පිලිප් කුමරුගේ අප්‍රකට විස්මිත තතු - පුදුමයි! ඒත් ඇත්තයි!

ලෝකයේ දිගු කලක් තිස්සේ තවමත් රජ පදවිය උසුලන දෙවැනි එලිසැබත් මහ රැජිනගේ වල්ලභ කුමරු ලෙස වසර 73ක් සේවය කළ, එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු පසුගියදා වසර 99ක් ආයු වළදා පසුගිය 19 වැනිදා දිවංගත වුණා. ඔහු පිළිබඳ ඔබ නෑසූ අපුකට තොරතුරු රැසක් අභාවයත් සමග විවිධ මාධ්‍යවල පළ වුණා. එයින් තෝරා ගත් කිහිපයක් මෙසේ පළ වෙනවා. 

 නාවික ඉතිහාසයේ ලා බාල ම ලුතිනන්වරයා වන්නේ පිලිප් කුමරුයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසැබත් මහරැජිනගේ වල්ලභයා වූ එඩින්බරෝ ආදිපාදවර පිලිප් කුමරුගේ උපන්දිනය ලෙස දැක්වෙන්නේ 1921 ජූනි 10 වැනිදායි. අභාවයට පත් වූයේ 1921 අප්‍රේල් 19 වැනිදායි. ඔහුගේ සැබෑ උපන්දිනය වූ මැයි 28 වැනිදාට ගණන් ගතහොත් ඔහුට ශතකය සපුරන්නට තවත් තිබී ඇත්තේ දින 39ක් පමණයි. 

බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයකු ලෙස සලකනු ලැබුවත් පිලිප් කුමරු 1947 දී දෙවැනි එලිසැබත් මහරැජින හා විවාහ වීමට බොහෝ කලකට පෙර, ඔහුගේ උපතත් සමග යුරෝපයේ රජ පවුල් කීපයකට සම්බන්ධකම් ඇත්තකු වුණා. ඔහුගේ මව වික්ටෝරියා මහ රැජිනගේ මී මිනිපිරියක වූ බැටන්බර්ග්හී ඇලිස් කුමරිය වූ අතර පියා ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ රජ පවුලේ ඇන්ඩෲ කුමරුයි. ග්‍රීසියේ රජ වූ කොන්ස්ටන්ටයින් රජුගේ ඥනි පුත්‍රයා වූ පිලිප් කුමරු උපතින් ග්‍රීසියේ ඔටුන්න හිමි හයවැනියා වුණා. ඒ හැරෙන්නට ඔහුට පෲසියාවේ රජපවුලටත් රුසියානු රොමානෝව් රජපවුලටත් ලේ ඥාතිත්වයක් තිබුණා. ඔහු ඒ පරීක්ෂණ සඳහා ඩීඑන්ඒ පරිත්‍යාග කළ තුන්දෙනාගෙන් එක් අයකු ද වුණා. 

ඔබත් දන්නවාද? 

1. පිලිප් කුමරු උපන්නේ හරියටම උපන් දිනය දා නොවෙයි. 

ඔහුගේ ඇත්තම උපත සිදු වූයේ 1921 මැයි 28 වැනිදායි. ඒ ග්‍රීසියේ වෙරළාසන්නයේ පිහිටි කෝෆූ දූවේ තිබූ ග්‍රීක රජ පවුලේ නිවාඩු නිකේතනයකයි. එහි මුළුතැන්ගෙයි කෑම මේසය මතයි ඔහුගේ උපත සිදු වුණේ. ඒ කාලේ ඔහුගේ උපන් රට වූ ග්‍රීසිය භාවිතා කළේ ජුලියන් කැලැන්ඩරයයි. ඒ රට වර්තමාන ග්‍රෙගෝරියානු කැලැන්ඩරය භාවිතයට ගත්තේ 1923 සිටයි. ඒ නිසා ඔහුගේ උපන් රටේ දී උපන්දිනය වන්නේ මැයි 28 වැනිදායි. දැන් භාවිත කෙරෙන ජූනි 10 නොවෙයි. 

2. පිලිප් කුමරුගේ බිළිඳු වියේ දීම ඒ පවුලට ග්‍රීසියෙන් පලවා හරිනු ලැබුවා. 

199-22 අතර කාලයේ පැවති ග්‍රීක-තුර්කි යුද්ධය නිසා පිලිප් කුමරුගේ මාමා වූ පළමුවන කොන්ස්ටන්ටයින් රජු ඇතුළු රජ පවුල ග්‍රීසියෙන් පිටුවහල් කරනු ලැබුවේ පිලිප් කුමරුගේ ළදරු වියේදීමයි. පිටුවහල් කිරීමේ දී ළදරු කුමරු ගෙන ගොස් ඇත්තේ පලතුරු කූඩයක දමා ගෙනයි. ඉන් පසුව ඔවුන් පදිංචිය කර ගත්තේ ප්‍රංශයයි. කුඩා කල සිට ම මව්පිය සෙනෙහස අහිමි වූ කුමරුට රැකවරණය දී ඇත්තේ නැන්දනියක වූ මාරි බොනපාට් කුමරියයි. 

3. පිලිප් කුමරුගේ පෙළපත් නාමය දිව උළුක්කු වෙන එකක් 

1947 සිට පිලිප් කුමරු භාවිතා කළේ මවගේ පෙළපත් නම වූ මවුන්ට්බැටන් නාමයයි. ඔහුගේ සැබෑ පෙළපත් නාමය විය යුත්තේ පිය පෙළපත් නාමය වූ ‘ෂෙල්ස්විග්-ඕල්ස්ටීන්-සොන්ඩර්බර්ග්-ග්ලක්ස්බර්ග්’ (Schleswig-Holstein-Sonderburg-Glücksburg) යන්නයි. 

එලිසැබත් මහරැජින හා පිලිප් කුමරු උත්සව අවස්ථාවක.

4. පිලිප් කුමරුට තිබුණේ අසුන්දර ළමා කාලයක්! 

1930 දී පිලිප් කුමරුගේ මව වූ ඇලිස් කුමරිය භින්නෝන්මාදයටත්, පීඩනෝන්මාදයටත් ගොදුරු වීම නිසා බර්ලින් නගරයේත් පසුව ස්විට්සර්ලන්තයේත් මානසික රෝහල්වලට යවනු ලැබුවා. සිග්මන්ඩ් ‍ෆ්‍රොයිඩ් පවා ඇයට ප්‍රතිකාර කළ බව සඳහන් වෙනවා. ඇයි මිය ලියේත් එවැනි නේවාසිකාගාරයකයි. ඒ නිසා කුමරුට මව් සෙනෙහස ලැබුණේ නැහැ. 1937 දී පිලිප් කුමරුගේ වැඩිමහලු සොහොයුරියක වූ සිසිලි ගැබිනියකව සිටියදී සැමියා දරුවන් සියලු දෙන සමගින් ගුවන් අනතුරකින් මිය ගියා. 1938 දී පිලිප් කුමරුගේ මාමා හා භාරකාරයා වූ ජෝර්ජ් මවුන්ට්බැටන් 45 හැවිරිදිව සිටියදී පිළිකාවකින් මිය ගියා. 

5. පිලිප් කුමරු ඉගෙනීමට ශූරයෙක්! 

කොතරම් පසුබෑම් ඇති වුවද පිලිප් කුමරු ඉගෙනීමට ඇලුම් කළ, දක්ෂ, බුද්ධිමත් ශිෂ්‍යයෙක්. ඔහු ඉගෙනීම ලැබුවේ ප්‍රංශයේ, ජර්මනියේ, හා එක්සත් රාජධානියේ නේවාසික පාසල්වලයි. නිවාඩු කාලවලට ගියේ එක එක නෑයින් ළඟටයි. එක්සත් රාජධානියේ දී තමයි මවුන්ට්බැටන් පවුලේ ස්ථිර පදිංචියට එක් වුණේ. ප්‍රංශයේ දී ඔහුට ඉගැන්වූ එක් ගුරුවරයකු කුමරුන්ව හැඳින්වූයේ ‘හැම දෙයක් ම දත් හුරුබුහුටි දරුවෙක්!’ කියායි. 

6. පිලිප් කුමරුට එලිසැබත් කුමරිය හමු වුණේ ඇය 13 හැවිරිදිව සිටියදියි! 

පාසල් අධ්‍යාපනයෙන් පසු පිලිප් කුමරුන් ආධුනික නාවික හමුදා කැඩෙට්වරයකු ලෙස ඩාට්මවුත්හී රාජකීය නාවික හමුදා විදුහලට ඇතුළත් වුණා. 1939 දී හය වන ජෝර්ජ් රජුගේ බිසව වූ එලිසැබත් රැජින (වර්තමාන රැජිනගේ මව) සිය දියණියන් දෙදෙනා වූ එලිසැබත් හා මාගරට් කුමරියන් සමග රාජකීය සංචාරයකට පැමිණි වේලේ ඇය දියණියන් සංචාරය සඳහා කැටුව යාම බාර කළේ පිලිප් කුමරුටයි. ඊට කලින් 1934 දී ඔවුන් දෙදෙනා විවාහ මංගල උත්සවයකදී හමුවී තිබුණා. නිල වශයෙන් හමුවුනේ මේ අවස්ථාවව්දියි. ඒ හමුවෙන් පසු දෙදෙනා පෑනේ මිතුරන් බවට පත් වුණා. පසුව එය ප්‍රේමයක් දක්වා වර්ධනය වුණා. 

පිලිප් කුමරුගේ හා එලිසැබත් කුමරියගේ විවාහ මංගල්‍යය දා - හය වන ජෝර්ජ් රජු හා බිසව (වමේ)

7. පිලිප් කුමරු හා එළිසැබත් රැජින අතර නෑ සබඳකමක් තිබුණා. 

එලිසැබත් රැජිනත්, පිලිප් කුමරුත් වික්ටෝරියා මහරැජිනගේ මීමුනුපුරන් වෙනවා. එලිසැබත් කුමරිය, වික්ටෝරියා රැජිනගේ ලොකු පුතා වූ හත්වන එඩ්වඩ් රජුගේ පාර්ශ්වයෙන්, පිලිප් කුමරු වික්ටෝරියා රැජිනගේ දෙ වන දියණිය වූ ඇලිස් කුමරියගේ පාර්ශ්වයෙන්. ඔවුන් නෑනා හා මස්සිනා වෙනවා. 

8. පිලිප් කුමරුගේ හා එලිසැබත් කුමරියගේ නම් ප්‍රසිද්ධිය වසරකින් පමා වුණා. 

1946 දී පිලිප් කුමරු, හය වන ජෝර්ජ් රජුගෙන් අවසර පැතුවා ඔහු‍ගේ දියණිය සමග විවාහයට. රජු එය පිළිගෙන දියණියට 21 පිරෙනතුරු බලා සිටින්නැයි ඉල්ලීමක් කළා. ඒ අනුව නම් ප්‍රසිද්ධිය සිදුවුණේ 1947 ජූලි 9 වැනිදායි. 

9. පිලිප් කුමරුට විවාහයට පෙර දෙර‍ටක ම ඔටුන්නට ඇති හිමිකම අත්හරින්න සිදුවුණා. 

විවාහයට පෙර පිලිප් කුමරුට සම්පූර්ණයෙන් ම බ්‍රිතාන්‍ය පුරවැසියකු වීමට සිදු වුණා. ඒ අනුව ඔහුට ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ සිහසුනට ඇති උරුමය නිල වශයෙන් අත්හැරීමට සිදු වුණා. (ඩෙන්මාර්කයත් පසුව පනතක් මගින් පිලිප්ගේ පවුලට ඇති ඩෙන්මාර්කයේ ඔටුන්නට හිමි අයිතිය අහෝසි කළා.) 

10. පිලිප් කුමරුගේ සොහොයුරියන්ට ඔහු‍ගේ විවාහ මංගල්‍යය ඒමට නොහැකි වුණා. 

ඒ වන විට ජීවතුන් අතර සිටි පිලිප් කුමරුගේ අක්කලා තුන්දෙනාට විවාහ මඟුලට එක්වීමට බ්‍රිතාන්‍යය අවසර දුන්නේ නැහැ. එයට හේතුව ඒ වන විට ඔවුන් පදිංචිව සිටි ජර්මනිය හා බ්‍රිතාන්‍යය අතර යුද්ධයට පෙර පැවති විරසකය නිසයි. 

11. නාවික ඉතිහාසයේ ලා බාල ම ලුතිනන්වරයා වන්නේ පිලිප් කුමරුයි. 

දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ සමයේ 1939 දී රාජකීය නාවික හමුදාවට බැදුණු පිලිප් කුමරු මුලින් ම සේවය කළේ රැමිලීස් නම් යුද නැවෙහියි. යුද සමයේ ඔහු දැක්වූ දස්කම් නිසා වයස 21 දී ම පළමු ලුතිනන් පදවියට පත් කෙරුණා. අනුක්‍රමයෙන් 1953 දී ‘ඇඩ්මිරල්ඩ් ඔෆ් ද ෆ්ලීට්’ පදවියටත්, 2011 දී, 90 වැනි උපන් දිනය දා මහරැජින විසින් නාවික හමුදාවේ ඉහළ ම නිලය වූ ‘ලෝඩ් හයි ඇඩිමිරල්ඩ් ඔෆ් ද නේවි’ පදවියට පත් කරනු ලැබුවා. 

වසර 73ක් අඛණ්ඩ රාජකීය ප්‍රේම සම්බන්ධයක්

12. රජ පවුලේ සිටි වැඩ අධික ම පුද්ගලයා පිලිප් කුමරුයි! 

පිලිප් කුමරු සිය ජීවිතකාලය තුළ විවිධ ආයතන 700කට වැඩි ගණනක ඉහළම තනතුර ඉසිලුවා. 1000කට වැඩි නිල රැස්වීම් ගණනක මුලසුන දැරුවා. ඔහු 2017 දී විශ්‍රාම ගන්නා බව ප්‍රකාශක කරන විට සිදුවීම් 22,000කට වැඩි ගණනකට සහභාගි වෙලා තියෙනවා. 5.500ක් දේශන පවත්වා තියෙනවා. 

13. පිලිප් කුමරු ත්‍රෛභාෂිකයි! 

පිලිප් කුමරු ‍ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමාරයකු වුවත් ඔහුට ග්‍රීක හා ඩෙනිෂ් භාෂා කථා කළ නොහැකියි. එහෙත් ජර්මන්, ප්‍රංශ හා ඉංග්‍රීසි යන භාෂා තුන චතුර ලෙස හැසිරවිය හැකියි. 

14. පිලිප් කුමරුට ගුවන් යානා පැදවීමට බලපත්‍රයක් තිබුණා. 

පිලිප් කුමරුට සයුර මෙන් ම අහසත් හොඳට හුරුයි. ඔහු රාජකීය ගුවන් හමුදාවෙන් පුහුණුව ලබා 1953 දී ගුවන් නියමු බලපත්‍රය ලබා ගත්තා. 1956 දී හෙලිකොප්ටර් බලපත්‍රයත් හිමි කර ගත්තා. 1997 දී ඔහු (වයස 76දී) පැද වූ අවසන් ගුවන් ගමනත් සමග ඔහු සම්පූර්ණ කර ඇති පියසැරි කාලය පැය 6000කට වැඩියි. ඒ කාලය තුළ ඔහු ගුවන්යානා වර්ග 59ක් පදවා තිබෙනවා. 

15. බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් අතරින් වැඩි ම ආයු කාලයක් භුක්තිවිඳි තැනැත්තා පිලිප් කුමරුයි. 

පිලිප් කුමරුන්ට වඩා වැඩි ආයුකාලයක් භුක්තිවිඳි කාන්තාවන් දෙදෙනකු පමණයි, බ්‍රිතාන්‍ය රජ පවුලේ සිටින්නේ. ඒ මහරැජිනගේ මාතාව හා ග්ලොසෙස්ටර් ආදිපාදවරිය වූ ඇලිස් කුමරිය පමණයි. වසර සීය ඉක්මා ජීවත්ව සිටයේ. 2002 දී මහරැජිනගේ මාතාව මිය ගියේ වයසු අවුරුදු 101දියි. ඇලිස් කුමරිය මියගියේ 2004 දී වයස අවුරුදු 103 පිරෙන්නට මාස දෙකක් තිබියදියි.

- පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments