මේ සති අන්තයේ ග්‍රහක කීපයක් පෘථිවිය පසු කර යනවා!

අද රෑට තවත් ග්‍රහකයක් පෘථිවිය හා චන්ද්‍රයා අතරින් යනවා. තට්ටු දෙකේ බස්රථ තුනක් එහෙමත් නැත්නම් ගෙයක් තරම් විශාල මේ ග්‍රහකය නිසා අපට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. දැනට හඳුනාගෙන ඇති ග්‍රහක කීපයක් ම තියෙනවා, හිරු වටා යන. ඒවා පෘථිවියේ කක්ෂය හරහා යන අවස්ථාවක් වුණොත් හැපීමට ඉඩ තියෙනවා. ඒ නිසා නාසා අයතනය නිතරම සෝදිසියෙන් තමයි, ඉන්නේ. නාසා කියන විදියට ඒ එකක්වත් දැන් යන ගමන් මග හා වේගය අනුව පෘථිවිය ආසන්නයෙන් ගියත් හැපෙන්නේ නැහැ.

අඩි 108ක් දිග යනුවෙන් 2021 GT3 නම් කළ අභ්‍යවකාශ ග්‍රහක පාෂාණය 
අප්‍රේල් 10 වැනිදා 22:30 BST වේලාවට පෘථිවිය පසු කර ගෙන යයි.

මේ ග්‍රාහකය පෘථිවිය ‍ආසන්නයෙන් යනවා, කීවාට ඇත්ත‍ෙන්ම යන්නේ පෘථිවියට කි.මී. 25,44,000ක් (සැතැපුම් 159,000ක්) ඈතින්. මෙය සිදුවන්නේ අප්‍රේල් 10 රාත්‍රියටයි. ඒ ග්‍රහකය සූර්යයා වටා යන ගමනේ දී එහි කක්ෂය පෘථිවියේ කක්ෂය හරහා ගියත් පෘථිවිය ඒ වන විට බොහෝ ඈතින් සිටින නිසා ගැටීමක් ඇතිවීමේ අවදානමක් නැහැ. සූර්යයා වටා යන ඒ ග්‍රහකයේ කක්ෂය විශාල එකක් නිසා පෘථිවියේ කක්ෂය හරහා පමණක් නොව අඟහරු, සිකුරු, බුද ග්‍රහයන්‍ගේ කක්ෂ හරහාත් යනවා. ඒත් ගැටීමක් සිදු නොවන බවයි නාසා ගණනය කිරීම් අනුව කියවෙන්නේ. 

පෘථිවි ආසන්න වස්තූන් (Near Earth Object) හෙවත් ‘නියෝ (NEO) වස්තූන්’ ලෙසින් හැඳින්වෙන මේ ග්‍රහක බොහෝ විට එන්නේ හිරුට ආසන්නව ඇති, අඟහරුත් බෘහස්පතීත් අතර ඇති ග්‍රහක වළල්ලේ සිටයි. ඒවා පෘථිවියේ සිට හිරුට ඇති දුරට වඩා අඩකට අඩු දුරකින් ගමන් කරන විටයි, පෘථිවි ආසන්න වස්තූන් ලෙස ඒවා හැඳින්වෙන්නේ. වළල්ලක හැඩයට හිරු හා කක්ෂගතව තියෙන මෙහි ගණන් කරන්න බැරි තරම් ග්‍රාහක තියෙනවා. ඒවායින් එකක් බෘහස්පතීගේ ආකර්ණය නිසා ග්‍රහක වළල්ලෙන් මිදී ඉවතට එනවා. ඒත් එයට හිරුගේ ආකර්ෂණයෙන් මිදෙන්න බැහැ. ඒ නිසා එය තමන්ගේ ඉලිප්සාකාර කක්ෂයක හිරු වටා යනවා. ඒවා තමයි පෘථිවියේ හැපෙතැයි අප බිය වන්නේ. 

පෘථිවි ආසන්න වස්තුවක් ලෙස සැලකෙන GT3 ග්‍රහකය වැනි මෙවැනි ග්‍රහකයකින් 
පෘථිවියට තර්ජනයක් එල්ල විය හැකියි.

මේ සෙනසුරාදා පෘථිවිය පසු කර යන ග්‍රාහක පාෂාණය අපට මුලින් ම හඳුනා ගැනීමට හැකි වූයේ අප්‍රේල් 6 වැනිදායි. එය සෑම පෘථිවි දින 650කට වරක් හිරු වටා යනවා. මෙය හඳුන්වා ඇත්තේ GT3 නම් පෘථිවි ආසන්න වස්තුවක් ලෙසයි. මෙය සාමාන්‍යයෙන් ගෙයක් තරම් විශාල පාෂණයක්. දුර දක්නයකින් බැලුවට පේන්නෙත් නැහැ. ඒත් ඉන් සිදුවිය හානිය ඉතා විශාලයි. මෙවැනි ග්‍රහකයක් තමා මීට වසර මිලියන 65කට පෙර පෘථිවියට කඩා වැටී ඩයිනෝසෝරයන් මිහිමතින් තුරන් කළේ. 

මේ සති අන්තය සුවිශේෂ එකක් වන්නේ ග්‍රහක කීපයක් ම පෘථිවිය පසුකර යන නිසයි. GT3 තරම් සමීපයට නාවත් තවත් ග්‍රහක දෙකක් මේ සමග ම පෘථිවිය පහුකර යනවා. GT3 හා සමාන ග්‍රහකයක් 10 වනදා බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් (BST)20.11ට අපේ චන්ද්‍රයාට වඩා තුන් ගුණයක් දුරින් පෘථිවිය පසු කර යනවා. 11 වැනිදා GB4 නම් අඩි 236ක් දිග දැවන්ත ග්‍රහකය BST 01.00ට පෘථිවිය පසු කර ගෙන යනවා. ඒ සැතැපුම් මිලියන තුනක් දුරින්. ඉන්පසු පැය 22.30ට ග්‍රහකය පෘථිවිය පසු කර ගෙන යනවා. GT1 නම් අඩි 13ක් දිග ග්‍රහකය BST 32.16ට පෘථිවිය පසු කර ගෙන යනවා. ඒ නිසා මේ සති අන්තය ලොව පුරා තාරකා විද්‍යාඥයන්ට කාර්ය බහුල එකක් වේවි. ඒ එකක්වත් පෘථිවිය අසලින් නොගියාට තාරකා විද්‍යාඥයන් ග්‍රහක නිරීක්ෂණයට මෙය මහඟු අවස්ථාවක් වෙනවා නිසැකයි. 

දිගින් අඩි 450කට වැඩි ග්‍රහක ගැන තාරකාවිද්‍යාඥයන් සෙවිල්ලෙන්! 

පර්යේෂකයන් සොයාගෙන තියෙනවා, ග්‍රහක බොහොමයක් කිලෝමීටරයක් ප්‍රමාණයේ ඒවා බව. එහෙත් නාසා ආයතනය ඇතුළු නිරීක්ෂකයන් සෙවිල්ලෙන් ඉන්නේ මීටර 14කට (අඩි 450කට) වඩා වැඩි ග්‍රහක ගැනයි. ඒවායින් තමයි ලොකුම හානියක් සිදු විය හැක්කේ. 

මෙසේ පෘථිවියේ ව්‍යසනයක් ඇති කරමින් හැපෙන ග්‍රහකයක් ඇවිත් ගැටෙන මොහ‍ොත ගැන අනාවැකි කියන්න කාවත් බැහැ. දැන් විද්‍යාඥයන් ඉදිරියේ ඇති ලොකුම අභියෝගය එයයි. ‘ඉක්මනින් හෝ පමාවී හෝ එසේ ග්‍රහකයක් ඇවිත් වදින්න ඉඩ තියෙනවා.’ යුරෝපීය අභ්‍යවකාශ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ රෝල්ෆ් ඩෙන්සින් කියනවා. ‘සමහර විට අපේජීවත කාලය තුළ දී එය සිදුනොවෙන්නත් පුලුවන්. ඒත් ග්‍රහකයක් ඇවිත් හැපීමේ අවදානම අප ඉදිරියේ තියෙන්නක්. එහෙම හැපෙන්න ආවොත්, ඒකට උත්තරයක් දෙන්න අපට තවමත් හැකියාවක් ‍‍නැහැ.’ ඔහු වැඩි දුරටත් කියනවා. 

ග්‍රහකයක් පෘථිවියට කඩා වැටෙන අයුරු සිත්තරකු දකින හැටි

මොනවද මේ ග්‍රහක කියන්නේ? උල්කාපාත හා ග්‍රහක අතර වෙනස කුමක්ද? 

පෘථිවිය මතට කඩා වැටීමට ඉඩ ඇති දේ රැසක් මෑත අභ්‍යවකාශයේ තියෙනවා. ඒවා නම් ග්‍රහක (asteroid), ධූමකේතු (comet), උල්කාව (meteor), උල්කාශ්ම (meteorite), උල්කාංශු හෙවත් උල්කාභ (meteoroid) ආදියයි. 

ග්‍රහක කියන්නේ වසර බිලියන 4.6කට පෙර සෞග්‍රහමණ්ඩලය සෑදෙද්දී ඇති වූ ගැටීම්වලින් වෙන්වී ගිය විශාල පාෂණ කුට්ටිවලටයි. ඒවා ග්‍රහාංශු, ක්ෂුද්‍ර ග්‍රහයන් කියාද හැඳින්වෙනවා. ඒවා වැඩි කොටසක් වළල්ලක ආකාරයෙන් හිරු වටා යමින් තියෙනවා. ග්‍රහක වළල්ල ලෙස හැඳින්වෙන එය පිහිටා ඇත්තේ අඟහරු හා බෘහස්පතී අතරයි. 

ධූමකේතු හෙවත් වල්ගා තරු කියන්නේ හිමෙන් වැසුණු මීතෙන් හා වෙනත් අඩංගු පාෂාණ කුට්ටියක්. එය සූර්යයා දෙසට හැරී ඇති විට ඒ පාෂාණ හිස මතින් දිගට ඈතට ඇදෙන මීතේන් ඇතුළු සංයෝග හා ධූලි අංශු හා ග්‍රහක කැබලි වල්ගයක් මෙන් ඈතට දිස් වෙනවා. ඒ නිසයි ඒවාට ධූමකේතු කියා කියන්නේ. අභ්‍යවකාශයේ ඇති ඕනෑම උල්කාභයක් පෘථිවි ආකර්ෂණය නිසා පෘථිවිය දෙසට ඇදී ආවොත් ඒවා උල්කා හෝ උල්කාශ්ම හෝ උල්කාපාත ලෙස හැඳින්වෙනවා. 

මේ උල්කා, උල්කාභ, උල්කාපාත සියල්ල ම ඇතිවන්නේ ග්‍රහකවලින් හා ධූමකේතුවලින්. නිදසුනක් වශයෙන් පෘථිවිය මේ ධූමකේතුවක දිගු වල්ගයක් තුළින් ගියහොත් එහි ඇති සුන්බුන්වලින් වැඩි හරියක් පෘථිවි වායුගෝලය හරහා යද්දී පිළිස්සෙනවා. ඒවා තමා අපට උල්කාපාත වර්ෂාවක් ලෙස ප‍ෙනෙන්නේ. 

- පර්සි ජයමාන්න 


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments