අප මුලින් සිතා සිටියේ කුඩා ම අංශුව ‘අණුව’ (molecule) කියායි. ඊට වඩා කුඩා එකක් ඇතැයි දැනගත් විට අප එයට පරමාණු (පරම+අණුව) හෙවත් ‘ඇටම්’ (atom) කියා කීවෙමු. දැන් වෙන් කොට ගත හැකි, ඊටත් කුඩා අංශුවක් ඇති බව හෙළි වූ විට එයට ‘පරමාණුව’ යැයි කිව නොහැකියි. එය ‘උපපරමාණුක අංශුවක්’ යැයි විස්තර කළ හැකියි. ‘න්‍යුට්‍රෝන’ (neutron) හා ‘ප්‍රෝටෝන’ (proton) එවැනි උපපරමාණු අංශුයි. ඊටත් වඩා කුඩා අංශුව (ස්කන්ධය ශූන්‍යයට ආසන්න) ‘න්‍යුට්‍රීනෝ’ කියා හැඳින්වෙනවා.
මේ න්‍යුට්‍රීනෝ විද්‍යුත් ආරෝපණයක් නිකුත් නොකරයි. එයට ඇත්තේ ශූන්‍යයට ආසන්න ඉතා කුඩා ස්කන්ධයක් නිසා හඳුනාගැනීම අපහසුයි. විශ්වය පුරා වැඩියෙන් ම පැතිර ඇති ද්‍රව්‍යයක් ලෙස මේ අංශු හැඳින්විය හැකියි. රුසියානුවන් මේවා දැක ගැනීම සඳහා විශේෂ අන්වීක්ෂ දුරදක්නයක් තැනුවේ ඒ නිසයි. එය නම් කර ඇත්තේ Baikal-GVD (Baikal Gigaton Volume Detector) නිරීක්ෂකය කියායි.
2015 සිට තනනු ලැබූ මේ උපකරණය පළමුවරට නිරීක්ෂණය සඳහා යොදා ගනු ලැබුවේ පසුගිය සෙනසුරාදා (2021 මාර්තු 13) යි. ඝන අඩි 17,657ක් ප්‍රමාණයක් ආවරණය වන මේ දුරේක්ෂය තුළ වීදුරු ගෝලයක්, මළ නොබැඳෙන වානේ මොඩියුල රාශියක් හා සමඟ බැඳුණු රැහැන් පද්ධතියක් ද ඇතුළත් වෙනවා.
බයිකල් විලේ අද්දර සිට සැතැපුම් එක හමාරක් ඇතුළට වෙන්න මිදුණු දිය මත චතුරස්‍රාකාර කට්ටයක් කපා, අයිස් තට්ටුව ඉවත් කොට, ඒ තුළින් මේ න්‍යුට්‍රීනෝ දුරේක්ෂය රුසියානු විද්‍යාඥයන් විසින් ඉතා පරිස්සමෙන් දිය යටට බස්සවනු ලැබුවා. එය සිදු කරනු ලැබුවේ 2021 මාර්තු 13 වැනිදායි. මේ නව දුරේක්ෂය උතුරු අර්ධ ගෝලයේ සවිකර ඇති විශාලතම න්‍යුට්‍රීනෝ දුරේක්ෂය ද වෙනවා.
‘මේ බයිකල් විල තමයි එකම තැන මේ වගේ න්‍යුට්‍රීනෝ දුරේක්ෂයක් සවිකළ හැකි. විශේෂයෙන් ම ඒ එහි ගැඹුර නිසයි’ මේ ව්‍යාපෘතියේ එක් සාමාජිකයකු වූ බෙයා ෂොයිබිනෝෆ් කියනවා. ‘එය මිරිදිය විලක් වීමත් එහි පැහැදිලි ජලය පැවතීමත් අනෙක් හේතූන් වෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා.
ඒ ගැන තවත් පර්යේෂකයෙක් කීවේ මේ විල මාස දෙකක් දෙක හමාරක් හිමෙන් වැසී තිබීමත් මේ කටයුත්තට වඩාත් වැදගත් වන බවයි.
මේ දුරේක්ෂය සංයුක්ත එකක් නිසා එහි අධි ශක්ති න්‍යුට්‍රිනෝ වෙන වෙනම නිරීක්ෂණය කළ හැකි කොටස් රැසක් එහි තියෙනවා. මේ නිසා මුළු දුරේක්ෂය නැවත සැකසීමක් නොකර වෙන වෙනම කොටස් එක් කර පුළුල් නිරීක්ෂණයක් කළ හැකියි.
මේ කුඩා අංශු පදාර්ථ සමග ප්‍රතික්‍රියා නොකරන නිසා හඳුනා ගැනීම ඉතාමත් අසීරුයි. සාමාන්‍ය පදාර්ථ සමග ප්‍රතික්‍රියා නොකර ආලෝකයේ වේගයෙන් මේ අංශු ගමන් කරන නිසා තමයි ඒ කටයුත්ත වඩාත් අසීරු වන්නේ.
ඒ නිසා ඒවා හඳුනා ගැනීමට ස්වභාවයෙන් ම නිසසල ගැඹුරු තැනක් අවශ්‍ය වෙනවා. මේ බයිකල් විල වගේ ම දක්ෂිණ ද්‍රැවය, මධ්‍යධරණී මුහුද ද එවැනි තැන් ලෙස දක්වන්න පුලුවන්.
පෘථිවිය වෙත ඍජු රේඛා ඔස්සේ එන අති විශාල න්‍යුට්‍රිනෝ කදම්බයන් අතුරින් සෑම තත්පරයක් තුළම පසුකර යන ට්‍රිලියන 100කටත් වඩා න්‍යුට්‍රිනෝ අතරින් දිනකට න්‍යුට්‍රිනෝ 30ක් පමණ මේ නිරික්ෂක දුරේක්ෂය මගින් හඳුනා ගන්නවා ඇති.
‘පෘථිවිය කරා එන දැවැන්ත න්‍යුට්‍රිනෝධාරාව ඒවා එන ලක්ෂ්‍යයන් වෙත අපේ අවධානය යොමු කරවනවා පමණක් නොව විශ්වයේ ඈත කුමන කෙළවරක සිදුවුවද ඒවායේ ප්‍රභවයන් පිළිබඳ විකෘති නොවූ සංසිද්ධීන් හා තොරතුරු, විවිධ දත්ත ආදිය ලබා ගැනීමට අපට මඟ පාදනවා.’ යයි පර්යේෂණ කණ්ඩායම කියනවා.
ඒ වගේ ම න්‍යුට්‍රිනෝ උදව් වෙනවා, විද්‍යාඥයන්ට තාරකාවල ප්‍රභවය හා පරිණාමය තේරුම් ගන්නට, සූර්යයාගේ ව්‍යුහය හා සංයුතිය ගැන දැනගන්නට. බයිකල් පර්යේෂක කණ්ඩායම සැලැසුම් කර ඇත්තේ උප පරමාණුක අංශු විශ්වය පුරා කළ ඇති ප්‍රචණ්ඩ ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීමටයි.
බයිකල් විලේ ඇති නිසසල පරිසරය හා පැහැදිලි මිරිදිය පසුබිම් කර ගෙන කරන මේ නිරීක්ෂණයන් තුළින් කරන අධ්‍යයනයෙන් විශ්වයේ රහස් රැසක් එළිචරවු කර ගැනීමට මඟ පෑදේවි යැයි ඔවුන්ගේ විශ්වාසයයි.
මේ වගේ තවත් විශාල න්‍යුට්‍රීනෝ දුරේක්ෂයක් ඇන්ටාර්ක්ටික් අයිස් තට්ටුව යට එක්සත් ජනපදය විසින් රඳවා තිබෙනවා. ‘අයිස් කියුබ්’ (Ice Cube) කියා හැඳින්වෙන එයින් ද අපේක්ෂා කෙරෙන්නේ විශ්වයේ රහස් ගවේෂණයයි.
0 Comments