HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින් ගිය ගුවන් යානය පමා වූ හේතුව

නස්රුදින් ඇංජින් හතරක ගුවන්යානයකින් යමින් සිටියා. 

එක්වරම ගුවන් යානය පැදවූ කපිතන්ගේ හඬ ඇසුණා. ‘නෝනාවරුනි, මහත්වරුනි, මේ ඔබේ කපිතන් කතා කරන්නේ. හදිසියේ ම අපේ ඇංජින් හතරෙන් එකක් ක්‍රියා විරහිත වෙලා. ඒත් බය වෙන්න කාරියක් නෑ. අනිත් ඇංජින් තුන ම හොඳින් වැඩ කරනවා. ගමනාන්තයට යාම විනාඩි පහකින් පමා වෙනවා. ඒ පමාව ගැන අපි සමාව අයදිනවා.’ කපිතන් කීවා. 

මගීන් මඳක් නොසන්සුන් වුණා. නස්රුදින් ඉදිරියට ඇවිත් ඔවුන්ගෙන් සන්සුන් වන ලෙස ඉල්ලා සිටියා. 

‘අපට බයවෙන්නට දෙයක් නෑ කියලා අපේ කපිතන් කීවා. අනිත් ඇංජින් තුන හොඳින් වැඩ කරනවා. විනාඩි පහක් කියන්නේ ලොකු වෙලාවක් නෙවෙයි. ඒ නිසා සන්සුන් වෙන්න.’ නස්රුදින් කීවා. 

මගීන් සන්සුන් වුණා. 

තවත් ටික වේලාවකින් කපිතන් යළිත් කතා කළා. ‘නෝනාවරුනි, මහත්වරුනි, මේ ඔබේ කපිතන් කතා කරන්නේ. අපේ තවත් ඇංජින් එකක් ක්‍රියා විරහිත වුණා. ඒත් බය වෙන්න කාරියක් නෑ. අනිත් ඇංජින් දෙක ම හොඳින් වැඩ කරනවා. ඒත් ගමනාන්තයට යාම පැය බාගයකින් පමණ පමා වෙනවා. ඒ පමාව ගැන අපි සමාව අයදිනවා.’ කපිතන් කීවා. 

එවර මගීන් ටිකක් වැඩිපුර නොසන්සුන් වුණා. 

නස්රුදින් ඔවුන්ගෙන් යළිත් සන්සුන් වන ලෙස ඉල්ලා සිටියා. ‘පැය බාගයක පමාවක් කියන්නේ සුළු වෙලාවක් නේ. අපි කලබල නොවී ඉම්මු. බූරුවකු පිටේ යනවාට වඩා ඉක්මන් නේ.’ නස්රුදින් කීවා. 

මගීන් යළිත් සන්සුන් වුණා. 

නැවතත් ටික වේලාවකින් කපිතන් කට හඬ අවදි කළා. ‘නෝනාවරුනි, මහත්වරුනි, මේ ඔබේ කපිතන් කතා කරන්නේ. අපේ තවත් ඇංජින් එකක් ක්‍රියා විරහිත වුණා. ඒත් බය වෙන්න කාරියක් නෑ. ඉතිරි ඇංජින් එක හොඳින් වැඩ කරනවා. ඒත් ගමනාන්තයට යාම පැයකින් පමණ පමා වෙනවා. ඒ පමාව ගැන අපි සමාව අයදිනවා.’ කපිතන් කීවා. 

එවර නම් මගීන් දැඩි ලෙස නොසන්සුන් වුණා. නස්රුදින් මගීන්ගෙන් සන්සුන් වන ලෙස ඉල්ලා සිටියේ නැහැ. ඒ වෙනුවට ඔහු කීවේ මෙහෙම දෙයක්. ‘අපි ඔක්ක‍ොම එකතුවෙලා ප්‍රාර්ථනා කරමු, ඒ ඉතිරි ඇංජිම ක්‍රියාවිරහිත නොවේවා කියලා. නැත්නම් අපට ගමනාන්තයට යන්න වෙන්නේ නැහැ. අපට වෙන්නේ දිගට ම උඩට වෙලා ඉන්නයි.’

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments