HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ බසට කුමරතුඟු මුනිදසුන් කළ විස්මිත මෙහෙය අගයමු

අපේ බසට, රැසට, දැයට මහත් මෙහෙයක් කළ කුමරතුඟු මුනිදසුන් අප හැර ගොස් අදට වසර 77ක් සැපිරේ. එතුමන් අභාවයට පත් වූයේ 1944 මාර්තු 2 දා ය. සිංහල බසට, සාහිත්‍යයට, පුවත්පත් කලාවට එතුමා කළ සේවය අතිමහත්. විසිවන සියවසේ දී සිංහල භාෂාවේ ව්‍යවහාරය හා ව්‍යාකරණය පිළිබඳව පමණක් නොව සිංහල භාෂාවේ අභිමානය, තත්ත්වය හා භාවිතය යන සෑම අංශයක් කෙරෙහි ම වැඩි ම බලපෑමක් ඇති කිරීමට සමත් වූ නූතන පඬිවරයා කුමරතුඟු මුනිදසුන්(1887-1944) ය. සිංහලයේ පද බෙදීම පමණක් නොව විරාම ලකුණු යෙදීම ද විධිමත් කෙරුණේ ඔහු අතිනි. 

කුමරතුඟු මුනිදසුන්

ගුරුවරයකු, අධ්‍යාපනඥයකු, ග්‍රන්ථ කර්තෘවරයකු, පුවත්පත් සංස්කාරකයකු, භාෂා විශාරදයකු, සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කාරකයකු, වශයෙන් ඔහුගෙන් මේ හෙළයට වූ සේවය වෙනත් කිසිම සිංහලයකුගෙන් නොවීය. ඒ සියල්ල ගැන නොව, අප අද මෙනෙහි කරන්නේ වදන් තතන්නට අප හුරුකර වීමට ගත් වෙහෙස හා නව වදන් තනා දෙමින් සිංහල බසට කළ මෙහෙයයි. ඔහු සිංහලයෙහි සිටි ලොකුම වාංමාලාව හිමි තැනැත්තාය. ඔහුගේ වාංමාලාව වදන් 175,000කට වැඩි යැයි ඔහුගේ වදන් භාවිතය ගැන පොතක් ලියමින් ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් කියා තිබේ. 

අපට අලුත් වදන් තනා දෙමින් ඔහු බසට කළ මෙහෙය අද අපේ තරුණ පරපුරේ බොහෝ දෙනා නොදනිති. අද අපට සුමට, බසක් උරුම වී ඇත්තේ එතුමා නිසාය. සංස්කෘතයේ එන මහප්‍රාණ වදන් වෙනුවට සරල වදන් භාවිතයේ ඇති වැදගත්කම වටහා දුන්නේ ඔහුය. එතුමා අපට හඳුන්වා දුන් වදන් සිය දහස් ගණනකි. මෙහිදී විමසුමට ලක්වන්නේ එයින් අතළොස්සක් පමණය. 

අනාදිමත් කාලයක සිට පැවත එන වදන් තුළින් වෙනත් අරුත් මතු කර ලීමට ද කුමරතුඟුවෝ දස්කම් පෑහ. වදන්වලින් පළ කෙරෙන නිරුක්තිමය අරුතට (etymological meaning) වඩා වෙනස් අරුතක් දැනවීමට උහු සමත් වූහ. ඉන් කීපයක් මෙසේය. රජය (government), සරසවිය (university), රැහැන (wire), පිරික්සුම (test), කලබ (bundle), වෙළුම (volume), හෙදිය (nurse), රැස (race), බුබුළ (bulb), ඉසවුව (subject), පෙදෙස (place), ඔසුදවටු (apothecary), පලිපළ (police), මහැදුරු (professor), අයකැමි (cashier) ආදියයි. රජය යන්නෙහි මුල් අරුත ‘රජකුට අයත් ප්‍රදේශය’ යන්නයි. කුමරතුඟුවන් එය යොදන්නේ government යන්නටයි. ‘සරසවිය’ යන්නෙහි මුල් අරුත ‘සරස්වතී දේවිය’ යන්නයි. කුමරතුඟුවන් එය යෙදුවේ ‘university’ යන්න සඳහාය. ‘රැහැන’ යන්නෙහි මුල් අරුත ‘ලණුව, කඹය, යොත’ ආදියයි. කුමරතුඟුවන් එය යෙදුවේ ‘wire’ යන අරුතිනි. ‘පිරික්සුම’ යන්නෙහි මුල් අරුත ‘හැම අතින් සොයා බැලීම’ යි. කුමරතුඟුවන් එය යෙදුවේ ‘test’ යන ඉංග්‍රීසි වදන සඳහා ය. ‘කලබ’ යන්නෙහි මුල් අරුත ‘මිටිය, පොකුර’ යන්නයි. කුමරතුඟුවන් එය යෙදුවේ ‘bundle’ යන ඉංග්‍රීසි වදන සඳහායි. 

වෙනත් බසක වදනක් සිංහලයට හුරු කර ගනිද්දී එහි ශබ්දය අනුව ඊට හුරු වදනක් තනා ගැනීම ද ඔහු අපට කියා දුන් තවත් වදන් තනා ගැනීමේ ක්‍රමයකි. මේ එයට නිදසුන් ය. බසය (bus), කාරය (car), ලොරිය (lorry), ටයරය (tyre), ඇංජිම (engine), සැකැණ්ඩුව (second), ලංඩනය (London), ජල්ලි (jelly), ඩැස්කුව (desk), බෝට්ටුව (boat), ගේට්ටුව (gate), සිගරැට්ටුව (cigarette) ආදියයි. මේ වදන්වලින් ‘සැකැණ්ඩුව, ඩැස්කුව’ වැනි වදන් එකක් දෙකක් හැර අන් සියල්ල ම අද අප අතර භාවිත වෙයි.

සංස්කෘත බසින් ගන්නා තත්සම වදන් වුවද ඒ අයුරින් ම වහරට නොගෙන ඒවා තත්භව වදන් ලෙස සිංහල ඌරුවට හරවා ගෙන භාවිත කිරීමට කුමරතුඟුවන් හැම විට ම දිරි දුන්හ. ඒ සඳහා නිදසුන් කීපයක් මෙසේ ය. (වරහන් තුළ ඇත්තේ සකුබසින් ගත් වදනයි.) පාසල (පාඨශාලාව), විදුහල (විද්‍යාශාලාව), සිසු (ශිෂ්‍ය), ඇදුරු (ආචාර්ය), විනිසුරු (විනිශ්චයකාර), හැකියාව (ශක්‍යතාව), දෙසුම (දේශනය), පැවැසුම (ප්‍රකාශනය), පමණ (ප්‍රමාණය), ඇබෑසිය (අභ්‍යාසය), ලකුණු (ලක්ෂණ), ලකිසුරු (ලංකේශ්වර), සැකැසුම (සංස්කරණය), කොසුව (කෝෂය), රුක (වෘක්ෂය), ඇටසැකිල්ල (අස්ථිපඤ්ජරය), මාළුවා (මත්ස්‍යයා), සතුට (සන්තුෂ්ටිය) මුනිදසුන් සිංහලයට හරවා අපට දායාද කළ වදන් කීපයකි. 

ඉංග්‍රීසි වදන් වෙනුවට කුමරතුඟුවන් යෙදූ තවත් වදන් කීපයක් බලමු. කමිටුව (committee), පාපැදිය (bicycle), යතුරු-පැදිය (motor-cycle), දුරබණුව (telephone), දුරදක්නය (telescope), අණුදක්නය (microscope), මීයැසිය (music), ඇණැවුම (order), හෙදිය (nurse), රෙදෙවුව (radio), ඉබේ (auto), පිරික්සු (inspector), පසුබිම (background), පසුපුරුව (supplement), හුවමාරුව (exchange), එකතුව (union), ගිලන්හල (hospital), හිමකිරම (icecream), වහසිය (challenge), කුමුදුව (submarine), කමිසුරු (commissioner), හැඬැවියාව (phonetics), අහඹු (random), මාදිලිය (model) යන වදන් විමසා බලන්න. මේ පද බැලූ බැල්මට ම සිංහලයට පෙරළා භාවිතයට ගත් ඒවා ලෙස පෙනුන ද හොඳින් විමසා බැලුවොත් දෙයාකාරයකට තැනූ වදන් ඊට ඇතුළත් බව පෙනී යනු ඇත. ඒවා අතර ගැමි වහරින් ගත් වදන් ද දක්නට ලැබෙනවා. හෙදිය (nurse) යන වදන ගෙන ඇත්තේ ‘හෙදකම’ යන පැරණි සිංහල වදනිනි. ඉබේ යන වදන ගැමි වහරෙහි එන්නකි. ‘ඔටෝ’ යන්නට එය කෙතරම් ගැළපේද? random යන ඉංග්‍රීසි වදන වෙනුවට කුමරතුඟුවන් යොදන්නේ ‘අහඹු’ යන්නයි. එසේ ම ‘race’ යන වදනට යෙදූ ‘රැස’ යන්නයි. ‘wire’ යන අරුතින් යොදන ‘රැහැන’ යන වදන ගැමි වහරේ එන්නකි. 

මුල් වදන ඇසුරෙන් සිංහල වදනක් තැනීමේ දී ඉංග්‍රීසි වදන තැනුනු ආකාරය අනුව යමින් සිංහලෙන් අරුතක් සැපැයෙන විධියට ද තැනූ අවස්ථා ද දැකිය හැකි ය. නිදසුනක් ලෙස ඉංග්‍රීසියේ එන ‘bi+cycle > bicycle’ යන්න ‘රෝද දෙකක් ඇති වස්තුව’ යන අරුත දෙන්නක් වුනත්, කුමරතුඟුවන් ඒ සඳහා ‘පාපැදිය’ යන වදන නිර්මාණය කරන්නේ ‘ප+පද+ඉ+අ’ > පාපැදිය’ යන පදයෙන් අරුත් දෙන්නේ ‘පයෙන් පැදෙන දැය’යනුයි. ඒ වගේ ම ‘මියුස් (Muse) දෙවඟනගේ කලාව’ යන අරුත දෙන ඉංග්‍රීසි ‘music’ යන්නට කුමරතුඟුවන් යොදන්නේ ‘ඇසීමට මී බඳු වූ දැය’ යන අරුත දෙන ‘මී+ඇසි > මීයැසි’ යන්නයි. අනෙක් අතට ‘වගකීම් දරන්නා’ යන අරුත් දෙන යොදන ඉංග්‍රීසි වදන වූ commissioner යන්නට එතුමා යෙදූ වදන ‘කමිසුරු’යන්නයි. එය ‘කමට (වැඩට) ඉසුරකු වූ තැනැත්තා’ අරුත් දෙන ලෙසින් ‘කමිසුරු’ වෙයි. ඒ වදන ‘කමිෂනර්’ යන වදනට හඬින් සමාන වීම මුනිදසුන්ගේ වදන් තැනීමේ හැකියාව පෙන්වයි. 

කුමරතුඟුවන් අපට කළ මෙහෙයෙහි එක් පැතිකඩක් වූ සිංහල වදන් සම්පාදනය ගැන මහ පොතක් ලියන්නට කරුණු තිබේ. මෙහි උදුරා දැක්වුවේ ඉතා ස්වල්පයක් පමණි. අද අප වහරන බසේ වැඩුමට හා හැඩගැස්මට එතුමන්ගෙන් වූ සේවය පිළිබඳ යම් ප්‍රමාණයක දැනුමක් ඔබට ලබා දීමටත් කුමරතුඟු මුනිදසුන් සමරන මේ මොහොතේ ඒ සේවය සිහිපත් කිරීම යුතුකමක් සේ සලකා ගෙනයි. 

 - පර්සි ජයම‍ාන්න

Post a Comment

0 Comments