HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉතාලි යන සංචාරකයන් ගුවනට ගෙන යන චීන ඩ්‍රෝන ටැක්සි!

චීනය පසුගිදා ආර්ථික හා ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඇමරිකාව අබිබවා ගියා. චීනයේ ව්‍යාපාරිකයන්හා ධනකුවේරයන් දැන් ලොව පුරා ආයෝජනයන්වල නිරතවෙනවා. පසුගිය දාක මා ‘මල්කැකුළු’ තුළින් අහසින් යන ඇමරිකන් කාරයක් ගැන කීවා ඔබට මතක ඇති. ඒ කාරය නිපදවන සුප්‍රකට වොල්වෝ සමාගමත් දැන් චීන ජාතිකයෙකුට අයිති එකක්. අද කියන්න යන්නේ තවත් චීන සමාගමක් ඉතාලියේ අරඹා ඇති නව ව්‍යාපෘතියක් ගැනයි. ඒ ඊහැං හෝල්ඩින්ස් (EHang Holdings) නම් ඩ්‍රෝන නිෂ්පාදනය කරන චීන සමාගමයි. අනාගතයේ සංචාරක ක්ෂේත්‍රයේ ජනප්‍රිය විය හැකි ගුවන් ටැක්සි ඉතාලියට හඳුන්වා දෙන්නටයි, ඔවුන් බලාපොරොත්තු වන්නේ. 
සංචාරක ආකර්ෂණයක් ලෙස ඉතාලියේ ඉදිකෙරන එක්ටැම් හෝටල ව්‍යාපෘතියට ඇතුළත් අඩි 100ක් උස එක් හෝටලයක්. ඒ වෙත යන ගුවන් ටැක්සියක්. 

ඉතාලියට එන සංචාරකයන්ට මේ විස්මිත ගුවන් ටැක්සි ගමනත් සමග ඉතාලියේ සුන්දර වනගත පරිසරයක ඉදිකෙරෙන අඩි 100ක් උස ආකාශ හෝටලයක රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වන්නට අවස්ථාව ලැබෙනවා. ඔබ ඉතාලියේ රෝම නගරයට ගියොත් ඔබ කොතැනක සිටියත් ඉන්නා තැනකට මේ ‍ගුවන් ටැක්සියක් ගෙන්වා ගන්න පුලුවන්. ඔබ මවිත කරමින් ඒ ටැක්සිය අහසින් විත් ඔබේ දෙපා ළඟට විත් ඔබව නංවාගෙන අවශ්‍ය තැනට කැටුව යාවි. ඔබ වඩාත් මවිත වන්නේ ඒ ඩ්‍රෝනය පදවන නියමුවකු නොමැති බව දුටු විටයි. 

මේ නව සංචාරක සංකල්පය බිහි වූයේ නියමුවන් රහිත ගුවන් යානා තනන සමාගමක් වූ ඊහැං හෝල්ඩින්ස් හා රෝමය නගරය කේන්ද්‍ර කරගෙන පිහිටුවා ඇති ජියන්කාලෝ සෙමා ඩිසයින් ගෘාප් (Giancarlo Zema Design Group) නම් සමාගමක් එක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඔවුන් බලාපොරොත්තු වෙනවා, එක්ටැම් හෝටල් පෙළක් ඉදිකිරීමට වනගත පරිසරවල සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා. ඒවා හැඳින්වෙන්නේ ‘වර්ටිපෝට්ස්’ (vertiports) කියලයි. ඒවායේ වහල මත සංචාරකයන් ගෙන යන ඩ්‍රෝන යානා නැවැත්වීමට පහසුකම් තියෙනවා. 

මේ එක්ටැම් හෝටල‍ තැනීමට සැලසුම් කර ඇත්තේ අප්‍රිකාවට ආවේණික වූ සුප්‍රකට බයෝබැබ් ගසේ හැඩය ආකෘතියකට අර ගෙනයි. මෙහි වහලය මත වූ ඩ්‍රෝන යානා නැතුම්පොළට යටින් තියෙනවා, වර්ග මීටර් 200ක භෝජනාගාරයක්. එහි සිට අවට සිරි නරඹමින් ප්‍රණීත ආහාරයක සප්පායමින් පසු ඩ්‍රෝන ටැක්සි මගින් සංචාරකයන්ට තමන් නැවතී සිටින සුපුරුදු හෝටලවලට යන්න පුලුවන්. මේ හෝටල පරිසර හිතකාමී හරිත බලශක්තිය භාවිත කරන ඒවායි. 

ඊහැං හෝල්ඩින්ස් ආයතනයත් ඉතාලියේ ජියන්කාලෝ සෙමා ඩිසයින් ගෘාප් එක්ව සැලසුම් 
කර ඇති නියමු රහිත ගුවන් ටැක්සි ව්‍යාපෘතියට අයත් මගී ඩ්‍රෝන යානයක්.

විදුලි බලයෙන් ක්‍රියාකරන මේ ඩ්‍රෝන යානාවල බටරි චාර්ජ් කර ගන්න එහි පහසුකම් තියෙනවා. මේ ඩ්‍රෝන යානා හැඳින්වෙන්නේ ස්වයංක්‍රීයව පැදවෙන EH216 වර්ගයේ ගුවන් වාහන කියායි. සාමාන්‍ය ඩ්‍රෝන යානවලට වඩා ප්‍රමාණයෙන් විශාල මේ යානා තනා ඇත්තේ මගීන්ට අවට සිරි නරඹමින් යා හැකි වන විදියටයි. මැද මගීන්ට යාහැකි කුටියක් සහිත මේ යානය වටේට ද්විත්ව බමන අටක් සවිකොට තියෙනවා. හෙලිකොප්ටරයක මෙන් නියමුවකු මෙහි නැති නිසා සම්පූර්ණ මගීන් ගණනට එහි යා හැකියි. 

මේ යානා සැලසුම් කළ අය කියන්නේ ස්වයංක්‍රීය නියමු පාලනය ඇති මෙහි ඉතා සුරක්ෂිත බවයි. මේ යානා මගින් නිශ්චිත තැනකින් තවත් නිශ්චිත තැනකට මගීන් ගෙනයාමක් සිදුවන නිසා මෙය සැලැසුම් කිරීම පහසු වූ බවයි. 

ඔවුන් තාමත් මේ හෝටල ඉදිකරන ස්ථාන ගැන තීරණය කරලා නැහැ. ඒ පිළිබඳව දැනට කටයුතු සූදානම් කරගෙන යනවා. මුල් ම ‍එක්ටැම් හෝටල ඉදිකෙරෙන්නේ රෝමය අවට වනාන්තර පරිසරවලයි. අනාගතයේ දී මේවා යුරෝපයේ හා දකුණුදිග ආසියාවේ රටවලත් ඉදිකිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

‘අනාගතයේ නගරබද මගී ප්‍රවාහනයේ දී මේ ඩ්‍රෝන යානාවලට විශේෂ තැනක් හිමි වෙනවා සිකුරුයි’ ඊහැං සමාගමේ ප්‍රකාශයා කියනවා. ‍

නුදුරු අනාගතයේම එන ගුවන් ටැක්සි මොන වගේ ඒවාද? 

විදුලි බලයෙන් පියාසර කළ හැකි කුඩා වාහන පෙළක් දැන් නිපදවමින් හා අත්හදා බලමින් තියෙනවා. ලොව පුරා සමාගම් ගණනාවක් විසින් තනනු ලබන මේවායින් සමහරක් ඒවාට දැන් පියාසර කිරීමේ බලපත්‍ර පවා නිකුත් කර තියෙනවා. 

මේ ගුවන් වාහනවලට යොදා ගනු ලබන්නේ විදුලි මෝටර, බැටරි තාක්ෂණය, ස්වයංක්‍රීය පරිගණක පද්ධතියක් හා ඊට අවශ්‍ය මෘදුකාංගයි. 

ගුගල් (Google) මව් සමාගම වූ ඇල්ෆබට් (Alphabet) හී ප්‍රධාන විධායක ලැරී පේජ් (Larry Page) මිලියන ගණනක් යොදා සී ඒරෝ (Zee Aero) හා කිටීහෝක් (Kitty Hawk) කියා නව ව්‍යාපෘති දෙකක් පටන් ගත්තා. ඒවායේ අරමුණ විදුලි බලයෙන් ක්‍රියාකරන පියාසර කළ හැකි වාහන පෙළක් නිපදවීමයි. එයින් කිටී හෝක් විදුලි ගුවන් කාර් මාදිලි කීපයක් ම නිපදවා සාර්ථකව පියාසර කර දැන් ඇමරිකාවේ ෆෙඩරල් ගුවන් පරිපාලන අධිකාරියෙන් බලපත්‍ර සඳහා ඇයදුම් කර තියෙනවා. 

ස්පේස් එක්ස් ආයතනය විසින් නිර්මාණය කර ඇති අලුත් ම ආකෘතිය වූ ‘මොබි-වන්’ යානය උතුරු ඇමරිකන් අන්තර්ජාතික යානා සංදර්ශනයේ දී ප්‍රදර්ශනය කළ අයුරු.

ලැරී පේජ් තමයි, සර්ගේ බ්‍රින් (Sergey Brin) සමග 1998 දී ගූගල් ආයතනය පටන් ගත්තේ. දැන් ඒ යටතේ සමාගම් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ලැරී පේජ්ගේ ගුවන් වාහන මාදිලි ගණනාවක් ඉදිරියේ දී ඒමට නියමිතයි. 

කැලිෆෝනියාවේ ජොබි ඒවියේෂන් (Joby Aviation) සමාගමත් ගුවන් ටැක්සි ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා. ඔවුන් දැනට තනමින් සිටින්නේ ධාවන පථයක් නොමැතිව කෙළින් ම ගුවනට නැංවිය හැකි යානයක්. මෙගා ඩ්‍රෝනයක් ලෙස හැඳින්වෙන මේ යානයට පැයට කි.මී. 200ක උපරිම වේගයකින් ගුවනින් යන්න පුලුවන්. ‘ජොබි එස්2’ (Joby S2) කියා හඳුන්වා ඇති මේ යානයට බලය සැපයෙන්නේ ලිතියම් නිකල් කොබොල්ට් මැන්ගනීස් ඔක්සයිඩ් බැටරියකින්. එහි විදුලි බමන 16ක් තියෙනවා. ඉන් 12ක්ම භාවිත කෙරෙන්නේ කෙළින්ම යානය ඉහල නැංවීමටයි. 

මේ ජොබී ආයතනය ආරම්භ කර ඇති අලුත් ගුවන් ටැක්සි ව්‍යාපෘතියේ නම ‘වාහන’ (Vahana) යි. මෙහි ප්‍රථම නිෂ්පාදනය වූ ඇල්ෆා 1 යානය 2018 දී සිය පියසැරිය පළමුවරට අත්හදා බැලුවා. 

එයාබස් ආයතනයත් එක් අයකුට පමණක් යා හැකි එවැනි යානයක් ගැන සැලසුමක ප්‍රචාරක වීඩියෝවක් නිකුත් කර තිබුණා. 

ඇමරිකාවේ ඩෙට්රොයිට් හී නිෂ්පාදන සමාගමක් 2026 දී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර 50ක සේවය සඳහා ගුවන් ටැක්සි 2500ක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔවුන්ට ෆෙඩරල් ගුවන් අධිකාරියේ අනුමැතිය ද ලැබී තියෙනවා. 

එයා ස්පේස් එක්ස් (AirSpaceX) මේ වර්ගයේ ඔවුන්ගේ අලුත් ම ආකෘතිය වූ ‘මොබි-වන්’ (Mobi-One) 2018 දී උතුරු ඇමරිකන් අන්තර්ජාතික යානා සංදර්ශනයේ දී ප්‍රදර්ශනය කළා. එය වරකට මගීන් දෙදෙනකුට හෝ සිව් දෙනකුට යා හැකියි. 

උබර් (Uber) ආයතනයත් උබර් එලිවේට් (Uber Elevate) නමින් ගුවන් වාහනයක් තැනීමේ අත්හදාබැලීම් කරනවා. ‘ඉදිරි වසර 10 ඇතුළතදී වඩාත් සාර්ථක වාහනයක් ගුවන් ගමන්වලට යෙදවීමට අපට හැකි වේවි’ උබර් ප්‍රධාන විධායක ධාරා කෝශ්‍රෝශාහි කියනවා. 

මෙවැනි වාහන නිපදවන්නට බලාපොරොත්තුවෙන් බොහෝ නිෂ්පාදකයන් සිටිනවා. ඒත් ගුවනේ යාමට අනුමැතිය හා අවසරය ලැබී නැති නිසා තවම ඒවා යථාර්ථයක් බවට පත්වෙලා නැහැ. ඒවා සඳහා නියාමන විධි හා නීති රීති සැකසුණාට පසු ඒවා ඉක්මනින් ම අපට ගුවනේ දී දැක ගන්න පුලුවන් වේවි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments