HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගල් බුදුරදුන් අත්අඩංගුවට ගන්න! - විනිසුරු


වෙ‍ළෙන්දෙක් කපු රෙදි රෝල් පනහක් කර තබා ගෙන යමින් සිටියා. දහවල් අවු රශ්මිය දරා ගත නොහැකිව ඔහු අතරමග එක් හෙවණක නැවතුණා. ඒ හෙවණ සලසා දී තිබුණේ ගලින් නෙළුෑ බුදු පිළිමයකටයි. එය හිටි පිළිමයක්. පිළිමයේ පාද අසල රෙදි පොදිය තැබූ ඔහු විවේක ගන්නට මඳක් ඇල වුනත් ඔහු නොදැනුවත්වම නින්ද ගියා. ඔහු අවදිවන විට ඔහුගේ බඩු එහි තිබුණේ නැහැ. ඔහු ඒ අවට හැමතැනම හෙව්වා. ඒත් බඩු හමුවුණේ නෑ. ඔහු ඒ පළාතේ විනිසුරුවරයාට පැමිණිලි කළා. 

ඕ-ඕකා නම් ඒ විනිසුරුතුමා ඒ ගැන කරුණු විමසුවා. වෙළෙන්දා තමාට සිදු වූ දෙය එකින් එක කිව්වා. 

‘එකත් එකටම අර ගල් පිළිමය තමයි ඒවා සොරකම්කරලා තියෙන්නේ.’ විනිසුරු තීන්දු කළා. ‘සියලු ජනතාවගේ යහපත ගැන සොයා බැලීම එයාගේ වගකීමක්. ඒත් මෙතැනදී ඒ වගකීම ඉටු කිරීමට එයා අසමත් වී තියෙනවා. වහාම එයාව අත් අඩංගුවට ගෙන මෙහි ගෙන එනු!’ විනිසුරුතුමා නියෝග කළා. 

රැකවලුන් ඒ ගල් පිළිමය අත් අඩංගුවට ගෙන විනිශ්චය ශාලාවට ගෙනාවා. 

පිළිමය අත් අඩංගුවට ගත් ආරංචිය අසා විශාල පිරිස් ඒ පසුපස විනිශ්චය ශාලාවට ආවා. ඔවුන් සිටියේ විශාල කුතුහලයකින්. ගල් පිළිමයට මොන වගේ දඬුවමක් විනිසුරුගෙන් ලැබේවිදැයි ඔවුන් එකිනෙකා හා කසුකුසු ගෑවා. පිරිස වැඩි නිසා ඔවුන්ගේ කසුකුසුව ඝෝෂාවක් ඇති කළා. ඕ-ඕකා විනිසුරුතුමා විනිශ්චයාසනයට එන විට උසාවිය තුළ එකම ගාලගෝට්ටියක්. විනිසුරුතුමා ‘නිහඬ වෙනු!’ කීවා. ඒ වගක්වත් ඔවුන්ට ඇසුණේ නැහැ. අන්තිමේ දී විනිසුරු උස්හඬින් කතා කළා. 

නුඹලාට මොකක්ද තියෙන අයිතිය මේ විදියට උසාවියට ඇවිත් හිනා වෙන්න. විහිළු කතා කියන්න. සෝෂා කරන්න. උසාවියට අපහාස කළාට මං නුඹලාට දඩ ගහනවා. සිරදඬුවම් නියම කරනවා.’ විනිසුරුතුමා කීවා. 

බියට පත් ජනයා විනිසුරුතුමාගෙන් සමාව ඉල්ලුවා. 

‘හොඳයි, මං නුඹලා හිරේ දමන්නේ නෑ. ඒත් දඩයක් නියම කරනවා.’ විනිසුරුතුමා කීවා. ‘අද සිට දින තුනක් ඇතුළත නුඹලා හැමෝම කපුරෙදි රෝල බැගින් ගේන්න ඕනෑ. එසේ ගේන්න බැරිවුණු අය සිරගෙට නියම කරනවා.’ විනිසුරුතුමා කීවා. 

ජනතාව ගෙනා කපු රෙදි රෝල් අතර තමාට අයත් කපු රෙදි රෝලක් තිබෙනු වෙළෙන්දා දුටුවා. විනිසුරු එය පෙන්වන ලෙසට වෙළෙන්දාට කීවා. වෙළෙන්දා එය පෙන්නුවා. එයින් සොරා පහසුවෙන් ම හඳුනාගත හැකි වුණා. වෙ‍ෙළන්දාට ඔහුගේ රෙදි තොගය ආපසු ලැබුණා. අනෙක් රෙදි ගෙනා අයට ම ආපසු ලැබුණා. 

 (පර්සි ජයමාන්නගේ 'සෙන් බොදු කතා' නම් ග්‍රන්ථයෙනි)

Post a Comment

0 Comments