HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ සිරුරේ සෛලවලට ප්‍රෝටීන තනන්න උගන්වන ‘එන්නතාචාර්යවරයා’!

කොවිඩ් -19 වයිරසය සඳහා ප්‍රතිශක්තිකරණය පිණිස නිපදවා ඇති කොවිෂීල්ඩ් එන්නත ගැන සටහනක් තබන්නට අප අදහස් කළේ ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇති නිසයි. මේ එන්නත නිසා කිසිවිටෙක කොවිඩ් -19 වයිරසය වැළ‍ඳනේනේ නැහැ. මේ නව එන්නත හැඳින්වෙන්නේ මෙසෙන්ජර් ආර්එන්ඒ එන්නත (Messenger RNA vaccine) කියායි. එය කෙටි කිරීමෙන් mRNA vaccine කියාත් හැඳින්වෙනවා. අද අපට එන්නත් කරන්නේ මේ විශේෂ වර්ගයට අයත් එකක්.

එන්නත් කරන අවස්ථාවක්.

මෙතෙක් කලක් යම් විෂ බීජයකට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇති කිරිමට කියා එන්නත් කරනු ලැබුවේ ඒ විෂ බීජයෙහි ම සැර බාලක කළ හෝ අක්‍රිය කළ ධූලකයක් ඇඟට ඇතුළු කිරීමයි. වසූරිය (smallpox) වැනි එන්නත්වලදී සිදු වූයේ එයයි. එවිට එම රෝගය සුළු වශයෙන් හෝ ශරීරය තුළ ඇති කොට එමගින් සිරුර තුළ ප්‍රතිශක්තිය ඇති කිරීමට සැලැස්වීමයි. අද ලබා දෙන mRNA එන්නත, එනම්, කොවිෂීල්ඩ් එන්නත, ඒ විධියේ එකක් නොවෙයි. මෙහිදී යොදා ගනු ලබන්නේ නව එන්නත් ක්‍රම වේදයක්. 

මේ mRNA එන්නත්වලින් කෙරෙන්නේ අපේ සිරුරේ ඇති සෛලවලට ඇතුළු වී ප්‍රෝටීනයක් හෝ ප්‍රෝටීන කොටසක් හෝ නිපදවන හැටි අපට ඉගැන්වීමයි. ඒ නිසයි මා මෙහි සිරස්තලයට ‘එන්නතාචාර්යවරයා’ කියා දැම්මේ. එසේ තනන ප්‍රෝටීන තමයි අපේ සිරුර තුළ ප්‍රතිශක්තිය ඇති කර ගැනීමට මග පාදන්නේ. ඒ ප්‍රතිශක්තිය ඇති කිරීමේ දී අපේ සිරුර ප්‍රතිදේහ නිපදවා, සැබෑ වෛරසය අපේ සිරුරට ඇතුළු වූ විගස ඉන් ඇති වන ආසාදනය වීම වැළැක්වීමට ක්‍රියා කරනවා. 

කොවිඩ්-19 mRNA එන්නත ක්‍රියා කරන්නේ මෙහෙමයි. 

මේ එන්නත් විශේෂය මගින් සිදුවන්නේ අපේ සෛලවලට ‘ස්පයික් ප්‍රෝටීන්’(spike protein) නම් හානිකර නොවන කොටසක් තැනීමට උපදෙස් දීමයි. කොවිඩ්-19 රෝගය ඇති කරන වෛරසය මතු පිටත් ඇත්තේ ස්පයික් ප්‍රෝටීනයක්. 

කොවිඩ්-19 mRNA එන්නත දෙනු ලබන්නේ බාහුවේ උඩ කොටසටයි. එහිදී ඒ එන්නත මගින් යැවෙනවා තොරතුරු හා උපදෙස් මාලාවක්. එය සිරුර තුළ ඇති ප්‍රතිශක්තිය නිපදවන සෛල තුළට ඇතුළු වූ පසු ඒ උපදෙස් හා තොරතුරු ලබා ගන්නා ඒ සෛල ‘ප්‍රෝටීන කොටසක්’ නිපදවනවා. මේ ප්‍රෝටීන කොටස නිපදවූ පසු සෛලය ඒ උපදෙස් ‍දෙන කොටස කඩා බිඳ දමා ඉවත් කරනවා. 

ඉන්පසු ඒ සෛලය අර ප්‍රෝටීන් කොටස එහි මතුපිටට ගෙනෙනවා. අපේ ප්‍රතිශක්ති පද්ධතිය හඳුනා ගන්නවා, ඒ ප්‍රෝටීන කොටස අපට අයිති නැති දෙයක් ලෙසට. හඳුනා ගෙන ඊට එරෙහිව ප්‍රතිශක්තිය නිපදවන්නට පටන් ගන්නවා. ඒ වගේ දෙයක් තමයි, කොවිඩ්-19 ආසාදනය වූ විටත් අපේ සිරුරේ ස්වාභාවිකවත් ඇති වන්නේ. 

මේ ක්‍රියාවලිය අවසානයේ දී අපේ සිරුර ඉගෙන ගන්නවා, අනාගතයේ දී ආසාදනයක් ඇති වුවහොත් ආරක්ෂා වෙන හැටි. මේ mRNA එන්නතෙහි ඇති විශේෂ වාසිය වන්නේ මේ එන්නත ලබා ගන්නා අයට කොවිඩ්-19 ආසාදනය වී රෝගී තත්වයට පත්වීමේ අවදානමක් නැතිව ඉන් මිදී සිටීමට හැකි වීම‍‍යි. 

කොවිඩ්-19 සඳහා දෙන mRNA එන්නත අපට අලුත් වුනත් පර්යේෂකයන්ට අලුත් දෙයක් නෙවෙයි.

පර්යේෂකයන් මේ mRNA එන්නත් ගැන පර්යේෂණ කරන්නට පටන් අරන් මේ වන විට දශක කීපයක් වෙනවා. මේ පිළිබඳව උනන්දුව වැඩි වුණේ මේ පර්යේෂණාගාරවල ඇති, පහසුවෙන් ම ලබා ගත හැකි ද්‍රව්‍යවලින් මේවා තැනිය හැකි වීම නිසයි. ඒ නිසා මේ ක්‍රියාවලිය ප්‍රමිතිකරණයකින් යුතුව සාම්ප්‍රදායික එන්නත් නිපදවන ක්‍රමවේදයට වඩා වැඩි වේගෙකින් මේ ක්‍රමයට නව එන්නත් ඇති කළ හැකිවි තියෙනවා. 

mRNA එන්නත දැනටමත් වෛරස ගණනාවකට අත්හදා බලා තියෙනවා. ප්‍රතිශ්‍යා වෛරසය පමණක් නොව. මදුරුවන්ගෙන් බෝ වන ශිකා (Zika) වෛරසය, සයිටොමෙගාලෝ (CMV) වෛරසය ආදිය ඒ අතර වෙනවා. කොවිඩ්-19 රෝග තත්වයට බලපාන වෛරසය පිළිබඳ තොරතුරු ලැබුණු විගසම ඉතා ඉක්මනින් ම විද්‍යාඥයන්ට හැකි වුණා, ඒ වෛරසයට ආවේණික වූ ‘ස්පයික් ප්‍රෝටීන්’වලට මුහුණ දිය හැකි ප්‍රෝටීනයක් නිපදවීම සඳහා සෛලවලට උපදෙස් දීමට හැකි mRNA එන්නතක් නිර්මාණය කිරීමට. 

විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා, අනාගතයේ දී mRNA එන්නත් නිපදවීමේ තාක්ෂණය යොදා ගෙන එන්නත් මගින් වැළැක්විය හැකි බහුවිධ රෝග ගණනාවක‍ට එරෙහිව භාවිත කළ හැකි එක එන්නතක් නිපදවන්නට. මෙසේ එන්නත් නිපවනවා හැරෙන්නට විද්‍යාඥයන් පිළිකා රෝගවලට ප්‍රතිකාර කරන්නට මේ mRNA ක්‍රමවේදය යොදා ගැනීම ගැන පර්යේෂණ කරමින් තියෙනවා. mRNA ක්‍රමවේදය යොදා ගෙන පිළිකාවට හේතු වන සෛල ඉලක්ක කර ගෙන ප්‍රතිශක්ති පද්ධතිය මෙහෙය විය හැකි ප්‍රතිකාරක ඔසුවක් නිපදවන්නට ඔවුන් දැන් අවධානය යොමු කර තියෙනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments