HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සැමියා සොයා ආ තරුණ බිරිඳගේ භූතයා

තරුණ බිරිඳක් රෝගීව මියැදෙමින් සිටියා. ‘මං ඔයාට ගොඩක් ආදරෙයි!’ බිරිඳ සැමියාට කීවා. ‘මට ඔයාව අත ඇරලා යන්න බැහැ. ඒ හින්දා මාව අමතක කරලා වෙන ගෑනු ළඟට යන්න එපා! එහෙම ගියොත් මා භූතයෙක් වෙලා ඇවිත් ඔයාට ඉවරයක් නැති කරදර කරනවා.’ 

මෙහෙම කියලා ඒ තරුණ බිරිඳ මිය ගියා. සැමියා ඇගේ අන්තිම ඉල්ලීමට මුල් තුන්මාසය තිස්සේ ම ගරු කළා. ඊට පස්සේ එයාට තවත් කාන්තාවක් හමුවුණා. ඔහු ඇයට ආදරය කරන්න පටන් ගත්තා. අන්තිමේ දී ඒ දෙන්නා විවාහ ගිවිස ගත්තා. 

විවාහ ගිවිස ගත්තාට පස්සෙ කලින් කී විදියට ම ඔහු‍ගේ මියගිය තරුණ බිරිඳගේ භූතයා ශැමදාම රෑට ඔහු සොයා එන්න පටන් ගත්තා. ඇවිත් ඔහුට දෝෂාරෝපණය කළා. ඔහු පොරොන්දුව කඩ කළ බවට චෝදනා කළා. භූතයා ඥානවන්තයෙක් බව පෙනුනා. තමා විවාහ ගිවිසගත් බිරිඳ සමඟ කළ කී හැම දෙයක් ම කිසිම අඩුවක් නැතුව කියන්නට තරම් භූතයා සමත්වීම ගැන ඔහු පුදුම වුණා. ඒ තරමට ම ඔහු බියට පත් වුණා. 

ඔහු ඇයට තෑග්ගක් දුන් හැම විට ම භූතයා ඒ ගැනත් ඉතා පැහැදිලි විස්තරයක් කළා. ඒ විතරක් නෙමෙයි තමා හා ඇය අතර හුවමාරු වූ දෙබස් ඒ අයුරින් ම අකුරක් නෑර කියන්න පවා භූතයා සමත් වුණා. මෙය ඔහුගේ හිත කෙතරම් කැලඹුවාද යත් ඔහුට රාත්‍රියට නින්ද ගියේත් නැහැ. 

අන්තිමේ දී ඔහුට මිතුරකු කීවා, මේ ගැන ඒ ගමට කිට්ටුව විසූ සෙන් ගුරුතුමකු හමු වී උපදෙස් ගන්න කියා. භූතයා නිසා ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති කර ගෙන සිටි ඔහු අන්තිමේ දී ඒ සෙන් ගුරුතුමා හමුවීමට ගියා. තමාගේ ඇබැද්දිය ගැන කියා සහනයක් පැතුවා. 

‘ඔබේ කලින් බිරිඳ භූතයකු වෙලා! ඇය ඔබ කරන කියන හැම දෙයක් ගැන ම දන්නවා!’ යැයි කියූ සෙන් ගුරුතුමා, මෙහෙමත් කිව්වා. ‘ඔබ කරන කියන හැම දෙයක් ගැන ම එයා දන්නවා. ඔබ ඔබේ ආදරවන්තියට දෙන තෑගි ගැනත් එයා දන්නවා! ඇය හරිම ඥානවන්ත භූතයෙක් වෙන්න ඇති. එවැනි භූතයකුගේ හැකියාව අගය කරන්න ඔබ පුරුදු වෙන්න ඕනෑ. අනික් දවසේ එයා ආවා ම කතාවට අල්ලා ගන්න. කියන්න ඇය හැම දෙයක් ගැන දන්නා නිසා ඔබට කිසිවක් ඇයගෙන් සැඟවීමට නොහැකි බව. ඒ වගේ ම කියන්න ඔබේ එක ප්‍රශ්නයකට, හරි උත්තරේ දෙන්න පුලුවන් නම් ඔබ විවාහ ගිවිසුම කඩා දමා මුළු ජීවිත කාලය ම විවාහ නොවී ඉන්නා බවට පොරොන්දු වෙන්න නම් කියලා’. 

‘මොකක්ද මං එයාගෙන් අහන්න ඕනෑ ප්‍රශ්නය?’ ඔහු ගුරුතුමාගෙන් ඇහුවා. 

සෙන් ගුරුතුමා මෙහෙම කීවා. ‘ගන්න, ඔබේ අත පිරෙන්න ලොකු සොයා බෝංචි අහුරක්. අහන්න ඇයගෙන් ඇය හැම දෙයක් ම දන්න හින්දා, මේකත් දන්නවා ඇති නෙ, මෙතැන බෝංචි ඇට කීයක් තියෙනවද කියලා. එයාට ඒකට උත්තර දෙන්න බැරිවුණොත් ඒක තනිකර ම ඔබේ හිතේ මවා ගත්තු දෙයක්. ඒ භූතයා ආයිත් ඔබට කරදර කරන එකක් නැහැ.

’ ඊළඟ රාත්‍රියේදිත් භූතයා ඔහු සොයා ආවා. ඔහු ගුරුතුමා කී විදියට කීවා, ‘ඇය හැම දෙයක් ගැන ම දන්නා බව.’ 

‘ඇත්තෙන් ම ඔව්! ඔබ අද සෙන් ගුරුතුමා හමුවූ බවත් මං දන්නවා’ භූතයා කීවා. 

‘ඔය තරම් දේ දන්නවා නම් මගේ මේ අතේ තියෙන ‍සෝයා බෝචි අහුරේ තියෙන බෝංචි ඇට ගණන හරියට ම කියන්න’ ඔහු ඉල්ලා සිටියා. ඒත් ඒකට උත්තර දෙන්න තවදුරටත් භූතයෙක් හිටියේ නැහැ. 

 (පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග්‍රන්ථයෙනි.)

Post a Comment

0 Comments