මොකුසාන් හිකි සෙන් ගුරුතුමා ජීවත්වුණේ ජපානයේ තම්බා පළාතේ ආරාමයකයි. දවසක් ඔහුගේ දායකයකු ඔහු වෙත පැමිණිල්ලක් කළා, තම බිරිඳගේ කුම්මැහිකම් ගැන.
මොකුසාන් තුමා ඊළඟ දවසේ සිය දායකයාගේ බිරිඳ සොයා ගෙන ගියා. ඊළඟට ඇගේ මුහුණ ඉදිරියෙන් තම මිට මොලවලා පෑවා.
‘මොකක්ද ඔබතුමා ඒකෙන් අදහස් කරන්නේ?’ විමතියට පත් බිරිඳ ඇහුවා.
‘මගේ මේ අත මේ විදියට හැම තිස්සෙ ම තිබුණොත් ඔබ ඒකට මොකක් කියලද කියන්නෙ?’ ඔහු ඇගෙන් අසුවා.
‘විකෘතියක්!’ ඇය පිළිතුරු දුන්නා.
ඊළඟට ඔහු කළේ අත්ල දිග හැර ඇගේ මුහුණ ඉදිරියෙන් පෑමයි. ‘හොඳයි, අත හැම තිස්සේම මෙහෙම තිබ්බොත් ඔබ ඒකට මොකක්ද කියන්නෙ?’ ඔහු ඇගෙන් යළිත් ඇසුවා.
‘ඒ තවත් විදියක විකෘතියක්!’ඇය කීවා.
‘ඔය ටික තේරුම් ගත්තා නම් ඔබ සිකුරට ම හොඳ බිරිඳක් වෙනවා’ යයි කී මොකුසාන් තුමා යන්න ගියා.
එතුමාගේ ගමනින් පසු ඇය කුම්මැහිකම අත් ඇරියා. දීමේ දීත් ඉතිරි කිරීමේ දීත් සිය සැමියාට උදවු කළා.
- පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ නම් පරිවර්තිත ග්‍රන්ථය ඇසුරෙනි.
0 Comments