HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පාස්කු ප්‍රහාරයට ගොදුරුව සොඳුරු සිහින බොඳකර ගත් අය වෙනුවෙන් වග වෙමු!

පාස්කු ඉරිදා ඛේදවචකය සිදු වී පසුගිය 19 වැනිදාට වසර දෙකක් සම්පූර්ණ වුණා. ‘ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගන්න බෑ!’ කියන පැරණි සිංහල කියමන අනුව ආපසු හැරවිය නොහැකි මේ සියවසේ අපට මුහුණපාන්නට සිදු වූ, ‘ලොකුම ගොන්කම’ පිළිබඳ ලතැවිල්ල තවමත් අපේ හදවත් තුළින් පහව ගොස් නැත. තවත් කාලෙකටවත් පහව යතැයි සිතිය නොහැකියි. එදා 2019 අප්‍රේල් 19 වැනිදා කටුවා පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේනේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුවේ සියොන් දේවස්ථානය යන අභයස්ථාන තුනත්, කොළඹ කිංස්බරි, ෂැග්රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල තුනත් ඉලක්ක කර ගෙන එකම මොහොතේ වහබ් අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 268ක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. 

ඇගේ මේ සුන්දර සිනහවත් සිහිනත් බොඳ කළ ඒ අඳුරු මොහොත 
අපේ ඉතිහා‍සයට එක්කළේ මැකිය නොහැකි කළු පැල්ලමක්.

මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම වළකාලීමට අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාණවත් කාලයක් තිබිය දී මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ දැනුවත්ව තිබිය දී එය වළක්වා නොගැනීම ගැන අපේ ජාතියේ හෘද සාක්ෂිය අපට චෝදනා කරනවා. ප්‍රභූ ආරක්ෂා සේවා ඇතුළු නිල වශයෙන් මුලින් ම දැන ගත යුතු අංශ මේ ගැන දැනුවත්ව සිටි බව පාස්කු කොමිසමේ දී අනාවරණය වුණා. රාජ්‍ය බුද්ධි අංශ‍යේ නිලධාරින් මේ පිළිබඳ ආදාළ අංශවලට දැනුම් දුන් බව ද එහි දී කියැවුණා. 

අපේ අවාසනාවට මේ අපරාධය වළක්වා ගත නොහැකි වූයේ එවකට හිටි රාජ්‍ය නායකයා දැනුවත් නොකිරීම නිසා යැයි එතුමා පාස්කු කොමිසමේදී කියා තිබුණා. එතුමා රෝගී තත්වයක් යටතේ සිංගප්පූරුවේ රෝහලක පරීක්ෂණයකට ලක්ව සිටීමත්, ඒ අවස්ථාවේ දී අපේ බුද්ධි අංශ ප්‍රධානියාට ඍජුව ම රාජ්‍ය නායකයාට මේ බරපතල පණිවිඩය දී ගැනීමට නොහැකි වීම අපේ ජාතියේ ම අවාසනාවක්. එසේ ම පසුවදා බෝම්බ පිපිරීමෙන් පසු හෙළිදරවු කරුණු අනුව දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල වන බව කතෝලික බැතිමතුන් පවා දැන සිටි අතර ඔවුන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා දැනුවත් කර නැහැ. දැන සිටියා නම් එතුමා විසින් දේවමෙහෙයන් අත්හිටු වීමට ඉඩ තිබුණා. එහෙම වුණා නම් අනතුරේ බරපතලකම මීට වඩා අඩු වෙන්න ඉඩ තිබුණා. සමහර විට කුරුමානම වැරදුණ බව දැන ගත් විට ඔවුන් එය ක්‍රියාත්මක නොකර ඉන්නත් තිබුණා. ඒ නිසා අප කිසිවකුට මේ සඳහා ක්‍රියාත්මක නොවීමේ වගකීමෙන් අපට මිදෙන්න බැහැ. 

පුතාත් එක් ඇසකුත් අහිමි කර ගෙන වසර දෙකක් තිස්සේ තවමත් ඇඳ මතට වී සිටින තිළිණා.

දැන් සිදුවුණු දේ වළක්වන්න බැහැ. එත් අනාගතයේ සිදු විය හැකි දේ වළක්වන්න අපට පුලුවන්. ඒකට අපි ජාති ආගම් පක්ෂ භේද නැතිව එක්වෙන්න ඕනෑ. ඔය තත්වය එක රැයකින් ඇති වූවක් නොවෙයි. දේශපාලන වාසි බලාගෙන සමාජයට අනතුරුදායක ව්‍යාපාර පවත්වා ගෙන යාමට ඉඩදී නුදුටුවා සේ සිටීම නිසා කාලයක් තිස්සේ වැඩුණු දෙයක්. මෙතැන් සිටවත් අප එවැනි ව්‍යාපාර ගැන සෝදිසියෙන් සිට ඒවා වළක්වා දැමීමට ක්‍රියා කරන්න ඕනෑ. 

දේව මෙහෙයවලට පහර දුන්නද එයින් මියගියේ කතෝලික හෝ කිතුනු බැතිමතුන් පමණක් නොවේ. දේවාශිර්වාදය ලබා ගැනීම සඳහා ආ වෙනත් ලබ්ධිකයන් ද සිටියා. හෝටලවල මියගිය අය අතර විදේශික සංචාරකයන් ද සිටියා. තුන්සීයකට ආසන්න ගණනකගේ ජීවිත අහිමි වූවා පමණක් නොව තුවාල ලත් පන්සිය ගණනක් දෙනා අතර දිවි බේරා ගත්තත් මැරී මැරී ජීවත්වන, දරුණු ලෙස රෝගී වූ අයත් විශාල ගණනක් සිටිනවා. 

අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තිළිණාට ආශිර්වාද කළ අවස්ථාව

පාස්කු දින දා සිදුවුණු එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිම කාලයක් රෝහල්ගතව සිටි රෝගියා වන්නේ මීගමුවේ පදිංචි 37 හැවිරිදි තිදරු මවක් වූ තිළිණා හර්ෂණීයි. වසරකටත් අධික කාලයක් රෝහල් ගණනාවකට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූ තිළිණා රෝහලෙන් නිවසට පැමිණියේ මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසුවයි. දැනට නිවසට පැමිණ දස මසක් ගෙවුනත් ඇය තවමත් පූර්ණ සුවය ලබා නැත. ඇගේ සුෂුම්නාවට සිදුවු බරපතල හානි නිසා ඇගේ ශරීරයේ ඉණෙන් පහළ කොටස අප්‍රාණිකයි. ඇගේ වම් ඇස ඉවත් කර ඇති බවත්, අත්වල ඇඟිලි හැසිරවීම අපහසු බවත් ඇය කියනවා. 

වසර දෙකකට පෙර එදා සිදුවීම ඇය සිහිපත් කරන්නේ මෙහෙමයි. “මම එදා පල්ලියට ගියේ අම්මයි, දරුවො තුන්දෙනත් එක්කයි. අපි හිටියේ ත්‍රස්තවාදියා පුපුරුවාගැනීම සිදුකළ ස්ථානයේ සිට බංකු පහක් හයක් පමණ පිටුපසින්. වයස අවුරුදු 9ක් වුණ මගේ දුව ලයාරා පුබුදුලී අම්මා සමඟත්, මියගිය පුතා මගේ ඔඩොක්කුවේත්, වයස අවුරුදු දෙක හමාරක් වූ බාල පුතා දයෝද් කෙයෝෂ් ජනේලය අයිනේත් සිටගෙන සිටියා. මගේ අතේ ගැටගසා තිබූුණු පාස්කු නූල ගැලවී බිම වැටුණු නිසා මම බිමට පහත් වී එය රැගෙන තනිවම ගැටගසා ගන්නට උත්සාහ කරමින් සිටියදී තමයි, විශාල ශබ්දයක් සමඟ කම්පනයක් ඇතිවුනේ.” තිළිණා කීවේ එදා ඒ වේදනාත්මක මතකය අවදි කරමිනි. 

“මට කතා කරන්න, සෙලවෙන්න බැරි වුණත් හොඳින් සිහිය තිබුණා. අම්මා අප සොයා රෝහලට එන විට මාව දාල තිබිල තියෙන්නේ මියගිය අයගේ මෘත ශරීර අතරයි. මට පණ තිබෙන බව කියා කෑ ගසා තිබෙන්නේ මගේ අම්මායි. ඒ අවස්ථාවේ මට ශරීරය සෙලවීමටත් බැරි වුණ නිසා ඔවුන් මා මියගොස් ඇතැයි සිතන්න ඇති.” ඇය පවසන ආකාරයට ඇය ජීවතුන් අතර පසුවීම ද ආශ්චර්යයකි. ඇගේ ඒ අනුවේදනීය කතාව ‘මවිත’ පුවත් වෙබ් අඩවියේ සවිස්තරාත්මකව පළ කර තියෙනවා. ඒ කතාව මෙතැනින් කියවන්න. 

මේ වගේ කදුළු කතා රාශියක් තියෙනවා. ඒ සියල්ල ම අපට හඬඟා කියන්නේ ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන ලෙසයි. ඒ වගේ ම මේ අපේ පොළොව මත උපදින අයගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමට අපි කිසිවිටෙකත් ආගමික අන්තවාදී ඝාතකයන්ට මින් ඉදිරියට ඉඩ නොදිය යුතුයි. එදා දුකට පත් අයටත් ඔවුන්ගේ මතු පරම්පරාවලටත් යුතුකම් ඉටු කළ හැක්කේ එවිටයි. එදා සිද්ධියට වගකිවයුතු අය සොයා ගෙන දඬුවම් කිරී‍මට උත්සාහ කිරීමෙන් වන්නේ තවත් පළිගැනීමක් විතරයි. එසේ ම එවැනි බරපතල අත්වැරැද්දකදී සමාව ගැනීමෙන් පමණක්, මෙවැනි ප්‍රශ්නයක් විසඳ‍ෙන්නේ නැහැ. 

එදා මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියත් එක්ක ම මේ පිළිබඳව දැඩි පියවර ගත්තා නම් මේ කිසිවක් සිදු නොවන්නට ඉඩ තිබුණා. එහි අනතුරක් ඇති බව දැනගත් මුස්ලිම් ප්‍රජාවගේ ඇතැම් අය ඒ ගැන රජය දැනුවත් කළ ද එයින් නිසි ප්‍රයෝජනයක් ගැනුණේ නැහැ. වහබ්වාදීන් ඒ ගැන ඔත්තුව දුන් අයට පවා වෙඩි තබමින් තමන්ට ඇතුළෙන් එන විරෝධය මර්දනය කර ගත්තා. අනෙක් පැත්තෙන් විදේශ මුදල් යොදා පාලක පක්ෂයේ ඇතැම් කොටස් තමන් වෙන නම්මවා ගත්තා. 

දෙවසරක් පිරුණු දේවමෙහෙය දා, එදා ප්‍රහාරයට ලක් වූ පිරිසගේ ඡායාරුප ඇතුළත් කොට 
කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට ඉදිකළ තොරණ.

තාමත් ඒ දෙය සිදු වෙනවා, ෂාරියා නීතිය මේ රටේත් ක්‍රියාත්මක කළහොත් බුද්ධාගමට වාසි සැලසෙන බව බෞද්ධයන්ට ඒත්තු ගන්වන්න, බුද්ධාගම හොඳින් පවත්වා ගෙන යන්න, එයින් ඉඩ සැලසෙන බැව් ඔවුන් කරන දේශනවලින් හා බෞද්ධයන් අතර බෙදා දෙන පොතපතින් කියැවෙනවා. එවැනි පොත් මිටියක් හා කැසට් වගයක් වසර දෙකකට විතර ඉස්සරින් පොලිසිය විසින් මහාචාර්යවරයකු යැයි කියා ගන්නා වහාබ් අන්තවාදියකු සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. අපි ඇතුළු විශේෂඥ මණ්ඩලයකගේ උපදෙස් පතා එවකට සිටි සංස්කෘතික අධ්‍යක්ෂකවරිය විසින් අප වෙත යොමු කර තිබුණා. බුද්ධාගම හොඳින් හැදෑරූ වහාබ්වාදියකු වූ ඒ තැනැත්තා බෞද්ධ කරුණු ගාථා සමග ඉදිරිපත් කරමින් වර්තමාන රෝම ලන්දේසි නීතිය වෙනුවට ෂාරියා නීතිය මෙරට ක්‍රියාත්මක කිරීමට සහය දෙන ලෙස ඒ පොත් මගින් ඉල්ලා තිබුණා. අප ඒ දිනවලම එහි ඇති භයානක කම පෙන්වා දුන් නිසා ඒ පුද්ගලයා වෙනුවෙන් එදා නීතිය ක්‍රියාත්මක වෙන්න ඇති. 

තවමත් නීතියේ රැහනට අසු නොවී මේ ආගමික අන්තවාදීන් සමාජය තුළ ඉන්නවා. මේ අය හෙළිදරවු කර ගැනීමට රජයට සහය වීම සාමකාමී ජනතාවගේ යුතුකමක්. මෙහි ලොකුම වගකීම ගතයුත්තේ ප්‍රධාන කොටම බෞද්ධයන්. බෞද්ධාගම අන්ධ භක්තිකයන්, අන්තවාදීන් බිහි කරන ආගමක් නොවෙයි. එහි දර්ශනය මිනිසුන් පමණක් නොව සියලු සත්වයන් ම ආරක්ෂා කිරීමයි. නියම බෞද්ධයන් අතර අන්ධ ආගමික භක්තිකයන් නැහැ. ඉන්නේ ශ්‍රද්ධාවන්තයන්, එනම් සැදැහැවතුන්. ඉන් අදහස් කෙරෙන්නේ ඔවුන් බුදුන් වහන්සේගේ දර්ශනය කෙරෙහි පැහැදුණු අය බවයි. බෞද්ධ නොවන අයටත් මෙය විසඳීමට නම් බුදුන්ගේ මග ගැනීමට සිදු වෙනවා. මානව හිතවාදියකු නම් ඕනෑම ලබ්ධියකුට ඒ මග ගැනීම වරදක් විය නොහැකියි.

Post a Comment

0 Comments