HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපි ඉන්නේ අන්ධයන්ගේ රාජ්‍යයකද? මෝඩයන්ගේ රාජ්‍යයකද?

අද මෝඩයන්ගේ දිනයයි. ඒ නිසා කතා කරන්න යන්නේ බොරුකාරයන් ගැනයි. ඇත්ත දකින අය ඉතා ටිකයි. බොරුව තමයි හැම තැනම රජ කරන්නේ. නවීන සන්නිවේදනය කියන්නේත් බොරුවට වැඩි තැනක් දෙන එකක්. දැන්වීම්වල දී මේ බොරුව හඳුන්වන්නේ ‘නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක්’ කියලයි. අනුග්‍රාහකයන් රවටා තම භාණ්ඩය අළෙවි කර ගන්න තර‍ඟයට බොරු කියන හැටි දැක ගන්න ටෙලිවිශන තිරයෙන් පුලුවන්. මේවා දකින කොට මට සැකයක් ඇති වෙනවා අපි ඉන්නේ අන්ධයන්ගේ රාජ්‍යයකද? මෝඩයන්ගේ රාජ්‍යයකද? කියා. 

සමාජයේත් දේශපාලනයේත් ඇත්ත බොරුව බේරා ගන්න බැරුව මේ දවස්වල බොහෝම දෙනෙක් දඟලන බව පේනවා. පරිසරවේදීන් පරිසර විනාශය ගැන උද්ඝෝෂණය කරනවා. රජයේ මැති ඇමතිවරුන් සංවර්ධනය ගැන කියනවා. ඔවුන් එකිනෙකාට අවලාද නඟා ගන්නවා බොරු කියනවා කියලා. ඒ අතර ඉඳහිට නමක් දෙකක් කියැවෙනවා. ඇත්ත කෙරෙහි රජයේ හා පාලකයන්ගේ ඇස් ඇරවන්න ගත් උත්සාහයන් කීපයක් ම පසුගියදා අසන්නට ලැබුණා. ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි එයින් එක්කෙනෙක්. වඳ වී ගොස් ඇතැයි වසර සිය ගණනක් තිස්සේ සලකනු ලැබූ පඬු කරඳ ගස ගැන ඇය ගත් පියවර ඉන් එකක්. ඊළඟට ඇය මීගමුව කලපුවේ රොන් මඬ ඉවත් කිරීමේ දී කඬ‍ොලාන පද්ධතියට වන හානිය ගැන බලධාරීන් ඇස් ඇරවන්න උත්සාහ කළා. 

ශ්‍රී ලංකාවේ වටේ මුහුදේ වෙසෙන තල්මසුන් රැක ගන්න පර්යේෂණය කරන, ඒ ගැන හඬක් නඟන ආචාර්ය ආශා ඩි වොස් තවත් එවැන්නියක්. මෙරට වරාය නගරය නිසා අපේ නිල් තල්මසුන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා ආශාගේ හඬට කන්දීම වැදගත්. 

ඒ වගේ ම පසුගියදා යළිත් වරක් සිංහරාජය ගැන ඇස් ඇරවන්න කතා කළ භාග්‍යා දැරිය තවත් කෙනෙක්. ඒ හඬවල් නිහඬ කරන්න පාලකයන් හා බලවතුන් උත්සාහ කරනවා. ඒ ඇත්ත දකින්න ඇති අකමැත්ත නිසයි. මේ දේවානිලා, භාග්‍යලා, ආශලා ඇත්ත පෙන්වන්න කරන මේ උත්සාහසය දකින මට අවුරුදු සියයකට වඩා පැරණි කතාවක් මතක් වුණා. ඒ එච්. ජී. වේල්ස්ගේ ‘අන්ධයන්ගේ රාජ්‍යය’ නමි කෙටිකතාවයි. 

අන්ධයන්ගේ රාජ්‍යයට ගිය ඇස් ඇත්තාගේ ඇස් පිරික්සන අයුරු

එච්. ජී. වේල්ස්ගේ අන්ධයන්ගේ රාජ්‍යය සහ තවත් කතා 

එච්.ජී. වේල්ස් කියන ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි ලේඛකයා මීට වසර 125කට පෙර එනම් 1904 දී එංගලන්තයේ ස්ට්‍රෑන්ඩ් සඟරාවට අපූරු කෙටිකතාවක් ලිව්වා. එහි නම ‘ද කන්ට්‍රි ඔෆ් ද බ්ලයින්ඩ්’ (The Country of the Blind) ‘අන්ධයන්ගේ රාජ්‍යය’ යන අරුත ඇති ඉන් කියැවුණේ සහමුලින්ම අන්ධයන් වූ ජනතාවක් පමණක් විසූ රටකට ගිය දෑස් පෙනෙන අයකු පිළිබඳ කතාවක්. එය 1911 දී කෙටිකතා එකතුවක් ලෙස ‘අන්ධයන්ගේ රාජ්‍යය සහ තවත් කතා’ (The Country of the Blind and Other Stories) යනුවෙන් මුද්‍රණයෙන් නිකුත් වුණා. 

අන්ධයන්ගේ රාජ්‍යය කතාවේ සාරාංශය 

නූනේ (Nuñez) කියන කඳු නඟින්නා එක්වදෝරයේ නොඉඳුල් කඳුශිඛරයක් වූ පැරස්කෝටොපෙල් (කල්පිත නමක්) නම් කන්ද නඟින්න ගියා. කඳු මුදුන තරණය කළ ඔහු හදිසියේ ම කඳුමුදුනේ අනෙක් පැත්තේ බැවුමෙන් ලිස්සා පහළට ඇද වැටුණා. කන්දේ ඔහු ඇද වැටුණු කන්දේ අඳුරු පැත්තේ හිමෙන් වැසුණු තද බෑවුමක් තිබුණු නිසා කිසිවක් පෙනුණේ නෑ. අවසානයේ දී ඔහු ඇද වැටුණේ නිම්නයකටයි. එය හැම පැත්තකින් ම තද බෑවුම්වලින් වටවුණු සෙසු ලෝකයෙන් ම සහමුලින් ම හුදෙකලා වුණු තැනක්. නූනේ නොදැනුවත්ව ම ගොස් තිබුණේ ‘අන්ධ රාජ්‍යය’කටයි. එහි විසූ ජනයා සහමුලින් ම අන්ධ අය වුණා. 

මෙය කලෙකට පෙර, කුරිරු ස්පාඤ්ඤ පාලකයන්ගෙන් මිදී පලා යන්නන්ට ක්ෂේම භූමියක් වුණා. ඔවුන් එහි සුවසේ ජීවත්වුණා. පසුව හදිසියේ ඇති වූ භූමිකපාවකින් මේ නිම්නයේ වූ ගම්මානය සෙසු ලෝකයාගෙන් සම්පූර්ණයෙන් ම වෙන්වුණා. වසර ගණනාවක් තිස්සේ ම බාහිර ලෝකයෙක් කිසිම අමුත්තකු එහි ආවේ නැහැ. ඔවුන් කිසිම හිරිහැරයක් නැතිව පරම්පරා ගාණක් අනාදිමත් කාලයක් තිස්සේ එහි ජීවත් වුණා. මේ විදියට සමෘද්ධිමත්ව ජීවත්වුවත් ඔවුනට අනාදිමත් කාලයකට හැදුණු එක්තරා රෝගයක් නිසා ඉපදුණු ළමයින් සියලු ම දෙනා උපන්නේ අන්ධයන් ලෙසයි. මේ අන්ධ භාවය පරම්පරා ගාණක් පැවතීම නිසා එය ගැටලුවක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. ඇස් පෙනුනු අන්තිම තැනැත්තාත් මියගිය පසු, අනෙක් ඉන්ද්‍රියන් සංවේදීව පැවතීම නිසා, ඔවුන්ට එය අඩුපාඩුවක් ලෙස දැනුණේ නැහැ. ඔවුන් ඇති වූ තත්වයට අනුගතව හොඳින් ජීවත්වුණා. ඇස් පෙනීම යන්න ඔවුන්ගේ ශබ්දකෝෂයෙන් මැකී ගියා. 

එච්.ජී. වේල්ස්ගේ ‘ද කන්ට්‍රි ඔෆ් ද බ්ලයින්ඩ්’ 
(The Country of the Blind) පොත

නූනේ අන්තිමට පාත් වූයේ ඒ ගම්මානයටයි. එහි ගිය ගමන් ම ඔහුට එහි අමුත්තක් ඇති බව පෙනුණා. එහි නිවාසවල ජනේල තිබුණේ නැහැ. මංමාවත් ජාලයක් තිබුණු අතර ඒවායේ මායිම් සඳහා වැටි ගල් දමා තිබුණා. එහි ජීවත්වන කිසිවකුටවත් දෑස් නොපෙනන බව දුටු ඔහු ‘අන්ධයන්ගේ රාජ්‍යයේ දී එකැස් මිනිසාත් රජෙක්’ යන පිරුළ මතක් වුණා. ඔහු හිතුවා ඔවුන්ට පෙනීමේ අගය ගැන කියා දී ඔවුන්ව පාලනය කළ හැකිය කියා. ඔහු පෙනීම හා පෙනීම ලබා දෙන ඉන්ද්‍රිය ගැන කීවත් ඔවුන්ට ඒ ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් ඔහු කී කිසිවක් පිළිගත්තේ නැහැ. 

ඒ නිසා ම නූනේ කෝපයට පත් වුණා. පිරිස ඔහුව සන්සුන් කරන්න උත්සාහ කළා. අන්තිමේ දී ඔහු සන්සුන් වුණා. එතැන් ගැලවී යා හැකි විධියක් නැති නිසා ඔවුන් කියන විදියකට ජීවත් වෙන්නට ඔහු තීරණය කළා. 

ඔවුන් නූනේව යාකොබ් නම් ගොවියකු ළඟ වැඩට යැව්වා. ඔහු යාකෙබ්ගේ බාල දියනිය වූ මදීනා සාරෝටේ කෙරෙහි සිතක් ඇති කර ගත්තා. ඔවුන් ඉක්මනින් පෙම්වතුන් බවට පත් වුණා. මදීනාගේ විශ්වාසය දිනා ගත් පසු ඇයට පෙනීමේ ඇති වැදගත්කම කියා දෙන්න හෙමිහිට උත්සාහ කළා. ඒත් ඇය ඔහු කී දෙය ඔහුගේ හිතළුවක් කියා ඉවත දැම්මා. නූනේ ඇය හා විවාහ වීමට ඉල්ලූ විට වැඩිහිටියන් කීවේ, පෙනීමක් ගැන කියන විකාර කතාව නිසා ඔහු අසනීපයකින් පෙළෙතැයි කියා ගම්මානයේ වෛද්‍යවරයාට පෙන්නුවා. වෛද්‍යවරයා කීවේ ඔහුගේ විකා කතාවලට හේතුව මේ පේනවා යැයි කියන ‘ඇස් දෙක’ නිසා එය උගුල්ලා ඉවත් කිරීමට තීරණය කළා. මදීනා කෙරෙහි ඇති ප්‍රේමය නිසා ඔහු ඊට කැමති වුණා. පසුවදා ඒ සැත්කම කිරීමට එකඟ වුණා. 

පසුවදා හිරු නැගෙන විට ගම්මානයේ හැමෝම නින්දේ පසුවෙද්දී නූනේ පාන්දරින් ම හිස් අතින් ම කන්ද නඟින්න පටන් ගත්තා. එසේ නැග්ගේ එතැනින් ගැලවී යාමට මඟක් සොයන්නයි. 

මෙහි මුල් කතාවේ දී, නූනේ දවසක් පුරා, කළුවර වැටෙනකම් ඉතා අමාරුවෙන් ඒ කඳු වැටිය නැග්ගා. ඊට පස්සේ ඇති වූ අති විඩාව නිවන්න ටිකක් නැවතුණා. ඔහු ඇඟපත තුවාල හා සීරීම්වලින් පිරී තිබුණා. ඒත් ඒ නිම්නයෙන් ගැලවීමට ලැබීම ගැන ඔහු සතුටු වුණා. පසුව 1938 දී සම්සෙට්මෝම් මේ කතාවට සංශෝධනයක් එක් කළා. ඒ සංශෝධනයට අනුව පහළ ගම්මානයේ සිටිය දී ඔහු දුටුවා, ඉහළ කඳුමුදුනෙහි ඇති දැවැන්ත පර්වත කුට්ටියක් නාය යාමට ඉතා ආසන්න ඇති බව. ඔහු ඒ බව ගමේ වැඩිහිටියන්ට කීවා. ඒත් ඔහු දුටුවා යැයි කියන දෙය ඔවුන් විශ්වාස කළේ නැහැ. ඒ පර්වතය නාය විත් ගම්මානය විනාශ වෙන්න ඔන්න මෙන්න කියා නූනේ ඒ නිම්නයෙන් ගැලවී පැන ගත්තා. ඒ නිකම් නොවෙයි මදීනාත් සමගයි. 

අන්ධයන්ගේ දූපතට ගිය එකැස් මිනිසා 

මේ කතාව 1939 දී. ඒ කතාවට සමාන තවත් චීන ජනකතාවක් තියෙනවා. ඒ කතාව එච්. ජී. වේල්ස් ලේඛකයා දැන සිටියා ද දන්නේ නැහැ. ඒ කතාවේ හැටියට එක් ඇසක් ඇති මිනිහෙක් අන්ධයන් පමණක් ජීවත් වූ දූපතකට ගියා. එහි දී ඔහු පෙනීමේ වැදගත්කම ඔවුන්ට කියා දෙන්න උත්සාහ කළා. ඔවුන් ඒ කිසිවක් පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සිතුවේ ඔහුගේ මොළය විකාර වී අමුතු අමුතු දේ කියවන බවයි. ඒ නිසා ඔවුන් ඒ එකැස් මිනිසාගේ අල්ලා වෛද්‍ය මණ්ඩලයකට යොමු කළා. වෛද්‍ය මණඩලය ඔහුව හොඳින් පරීක්ෂා කළා. පරීක්ෂා කරල බලලා අන්තිමේදී තීරණය කළා ඔහුගේ නළල මත ‘ඇසක්’ යැයි ඔහු කියන අමුතු දෙයක් නිසා ඔහු රෝගී වී ඇති බව. ඔහු ඔවුනට වඩා වෙනස් විදියට හිතන්නේත් අමුතු දේ කියන්නේත් ඒ කොටස නිසා යැයි නිගමනය කළා. එහෙම කළා පමණක් නොව එකැස් මිනිසා අල්ලා ගෙන සැත්කමක් කර ඔහුගේ ඇස උගුල්ලා දැම්මා. ඊට පස්සේ ඔවුන් අතර ප්‍රශ්න ඇති වුණේ නැහැ. 

මේ කතාවෙන් කොයි කතාව දේවානිලට භාග්‍යාලට අදාළ වෙයි ද මම දන්නේ නෑ. හැබැයි ඇස් නොපෙනෙන අයගේ ඇස් පාදන්න ඔවුන් ගත් මහන්සිය ගැන නම් වෙනම කතාවක් ලියන්න වටිනවා. ඒ මුලින් කියූ කතා දෙකෙහි ඉන්නා අන්ධයන් මෙන් ඇත්ත දකින්නට අකමැති අය අපේ රටේත් සමාජයෙත් ඉන්නවා කියලයි මා හිතන්නේ. ඒ නිසා යම්හෙයකින් එහෙම ඉඳලා දේවානි වැනි ඇත්ත පෙන්වා දෙන අය නිහඬ කරන්න කවුරුන් හරි උත්සාහ කළොත් ඒ උත්සාහන් පරාජය කරන්න අප සැමදෙනාම එක්ව නැඟී සිටින්න ඕනෑ. ඒක අපේ වගකීමක් වගේම යුතුකමක්. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments