍රතිඵල අනුව අපේ හදිසි අවශ්‍යතා සලකා මේ කොවිඩි එන්නත තැනීම ඉක්මන් කළා. මේ නව තාක්ෂණය අනුව අනාගතයේ රෝගවලට ප්‍රතිකාර කිරීමේ විශාල පෙරළියක් ඇති වනු නොඅනුමානයි.
0 Comments