මිය ගිය පසු මතු භවයෙදි හොඳින් කථා කරන්න පුලුවන් වෙන්න රත්තරන් දිවක් සවි කිරීම රත්තරන් අදහසක් ලෙස සැලකූ පැරණි ඊජිප්තුවේ සිටි මෑතකදී කළ කැණීමකින් හෙළිවී තියෙනවා. මේවා හමුවී ඇත්තේ පාෂාණ කපා තැනූ විශේෂ සොහොන් බිම්වලයි. මෙසේ සොයා ගත් එක් මමියකට රත්රන් වලින් තැනූ දිවක් දමා තිබුණා. විශේෂඥයන් කියන්නේ මෙසේ දිවක් සවි කර ඇත්තේ මරණින් මතු අනාගතය විනිශ්චය කරන, ඔසිරිස් (Osiris) දෙවියන් ඉදිරියට ගිය විට කථා කිරීමට පහසු වෙන්නටයි.
පැරණි මිසර පුරාවිදුබිම්වල කැණීම් කළ පුරාවිද්‍යාඥයන් පාෂාණ කපා තැනූ විශේෂ සොහොන් 16ක් සොයා ගෙන ඇත්තේ ටපෝසිරිස් මැග්නා (Taposiris Magna) නම් නටබුන් ප්‍රදේශයෙනුයි. එහි සොහොනක් තුළ වූ මමියක් ඉවතට ගත් ඔවුන්, ඒ මමියේ හිමිකරු රත්තරන් දිවක් දික් කර ගෙන ඉන්නවා දැකලා මවිතයට පත් වුණා. ඒ පුද්ගලයා මිය ගිය පසු එම්බාම් කරද්දී දිව කපා ඉවත් කොට ඒ වෙනුවට රත්තරන් දිවක් සවි කර තිබුණා. ඔවුන්ගේ මතය වන්නේ එසේ කර ඇත්තේ මරණින් මතු ඔසිරිස් දෙවියන් ඉදිරියට යාමට සිදුවූ විට මරණකරුට හොඳින් කථා කර උත්තර දීමට හැකිවීම පිණිස බවයි.
පැරණි මිසර දෙවිවරුන් අතර ප්‍රධාන තැනක් හිමිවන ඔසිරිස් පාතාලයට අධිපති දෙවියා වන අතර මරණයෙන් පසු අවසාන විනිශ්චය දෙන තැනැත්තායි.
කඳු හා ස්වාභාවික ගල් පර්වත තුළ තැන්පත් කළ, වසර 2000ක් තරම් පැරණි, මේ සොහොන් කොත් වඩාත් බහුලව දැකිය හැක්කේ ග්‍රීක හා රෝම යුගවලදියි. මේ සොහොන් තුළ මමි ගණනාවක් ම තැන්පත් කර තිබූ අතර ඒවා දිරාපත් වී තිබුණා. ඒත් ඒවාට යොදා තිබුණු ගල් වෙස්මුහුණු නො නැසී තිබුණු අතර ඒවා නිසා එහි තැන්පත් කර තිබූ පුද්ගලයා කෙබඳු පෙනුමක් අත්තකු දැයි වටහා තැනීම පහසු වුණා.
මේ කැණීම් සිදු කෙරුණේ ඩොමිනික් ජනරජයේ සැන්ටෝ ඩොමින්ගෝ විශ්ව විද්‍යලයේ පුරා විද්‍යාඥයන් පිරිසක් විසින්. ඔවුන් දැනට දශකයක් තිස්සේ මේ ප්‍රදේශයේ කැනීම්වල නිරත වී සිටිනවා. මීට කලින් ඔවුන් ටපෝසිරිස් මැග්නා දෙවොලේ නටබුන් අතර තිබී රන් කාසි වගයක් සොයා ගත්තා. හත්වැනි ක්ලියෝපැට්රා රැජිනගේ සිරස යෙදූ ඒ කාසි නිසා මෙය ඇගේ පාලන කාලයට අයත් සොහොන් කොත් යැයි නිගමනය කළ හැකි වෙනවා.
ඊට අමතරව මේ දෙවොල් පුදබිමේ ඇති පිළි රූ කැබලි හා වෙනත් නටබුන්වලින් හෙළිවන්නේ එය සතරවැනි ටොලමි අධිරාජයා විසින් එහි වූ දැවැන්ත දෙවොල ඉදිකරන්නට ඇතැයි කියායි. ඒ අධිරාජයා මිසරය පාලනය කළේ ක්‍රිස්තු පූර්ව 221ත් 204ත් අතර කාලයේයි.
පුරාවිද්‍යාඥයන් පාෂාණ කපා ඒවා තුළ රඳවා තිබූ සොහොන් කොත් තුළින් එළියට ගනිද්දී එහි දිව රන්වන් පාටින් දිලිසෙමින් තිබුණා. මමියේ හිස්කබල හා ඇටසැකිල්ල ඒ අයුරින් ම ආරක්ෂාවී තිබුණා.
රන් දිව සහිත මමිය තමයි නොබිඳුණු ඇට සැකිල්ලක් සහිත හමුවුණේ. අනෙක් බොහෝ මමි විනාශයට පත්ව තිබුණා. එහිදී තමයි, එහි දිව ඉවත් කොට රනින් කළ දිවක් යොදා ඇති බව හෙළි වුණේ.
‘අනික් මමි එතරම් සුරක්ෂිතව නොතිබුණත් ඒවා සමග තිබූ ලාංඡන හා චිහ්නයන්, ස්වර්ණාභරණ හා වෙනත් ලෝහ මෙවලම් හා උපකරණ හොඳින් තිබූ නිසා ඒවා පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඉඩ පෑදුණා’ යයි ආචාර්ය කැතලීන් මාටිනස් කියනවා. එතුමිය තමයි මේ මමි කැණීමේ ව්‍යාපෘතියට නායකත්වය දුන්නේ.
මිසර ජාතිකයන් මල සිරුරු එම්බාම් කළ හැටි
පුරාණ ශිෂ්ඨාචාරවල දී මළ සිරුරු කල්තබා ගැනීම පිණිස නොයෙක් රසායන ද්‍රව්‍ය හා තෙල් වර්ග රාශියක් භාවිත කළ බවට කරුණු හෙළි වී තියෙනවා. රුසියානු විද්‍යාඥයන් කියන විධියට සිරුරඅවල ගල්වන දෑට මුලුමනින් ම වෙනස් බාම් වර්ගයක් හිසකේ ඒ අයුරින් ආරක්ෂා කිරීමට යොදා ගෙන තියෙනවා. හිසකේ සුරැකීමට යෙදූ බාම් වර්ගය තැනීමට හරක් මේදය, එඬරු තෙල්, මී ඉටි, පයින් ගම්වර්ගවලට අතිරේකව, සුගන්ධවත් පිස්ටාචියෝ තෙල් බිංදු ස්වල්පයක් මේ බාම් වර්ගය තැනීමට යොදා ගන්නවා.
මමිකරණයේ දී පුරාණ මිසර ජාතිකයන් මුලින් ම මළ සිරුරෙහි අභ්‍යන්තර අවයව සියල්ල ඉවත් කරනවා. ඉන්පසු සිරුරේ මාංශ පේශීන්වල සියුම් පැලීම් සිදු කර ඒවායේ විශේෂයෙන් නතා ගත් ලුණු කුඩු සහිත මිශ්‍රණයක් ගල්වනවා. ඉන් පසු ශාක සාර, තෙල් වර්ග, මැලියම් වර්ග ඇතුළත් මිශ්‍රණයක් ගල්වූ රෙදිවලින් ඒ මමිය ඔතනවා. ඊට කලින් මමියන් ආරක්ෂා කළේ වියළි කාන්තාරයේ වළලා වියලා ගැනීමෙන්. රසායනිකව පිළියම් යෙදීමක් තිබුණේ නැහැ.
මේවා ගැන විද්‍යාත්මකව විමසා බලන්නට වායු වර්ණාවලීක්ෂමානයක් එනම් වර්ණාවලිමිතික (Gas chromatography/mass spectrometry) තාක්ෂණයන් යොදා ගන්නවා. ඉපැරණි එම්බාම් ක්‍රියාවලිය විමසන්න දැනට ඇති හොඳම ක්‍රමය එයයි.
ඒ අධ්‍යයනයන්ගේ තමයි, මිනී එම්බාම් කරන්න, තල තෙල් වැනි ශාක තෙල් වර්ග, ෆීනොලික ඇසිඩ් වර්ග, මෙන් ම ශාකවලින් නිස්සාරණය කර ගන්නා සුගන්ධ තෙල් හා පොලිසැකරයිඩ් වර්ග යොදා ගත් බව හෙළි වුණේ. මේ හැරෙන්නට ඔවුන් සිරුරේ ජලය ඉවත් කරන්නට විවිධ ක්‍රම භාවිත කර තියෙනවා.
- පර්සි ජයමාන්න
0 Comments