HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින්ට දෙවියො දුන්නු වස්තුව! මෙන්න!

මේ නස්රුදින් කතා 1968 දී මුලින්ම ‘නවයුගය’ සඟරාව ඔස්සේ සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් අවස්ථාවේදී මං හීනෙකින්වත් හිතුවේ නෑ, මේ තරම් දුරක් නස්රුදින්ගේ කතා අරගෙන එන්න පුලුවන් වෙයි කියලා. එදා නවයුගයට ලියූ කතා එකතුව තමයි, ‘නස්රුදින්’ නමින් පළ වුණේ. මේ වෙන කොට නස්රුදින්ගේ කතා පොත් පෙළක් ම පළ වෙලා තියෙනවා. ඒ මුල්ම ‘නස්රුදින්’ කෘතියෙහි 20 වැනි මුද්‍රණය ගිය සතියේ නිකුත් වුණා. සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශනයක් ලෙස මෙය මුලින් ම පළ වූයේ මීට වසර 20කට පෙරයි. මෙහි පහත පළ වෙන්නේ එහි එන එක කතාවක්. 

නස්රුදින්ට දෙවියො දුන්නු වස්තුව! 

‘මට රස්සාවක් ලබා ගන්න බෑ’ නස්රුදින් දවසක් බිරිඳට කිව්වා. ‘ඒ මොකද දන්නවද මං දැනටමත් අති උත්තම දෙවියන් වහන්සෙගෙ සේවයට කැපවෙලා ඉන්න උන්නාන්සෙගෙ සේවකයා හින්දා.’ 

‘එහෙම නම් ඔහෙගෙ පඩිය දෙයියන්ගෙන් ඉල්ලා ගන්නවා! ඒ මොකද හැම ස්වාමියකුම තමන්ගේ සේවකයන්ට පඩි ගෙවන්න ඕනෑ’ බිරිඳ කිව්වා. 

‘හරියට හරි!’ නස්රුදින් හිතුවා. 

‘උන්නාන්සෙ මට මේච්චර කල් ගෙව්වෙ නැත්තෙ මං කවදාවත් ඉල්ලුවෙ නෑනෙ’ ඔහු ඊළඟට කීවා. 

‘ඉතින් එහෙනම් ගිහින් ඉල්ලනව.’ බිරිඳ කිව්වා. 

නස්රුදින් ගෙයින් පිටත වත්තට ගියා. ගිහින් දණ ගසා ගෙන දෙවියන්ට යාච්ඤා කළා. 

‘අනේ දෙවියනේ මං මෙච්චර කලක් ඔබ වහන්සෙට කළ සේවයට හරියන්න පඩියක් වශයෙන් මට රන්මසු සීයක් එවනු මැනවි!’ 

අල්ලපු වත්තෙ පදිංචිවෙලා හිටියෙ සල්ලි පොලියට දෙන මිනිහෙක්. එයා නස්රුදින්ගෙ මේ ඉල්ලීම අහගෙන හිටියා. එයා නස්රුදින්ට විහිළුවක් කරන්න කියලා හිතලා රන්මසු සීයක මල්ලක් ජනේලෙන් එළියට විසි කළා. එහෙම කළේ නස්රුදින් දණ ගහගෙන නළල බිම ගාවමින් යාච්ඤා කරන තැනට වැටෙන්නයි. නස්රුදින් හිස ඔසවලා බලපුවාම මෙන්න සල්ලි මල්ලක් තියෙනවා එයා ඉදිරිපිට. 

නස්රුදින් බොහොම ආඩම්බරෙන්, සන්තෝසෙන් නැගිට්ටා. ‘මමත් සාන්තුවරයෙක්. දෙවියො මට මගෙ හිඟ පඩි මුදල් එව්වා.’ ගෙතුළට ගිය නස්රුදින් බිරිඳ අතට කාසි මල්ල දෙන ගමන් කිව්වා. 

ඇයටත් හරිම පුදුමයි. ඒ වගේ ම සතුටුයි. 

මේ සියල්ල ම අල්ලපු ගෙදර මනුස්සයා වරින්වර හොරෙන් බලන් හිටියා. නස්රුදින්ගෙ ගෙදර කලබලය ටිකක් වැඩි බව දැකලා විමසිල්ලෙන් බලපුවාම ඔහුට පෙනුනා ලී බඩු, ඇඳුම් පැලඳුම්, කෑම ජාති, කර ගහ ගත්තු මිනිස්සු ඒවා ගෙනත් දීලා යනවා. තමන් කරපු විහිළුව ටිකක් දුර දිග ගිය බව ඔහුට තේරුණා. 

නස්රුදින්ගේ බිරිඳ ඒ මුදලින් අවශ්‍ය හැමදේම ගෙන්නා ගන්න කටයුතු කරන බව දැනිලා වැඩේ තවත් දුරදිග යන්න කලින් තමන් කරපු දේ ගැන කියන්න කල්පනා කළා. එහෙම කල්පනා කරලා නස්රුදින්ගේ ගෙදරට ගිහිල්ල වෙච්ච දේ කියලා තමන්ගේ සල්ලි ආපහු ඉල්ලුවා. 

‘තමුසෙට පිස්සු ද? තමුසෙ අහගෙන ඉඳලා මං ඒක දෙයියන්ගෙන් ඉල්ලනවා, දැන් එනවා ඒකට අයිතිවාසිකම් කියන්න. ඒක නම් හරියන්නේ නැහැ.’ නස්රුදින් කිව්වා. 

අසල්වැසියා කීවා, මේක විනිශ්චය ශාලාවට ගිහින් බේරුමක් කර ගනිමු කියලා. 

‘මට මෙහෙම යන්න බැහැ.’ නස්රුදින් කිව්වා. ‘මට හොඳ ඇඳුමක්වත්, හොඳ අස්සයෙක්වත් නෑ. මෙහෙම ගියොත් අපි දෙන්නගේ පෙනුම දිහා බලලා, නඩුකාරතුමා මගේ අවලස්සනකම ගැන කෝපවෙලා මට අසාධාරණයක් කරලා ඔහෙගෙ පැත්තට අදීවි.’ එහෙම කියලා යන්න බෑම කිව්වා. 

කොහොම හරි නස්රුදින්ව එක්ක යන්න කල්පනා කළ අසල්වැසියා ඔහුට තමන්ගේ ඇඳුමක් අන්දලා, තමන්ගේම අශ්වයකු පිට ඔහුව නංවාගෙන නඩුකාරයා ළඟට එක්ක ගියා. 

ඉස්සෙල්ලම අසල්වැසියා එයාගේ පැමිණිල්ල ඉදිරිපත් කළා. 

‘මොනවද මේ ගැන තමාගෙ නිදහසට කියන්න තියෙන්නෙ?’ නඩුකාරයා නස්රුදින්ගෙන් ඇහුවා. 

‘ස්වාමීනී, මේ මිනිහට පිස්සු!’ නස්රුදින් කිව්වා. 

‘මොනවද ඒකට තියෙන සාක්කි?’ 

‘ස්වාමීනි, මිනිහගෙ කට ම තමා මටත් සාක්කි කියන්නෙ. මිනිහ හිතනව මේ හැම එකක් ම එයාට අයිතියි කියලා. ඔබතුමාම අහන්න මගේ අස්සය ගැන, වෙන එකක් තියා මං මේ ඇඳගෙන ඉන්න ඇඳුම ගැන අහන්න - ඔය රන්මසු වගේම මිනිහා ඒවත් එයාගෙයි කියාවි’ 

‘එක් ඇත්ත නෙ. ඒව මගේ තමයි’ අසල්වැසියා කිව්වා. 

නඩුකාරයා නඩුව අහක දැම්මා. 

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින් පොත් පෙළේ’ පළමු වැන්නෙන් උපුටා ගැනිණ.)

Post a Comment

0 Comments