HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ විස්මිත සිරුර ගැන ඔබ මේවා දන්නවාද?

ලෝක සෞඛ්‍ය දිනය ඊයේට යෙදී තිබුණා. මෙවර ලෝක සෞධ්‍ය දිනයේ තේමාව වූයේ ‘සමස්ත ලෝකයටම සාධාරණ වූ යහපත් සෞඛ්‍ය සේවාවක් ගොඩ නගමු’ (Building a fairer, healthier world.) යන්නයි. සෞඛ්‍යය කියන්නේ කායික වශයෙන් ලෙඩ රෝගවලින් මිදී සිටීම පමණක් නොව මානසික හා සමාජීය වශයෙනුත් යහපත් සෞඛ්‍ය තත්වයක් අත්පත් කර ගැනීමයි. ඒ තත්වය මුළු ලෝකයේ ම සෑම මානවයකුට ම අත්පත් කර දීමේ වැදගත් මෙවර සෞඛ්‍ය දිනයේ තේමාව වී තිබෙනවා. අද ඔබේ අවධානයට යොමු කරන්නේ ඔබේ ම සිරුරයි. ඇත්තෙන් ම ඔබ ඔබේ සිරුර ගැන දන්නවාද? 


1. ඔබ දන්නවාද ඔබ ළදරුවකු වශයෙන් උපන්නේ අස්ථි කොටස් 300ක් සමග බව. ඒත් ඔබ වැඩෙද්දී ඒ සමහර අස්ථි එකට පෑස්සී ඔබ වැඩිහිටියකු බවට පත් වන විට මේ සම්පූර්ණ අස්ථි ගණන 206ක් දක්වා අඩු ‍වූ බව. 

2. ඔබ දන්නවාද ඔබේ අස්ථිවලින් අඩකටත් වැඩිය තියෙන්නේ අත්වල, මැනික්කටුව, පාද හා වළලු කර ආශ්‍රිතව බව. 

3. ඔබ දන්නවාද සෑම තත්පරයකම ඔබේ සිරුර නව සෛල මිලියන 25ක් නිපදවන බව. ඒ කියන්නේ එක් තත්පරයකදී ශ්‍රී ලංකාවේ ජනගහනයට වැඩි සංඛ්‍යාවක් සෛල තනන බව. 

4. ඔබ දන්නවාද මිනිස් සිරුරේ අස්ථි අතරින් ලොකුම අස්ථිය ඌර්වාස්ථිය(femur bone ) හෙවත් ජංඝාස්ථිය බව. එයට කලවා ඇටය කියාත් කියන බව. ඒ වගේ ම කුඩා ම අස්ථිය ඔබේ කන්බෙරය තුළ ඇති ධරණකය (stirrup bone) බව. 

5. ඔබ දන්නවාද ඔබේ සිරුරේ ඇති රුධිර නාළ එකින් එක යා කළොත් කිලෝමීටර් 72,000 – 160,000ක් පමණ වන බව. ඒවා එකට යා කළ‍හොත් එයින් ලෝකය වටා තුන් වරක් ඔතන්නට පුලුවන් බව. 

6. ඔබ දන්නවාද ඔබේ දත් සියල්ල ම අස්ථි ලෙස සැලකෙතත් ඒවා අස්ථිපංජරයෙහිලා ගණන් ගන්නේ නැති බව. 

7. ඔබ දන්නවාද ඔබේ සිරුරේ ස්කන්ධයෙන් සියයට 2ක් වන මොළය, ඔබ සිරුර ලබා ගන්නා මුළු ඔක්සිජන් ප්‍රමාණයෙන් හා සිරුර නිපදවන මුළු රුධිරය ප්‍රමාණයෙන් සියයට 20ක් එහි පාචිච්චියට ගන්නා බව. 

8. ඔබ දන්නවාද මිනිසා සතුන් අතර ලොකුම, වේගවත් ම, ශක්තිමත් ම සතා නොවූවත් මිනිසාට ඒ හැම සතෙකුම අබිබවා ලන්නට හැකි සමත්කමක් තියෙන බව. ඒ දුර දිවීමයි. අපේ දිගු පාද හා කය ඍජුව තබා ගැනීමේ හැකියාව නිසාත්, දහදිය දැමීම මගින් සිරුරේ තාපය ඉවත් කිරීමට ඇති හැකියාව නිසාත්, අපට අනික් සතුන්ට වඩා සාර්ථකව දුර දිවීම කළ හැකි බව. ඒ නිසා තමයි ආදි මානවයන් ගොදුරු හඹා යාමේ දී දිගු කාලයක් නොකඩවා හඹා යාම මගින් ගොදුර මැරී වැටෙනතුරු පසුපස දිව ගියේ. ඒ දඩයම් ක්‍රමය හැඳින්වූයේ අනවරත හඹා යාම (persistence hunting) ලෙසයි. 

9. ඔබ දන්නවාද ඔබේ සිරුරෙන් සියයට 60ක් ඇත්තේ ජලය බව. 

10. ඔබ දන්නවාද ඔබේ අස්ථි වානේවලට වඩා ශක්තිමත් බව. ගිනි පෙට්ටියක් තරම් වන අස්ථි කැබැල්ලකට කිලෝ ග්‍රෑම් 8165ක (රාත්තල් 18,000ක) බරක් පවා දැරිය හැකි බව. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments