ජුරැසික් පාක්’ චිත්‍රපටයේ වාගේ ඇඟකිලිපොළා යන යෝධ ඩයිනොසෝරයන් මවා ඔබට ත්‍රාසයක් සපයන්නට නොවෙයි, ඔවුන් සූදානම් වන්නේ. මේ පර්යේෂණවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ දැනට වඳ වී යාමට ආසන්න ව සිටින සතුන් බේරා ගැනීමට අවශ්‍ය දැනුම මතු කර ගන්නයි.
මේ පිළිබඳ අධ්‍යයනයක විස්තර විද්‍යා ජර්නලයක (Scientific Reports) පළ කරන ඔවුන් කියා ඇත්තේ 2011 දී රුසියාවේ සයිබීරියානු නිත්‍ය තුහින (permafrost) කලාපයෙන් සොයා ගත් මැමත් පැටියකුගේ පසුපාදයකින් සක්‍රිය කළ හැකි මැමත් සෛල සොයා ගැනීමට ඔවුන් සමත් වූ බවයි. මෙම මැමත් සෛල න්‍යෂ්ටීන් රසායානාගර මීයන්ගේ සෛල තුළ වගා කිරීමට ඔවුන්ට හැකිවෙලා තියෙනවා.
‘දුසිම් ගණනාවක සෛල සාම්පල මෙසේ ඇතුළු කර ඇති අතර එයින් සාම්පල පහක, සෛල බෙදීම හට ගෙන තියෙනවා’ යයි කියන්නේ මේ අධ්‍යයනයට සම්බන්ධ වූ පිරිසේ සාමාජිකයකු වූ මහාචාර්ය කෙයි මියාමොටෝ යි. ඔහු මධ්‍යම ජපානයේ කින්ඩායි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්.
‘මේ ව්‍යාපෘතියට අයත් විද්‍යාඥයන් වසර 20ක් තිස්සේ මේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටිනවා. දැන් ඒ අතින් විශාල ප්‍රගතියක් අත්පත් කර ගෙන තියෙනවා.’ යයි මහාචාර්යවරයා කියනවා.
‘අපට දැන් සහතිකව කියන්න පුලුවන්, මීයන්ගේ කලල තුළ මේ මැමත් සෛල වර්ධනය කළ හැකි බව. මේ තරම් පැරණි සෛල මීයන්ගේ කලල සමග බද්ධ කිරීම මගින් නැවත සක්‍රිය කළ හැකි වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.‘ ඔහු වැඩිදුරටත් කියනවා. ඒ විතරක් නෙවෙයි, අපට ‘ජුරැසික් පාක්’ තත්වයට යන්න තවත් පියවර කීපයක් තියෙනවා යයි විහිළුවක් ද කළා.
ඔවුන් මේ සෛල ලබාගෙන ඇත්තේ සයිබීරියාවේ දී හමු වූ වසර 28,000ක් පැරණි මැමත් සිරුරකින්. ඒ තරැණ මැමත් සිරුර ඔවුන් නම් කර ඇත්තේ ‘යූකා’ (Yuka) කියලයි. නව දෙනකුගෙන් යුත් මේ අධ්‍යයන කණ්ඩායමේ ඊළඟ ප්‍රයත්නය වන්නේ මේ සෛල බෙදීම අඛණ්ඩව සිදු කිරීමට සැලැස්වීමයි.
‘මීයන් තුළ කළ අත්හදා බැලීම් තුළින් දක්නට ලැබුණු සෛල බෙදීම්වලින් කියන්න බැහැ සම්පූර්ණ මැමතයකු නිර්මාණ කළ හැකි යැයි කියා. ඒ සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතුව තියෙනවා. මැමතකු නිර්මාණය කිරීම අනාගතයේ දී විය නොහැකි දෙයක් යැයි මා කියන්නේ නැහැ. ’ මහාචාර්යවරයා වැඩිදුරටත් කියනවා.
මෙවැනි නිර්මාණයක් කළත් ඒ කාලේ උන් සතකුට ජීවත්වීමට සුදුසු පරිසරයක් දැන් නොමැති නිසා බරපතල ගැටලුකාර තත්වයක් ඇති වෙන්න පුුලුවන්. එත් මේ පර්යේෂණවලින් වෙනත් ආකාරයක ප්‍රයෝජනයක් අපට තියෙනවා. ඒ දැන් වඳයාමට ආසන්නව ඇති සතුන් ගලවා ගැනීමට අවශ්‍ය දැනුම අපට ලැබෙනවා.
- පර්සි ජයමාන්න
0 Comments