මේ පර්යේෂණය හා අධ්‍යයනය කර ඇත්තේ තෝකියෝ විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ මහාචාර්ය කුනුයෝෂී සකායි (Kuniyoshi Sakai) ප්‍රමුඛ පිරිසක් විසින්. මේ අධ්‍යයනය සඳහා ඔවුන් 18ත් 29ත් අතර 48 දෙනෙකුගෙන් යුත් තරුණ කණ්ඩායමක් මේ බඳවා ගත්තා. ඔවුන් කුඩා කණ්ඩායම් තුනකට බෙදනු ලැබුවා. එහිදී මතක හැකියාව, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ඩිජිටල් හා ඇනලෝග් මාධ්‍ය අනුව ක්‍රියාත්මක වන ආකාරය වැනි කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කෙරුණා.
ඊට සහභාගිවූ සෑම අයකුටම කියවන්නට දෙනු ලැබුවා, කල්පිත චරිත කීපයක් ඉදිරියේ දී තමන් කරන්නට අදහස් කරන දේ හා සැලසුම් ගැන කරන කතාබහක්. ඒ වගේම, විවිධ පුද්ගල හමුවීම් 14ක්, පන්ති වෙලාවල්, පැවරුම්, ඒවා නිම කර දිය යුතු අවසන් දින වකවානු ආදියත් ඊට ඇතුළත් වුණා,
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයට පැවරුණේ ඒ තොරතුරු තමන්ට ලැබෙන එක් මාධ්‍යයක් මගින් වාර්තා කර ගැනීමයි. ඒ සඳහා ඔවුනට කඩදාසියක් හා පෑනක් හෝ පැන්සලක්, ස්ටයිලස් එකක් සමග ටැබ්ලට් එකක්, ස්පර්ශයෙන් භාවිත කළ හැකි අතුරුමුණතක් සහිත ස්මාට් ෆෝනයක් ලැබුණා. ඒ මාධ්‍ය එකක් තෝරාගෙන ඒ මගින් ඒ තොරතුරු වාර්තා කර ගන්නා ලෙසට ඔවුනට උපදෙස් ලැබුණා. ඒ දත්ත හා තොරතුරු ආදිය මතක තබා ගැනීමට ඔවුන්ට කීවේ නැහැ.
පැයකට පසු, ඔවුන්ට විවේකයක් දෙනු ලැබුවා. ඔවුන් වාර්තා කළ දෙයට කොහෙත් ම සම්බන්ධයක් නැති, ඒ ගැන, එහි දින වකවානු ආදිය ගැන තිබූ අවධානය වෙනස් කරන ආකාරයේ කටයුත්තකට ඔවුන්ව යොමු කෙරුණා. එයින් පසු ඔවුන් ඇම්ආර්අයි (MRI) ස්කෑන් යන්ත්‍රයකට ඇතුළත් කෙරුණා. ඔවුන් MRI යන්ත්‍රයේ පරීක්ෂාවට ලක්ව සිටියදී, ආරම්භයේ දී කියවූ වැඩසටහනට අදාළ ව ප්‍රශ්න කීපයක් අසනු ලැබුවා. ඒ කාලය තුළ MRI යන්ත්‍රය මගින් ඔවුන්ගේ මොළය ස්කෑන් කෙරුණා.
මේ පර්යේෂණයේ දී ඒ කණ්ඩායමට පෙනී ගියා, පෑනත් කඩදාසියත් පාවිච්චි කළ අය ඒ ක්‍රියාකාරී සැලැස්ම සටහන් කරන්නට මිනිත්තු 11ක් ගත් අතර ටැබ්ලට් එක පාවිච්චි කළ මිනිත්තු 14කින් ද ස්පර්ශ තිරය සහිත ස්මාට් ෆෝනය පාවිච්චි කළ අය එය මිනිත්තු 16කින් ද එය නිමා කළ බව.
එදිනෙදා ජීවිතයේ දී මේ උපකරණ නිතර පාවිච්චි කරන, ඇනලොග් භාවිත කළ අය පවා දත්ත ඇතුලු කිරීමේ දී මන්දගාමී බවක් පෙන්නුුම් කළා. එයට හේතුව ඒ කරුණු ඇතුළත් කිරීමට පෙර ඔහුගේ මොළය එය තේරුම් ගැනීමට යම් කාලයක් ගත කිරීමයි.
පරීක්ෂණයේ දී ප්‍රශ්න ඇසීම සිදුකළ අවස්ථාවේ දී පවා කඩදාසිය හා පෑන පාවිච්චි කළ අය අනිත් අයට වඩා ඉක්මනින් පිළිතුරු දුන් බව පැහැදිලි වුණා.
කෙසේ වෙතත්, පර්යේෂණ කණ්ඩායම කීවේ කඩදාසිය හා පෑන පාවිච්චි කළ අයගේ මොළයේ වැඩි සක්‍රියතාවක්, අසන ලද ප්‍රශ්න අනුව පෙන්නුම් කළ බවයි. ඒ වැඩසටහන ගැන ප්‍රශ්න අසද්දී මේ බව වඩාත් කැපී පෙනුනා. විශේෂයෙන් ම මේ වෙනස් කම් ඇති වූයේ, භාෂාව, සිතින් මවා ගැනීම, මතකය හා විමර්ශනය ආදියට අදාළ ඔවුන්ගේ මොළයේ කොටසේයි.
පර්යේෂකයන් කියන්නේ විශේෂයෙන්ම කඩදාසිය හා පෑන පාවිච්චි කළ අයගේ මොළයෙහි හිපොකැමපසයෙහි ක්‍රියාකාරිත්වය වැඩියෙන් පෙනුනු බවත්, එයින් පැහැදිලි වුණේ කඩදාසිය හා පෑන පාවිච්චි කළ අයට, අනිත් අයට වඩා කරුණු ගබඩා කර ගැනීමටත්, ඒවා ඉක්මනින් සොයා ගැනීමටත්, හැකියාවක් මොළයේම වර්ධනය වූ බවත් සනාථ වුණු බවයි.
‘ඩිජිටල් මෙවලම්වල දී යමක් සෙවීමේ දී සාමාන්‍ය වෙබ් පිටුවක වාගේ එකම ක්‍රමයකට ඉහල පහළ යාමක් තමයි සිදු වන්නේ. ඒත් ඔබ දුටු මුද්‍රිත පොතක පිටුවක් මතකයට නැඟුවොත් එහි ඔබට අවශ්‍ය තැනට මතකයෙන් එසැණෙන් යා හැකියි.’ මහාචාර්ය සකායි කියනවා.
ඒ වගේ ම පර්යේෂකයන් කියන්නේ, ඩිජිටල් ක්‍රමයට වාර්තා කරන අයටත් මේ අතින් යම් වර්ධනයක් ලබා ගත හැකි මඟක් මේ පර්යේෂණයෙන් ඒත්තු ගිය බවයි. ඩිජිටල් ක්‍රමයට තබා ගන්නා සටහන්වල, වර්ණ යෙදීමෙන්, යටින් ඉරි ඇඳීමෙන්, යම් යම් සලකුණු යෙදීමෙන්, දත්ත ඇතුළත් කරද්දී ඒවා මුමුණා කීමේ පුරුද්දක් ඇති කර ගැනීමෙන්, ඒවා නැවත සිහිපත් කර ගැනීම වඩාත් ඉක්මන් කර ගත හැකියයි ඔවුන් කියනවා.
මේ අධ්‍යයනයෙන් පැහැදිලි වූ තවත් වැදගත් කරුණක් වන්නේ ඉගෙනීමේ දී හා මතක තබා ගැනීමේ දී කඩදාසියත් පෑනත් කරන මෙහෙය වෙනත් නිර්මාණ කටයුතුවලදීත් ඒ අයුරින් ම ඉටු කර දෙන බවයි.
‘යමකුගේ සිතෙහි හොඳින් ධාරණය කර ගන්නා දේවල් ක්‍රමවත්ව තැන්පත් කෙරුණොත් එය අවශ්‍ය තැන්වලදී තැනට සුදුසු පරිදි මතකයට එන බැවින් එය ඔහුගේ නිර්මාණශීලිත්වයටත් ඵලදායී මෙහෙයක් ඉටු කරනවා නිසැකයි. ඒ නිසා චිත්‍ර කලාවේදීත්, සංගීත සංයෝජනයේ දීත් වෙනත් නිර්මාණශීලී කටයුත්තක දී වුවත් කඩදාසිය භාවිත කිරීම වඩාත් ප්‍රයෝජනවත් යැයි කිව හැකියි’ මහාචාර්ය සකායි අවධාරණය කරනවා.
- පර්සි ජයමාන්න
0 Comments