මීට වසර 73කට පෙර එය මුලින් ම පළ කළ අවස්ථාවේ දී එහි සම්පාදකයා තම අරමුණ ගැන සටහන් කර තිබුණේ මෙහෙමයි, ‘ඉංග්‍රීසි ඉගෙනීමට ආශා ඇත්තවුන්ගේ ප්‍රයෝජනය සඳහා අංග සම්පූර්ණ ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක් නැතිවීම මෙතෙක් පැවති බලවත් පාඩුවකි. මේ පොත සකස් කරන ලද්දේ ඒ පාඩුව පිරිමැසීමේ බලාපොරොත්තුවෙනි.’ යනුවෙන් එහි පෙරවදනෙහි සඳහන් කළ එතුමා ශ්‍රී ලාංකික ජාතියට දායාද කළ මේ අනුභිභවනීය කෘතිය තවමත් ශ්‍රී ලාංකික ශබ්දකෝෂ අතර ඉහළින් ම වැජඹෙන අතර එය සම්පාදනය කළ, ඒ තුන්කල් දුටු මහා ප්‍රාඥයා, අන් කිසිවකු නොව මහාචාර්ය ගුණපාල මලලසේකර මහතායි.
මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය එතුමා විසින් අපේ යොවුන් පරපුර ඉලක්ක කරගෙන කළ සේවයක් වුවත් එතුමා ඊට වඩා මහා මෙහෙයක් රට ජාතිය වෙනුවෙන් කළා. එතුමා ශබ්දකෝෂ සම්පාදකයකු පමණක් නොව ග්‍රන්ථ කර්තෘවරයකු, සංස්කාරකයකු, භාෂා පරිවර්තකයකු, ගුරුවරයකු, අධ්‍යාපනඥයකු, දාර්ශනිකයකු, මහ කොමසාරිස්වරයකු, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයකු, බෞද්ධා නායකයකු වශයෙන් විශාල මෙහෙයක් ශ්‍රී ලංකාවටත්, ලෝකයටත් ඉටු කළා.
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා අපෙන් වියෝවී මේ වන විට වසර 48ක් ගතවෙලා තියෙනවා. එතුමාගේ ජීවිතය පිළිබඳ තතු අපේ හැදෙන පරපුරට ආදර්ශයක් හා දිරියක් සපයනවා. දශක පහකට පසු එතුමා ගැන අප මෙසේ සිහිපත් කරන්නේ ඒ නිසයි.
මලලසේකර කුමරුවන් උපන්නේ 1899 නොවැම්බර් 11 වැනිදා පානදුරේ මාලමුල්ලේදියි. ඔහුගේ පියා මලලගේ සියදෝරිස් පීරිස් මලලසේකර සෙනෙවිරත්න වෛද්‍යාචාර්යතුමායි. මව දෝන සෙලෙස්තිනා ජයවර්ධන කුරුප්පු මැතිනියයි. ඔහු පවුලේ දෙවැනියායි. පානදුරේ සාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළත් කිරීමට කැටුව ගිය දරුවාගේ බුද්ධිය විමසා බැලූ විදුහල්පතිතුමා ඔහු පහළ බාලංශයට නොව කෙළින්ම ඇතුළත් කර ගත්තේ තුන්වැනි පන්තියටයි. එතැනින් ඇරඹූ අධ්‍යාපන ගමනේදී ඔහු වයස 13 දී ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් සමත් වුණා.
අපේ රට ඉංග්‍රීසියට යටත්ව තිබූ සමයෙහි උපන් මලලසේකර දරුවාට දෙමාපියන් තැබූ නම ‘ජෝර්ජ් පීරිස්’ යන්නයි. බටහිර ගැති නම් තැබීම ගැන අනාගාරික ධර්මපාලතුමන් කළ කතා අසා ඔහු ඒ නම ‘ගුණපාල පියසේන’ කියා වෙනස් කර ගත්තා. එපමණක් නොව ආරිය සිංහල ඇඳුමටත් බැස්සා.
ඔහුට කුඩා කලම ඉතා ප්‍රශස්ත මතකයක් තිබුණා. ඔහු පාලි, සංස්කෘත, හා ඉංග්‍රීසි භාෂා ඉගෙනීමෙහි ශූරයෙක් වුණා. ඒ වගේම කුඩා කාලයේ සිට ම පියාගෙන් දේශීය වෙදකම ඉගෙන ගත්තා. පාසල් අධ්‍යාපනය දීප්තිමත්ව අවසන් කළ ඔහුව බටහිර වෛද්‍යවරයකු කිරීමට පියාට අවශ්‍ය වුණු නිසා දහඅට හැවිරිදි වියේ දී වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කරනු ලැබුවා. එහෙත් පියාගේ හදිසි අභාවය නිසා ඔහුට දිගට ම වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී ප්‍රථම පන්තියේ බී. ඒ. ගෞරව උපාධිය දිනා ගැනීමට සමත් වුණා.
ඉන්පසු ඔහුට කොළඹ ආනන්ද විදුහලෙහි ආචාර්ය පදවියක් ලැබුණා. එහි ආචාර්ය මණ්ඩලයේ කළ සේවය අනුව පසුව උප විදුහල්පති පදවියට පත් කෙරුණා. විදුහල්පති පදවියේ වැඩ බලන්නත් ඔහු ඉඩ සැලසුණා. අප දැන් භාවිත කරන ජාතික ඇඳුම නිර්මාණය කළේ එවකට ආනන්ද විදුහලේ විදුහල්පති පී ද එස්. කුලරත්න මහතා හා මලලසේකර මහතා එක්ව බවයි, සඳහන් වන්නේ.
1923 දී ඔහු ආනන්දයෙන් අස්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. ඒ පශ්චාද් උපාධිය කරන බලාපොරොත්තුවෙන්. ආචාර්ය උපාධිය සඳහා ගිය ඔහු ලන්ඩන් කෞතුකාගාරයේ තිබූ පාලි භාෂාව පිළිබඳ පුස්කොළ පොත් සියල්ල ඇතුළුව, විවිධ රටවල විද්වතුන් විසින් ලියන ලද ග්‍රන්ථ හා අත්පිටපත් ද අධ්‍යයනය කොට ‘ලංකාවේ පාලි සාහිත්‍යය’ නමින් වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කළා.
ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඔහු නිසා එහි නීතිරීති පවා වෙනස් කිරීමට සිදු වුණා. එහි දී ඇම්. ඒ. උපාධිය සඳහා ලියාපදිංචි වූ මලලසේකර මහතා පෙනීගියා, පී.එච්ඩී. උපාධියටත් ඒ ගමන්ම ලියා පදිංචි වීමට තහනමක් නැති බව. ඒ නිසා ඔහු ඒ දෙකට ම එකවර ලියා පදිංචි වී ඒ උපාධි දෙක ම එකවර ලබා ගැනීමට සමත් වුණා. ඒ නිසා ලන්ඩන් විශ්ව විද්‍යාලයට එයින් ආදයම අඩුවෙතැයි බිය වූ විශ්ව විද්‍යාල පරිපාලනයට ඉදිරියේ දී කිසිවකුටත් එකවර ඒ උපාධි දෙක ම කළ නොහැකි යැයි නීතියක් පැනවීමට සිදු වුණා.
ලන්ඩන් නුවර ගත කළ කාලයේ දී වරක් ඔහුට බකිංහැම් මාලිගයේ පැවැත්වෙන තේපැන් සංග්‍රහයකට ඇරයුමක් ලැබුණා. එවකට අපේ රටේ ද නායකයා වූ ජෝර්ජ් රජතුමා හා අග බිසව සහභාගි වන එවැනි උත්සව සඳහා සහභාගි වන්නන් යුරෝපීය ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය බව ඒ ඇරයුමෙහි සඳහන් වුණා. ඔහු ඔවුන්ගෙන් විමසා බැලුවා, තමන්ගේ රටේ ජාතික ඇඳුමින් ඊට සහභාගි විය හැකිදැයි කියා. ඔහුට ඊට අවසර ලැබුණා. එම උත්සවයේ දී මලලසේකර තරුණයා සියල්ලට ම වඩා කැපී පෙනුනා. රජුගේ හා අග බිසවගේ අවධානයටත් ලක් වුණා. ඔහු හා කතාබස් කළ පසු පැහැදුණු රජ පවුල, ඔහු එංගලන්තයේ සිටින කාලය තුළ ඔවුන්ගේ උත්සව සඳහා ඔහුට ඇරයුම් කළා.
1926 දී එංගලන්තයෙන් පැමිණි පසු ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ප්‍රථම විදුහල්පති වශයෙන් වැඩ බාර ගත්තා. 1927 දී විශ්ව විද්‍යාල කොලීජියේ (පසුව ලංකා විශ්ව විද්‍යාලය වු) පාලි, සිංහල හා ඉංග්‍රීසී කථිකාචාර්ය වරයකු ලෙස පත්වීමක් ලැබුවා. 1942 දී මහාචාර්ය පදවියට පත් වුණා. ලංකා විශ්ව විද්‍යාලය බවට පත් වූ පසු එහි පාලි අධ්‍යයන අංශයේ ප්‍රධානියා බවට පත් වුණා. පසුව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති පදවියටත් පත් වුණා.
පනස් හයේ සිදුවූ පෙරළියෙන් පසු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ලෝකයේ සමාජවාදී රටවල් සමග තානාපති සබඳතා පැවැත්වීමට කළ තීරණයත් සමග එ් සඳහා පත් කරනු ලැබුවේ මහාචාර්ය මලලසේකර මහතායි. 1958 දී සෝවියට් රුසියාවේ ප්‍රථම තානාපතිවරයා ලෙස එහි ගිය එතුමා සිය අක්තපත්‍රය කියවූයේ සිංහලෙන් වීමත් විශේෂත්වයක් වෙනවා. එතුමා එහි තානාපති පදවිය හොබවන අතර කැනඩාව, එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් ගණනාවකම මහ කොමසාරිස් වශයෙනුත් කටයුතු කළා. එතුමා කලක් අපේ රට වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙසත් සේවය කළා.
රුසියාවේ තනාපතිවරයා වශයෙන් සිටියදී රුසියානුවන් ගෞරවය දිනා ගත් එතුමාට මොස්කව් විශ්ව විද්‍යාලයේ බුද්ධාගම හා සිංහල ඉගැන්වීමටත් ඇරයුමක් ලැබුණා. එය තානාපතිවරයකුට එවැනි ඇරයුමක් කෙරුණු පළමු වතාවයි.
බණ්ඩාරනායක මහතාගේ හදිසි අභාවයත් සමග එහි නායකත්වය ගැනීම මුලදී ප්‍රතික්ෂේප කළ මැතිනිය ඒ සඳහා මලලසේකර මහතාට නායකත්වය ගන්නැයි ඇරයුම් කළා. අනාගත අගමැති පදවිය හිමිකර ගත හැකි ඒ ඉල්ලීම එතුමා නිහතමානීව ප්‍රතික්ෂේප කළේ තමා දේශපාලනයට සුදුසු නැතැයි කියමින්. මැතිනිය එහි නායකත්වය ගත්තේ ඉන්පසුවයි.
එතුමා 1973 අප්‍රේල් 23 වැනිදා දිවංගත වුණා. මෙරට ජාතික හා බෞද්ධ කටයුතුවලට එතුමාගෙන් අනූපමේය සේවාවක් සිදුවුණා. සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ ලේකම්, සභාපති ආදී තනතුරු දැරුවා පමණක් නොව ලෝක බෞද්ධ සම්මේලනය ආරම්භ කොට එයට නායකත්වය දුන්නා. මලලසේකර ශබ්දකෝෂයේ සම්පාදක ලෙස පමණක් නොව, පාලි බෞද්ධ ආකාරාදිය, බෞද්ධ විශ්ව කෝෂය ඇතුළු ග්‍රන්ථ රාශියක් ම සම්පාදනය කළා.
මලලසේකර මහතාගේ නමත්, එතුමාගේ සේවයත්, මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයත් සමග අපේ අනාගත පරම්පරාවලටත් සම්ප්‍රේෂණය වෙනවා නිසැකයි. වර්තමානයේ පවතින ශබ්දකෝෂ අතර, අලුතින් භාෂාවට එක්වන වදන් එක්කර ගනිමින්, වරින්වර සංස්කරණය කෙරෙන එකම ශබ්දකෝෂයත් එයයි. ඒ අනුව මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය ඉදිරියටත් අප අතර සිළුමිණක් සේ වැජඹෙනු ඇති.
- පර්සි ජයමාන්න
0 Comments