HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හඳ‍ෙහි නිවාස තනන්න දැන් සූදානම්! ගෙයක මාසික කුලිය රු. ලක්ෂ 65ක්!

දැන් හ‍ඳ මත වාසයට ඇමරිකාව සූදානම්! ඒ සඳහා මඟ පෙන්වන විස්තර පුස්තිකාවක් පවා දැනටමත් පළ කරලා! මාසයක් නවතින්න එහි යනව නම් ඔබට නිවාස කුලිය වශයෙන් මසකට ඇමරිකන් ඩොලර් 325,067ක් එනම් රුපියල් 65 ලක්ෂයක් වැය කරන්න සිදු වෙනවා! මේ චන්ද්‍ර නිවාසවල උල්කාශ්මවලින් ආරක්ෂිත ජනේල ඇතුළු වෙනත් පහසුකම් රැසක් තියෙනවා.
හඳ මත ඉදිකළ නිවසක් චිත්‍රශිල්පියකට පෙනුන හැටි. ඉහළින් පායන්නේ පොළොවයි!

එහි තනන පළමු නිවාසය ඉදි කිරීමට ඩොලර් මිලියන 40කටත් (රුපියල් කෝටි 800ක්) වඩා වැය වෙනවා. ඉන්පසු කරන ඉදිකිරීම්වලට එතරම් මුදලක් වැය වන්නේ නැහැ. ඒ මොකද? ඒ වෙන කොට ගොඩනැගිලි ද්‍රව්‍ය හඳට ගෙන ගොස් ඇති නිසා. 

නාසා ආයතනය ප්‍රථම කාන්තාව හා ඊළඟ මිනිසා හඳට යවන්න දැන් සුදානම් වෙමින් ඉන්න‍ෙ. ඒ ගමනින් පස්සේ හඳ මත ජනාවාස බිහිවීමට මඟ පෑදේවි. ඒත් මේ මෑතදී පළ කෙරුණුු අධ්‍යයනයකට අනුව හඳ මත වාසය ටිකක් වැඩිපුර වියදම් යන වැඩක්. 

නාසා ආයතනය 2024 දී තමයි හඳට යන ආටිමීස් මෙහෙයුම පටන් ගන්න සැලසුම් කර ඇත්තේ. එහි යන චන්ද්‍රගාමීන් පිරිස තමයි හ‍ඳ‍ෙහි ජනාවාස පිහිටුවීමට සුදුසු තැන් ගැන හොයා බලන්නෙ. ඒ අතර අනෙක් සමාගම් අවධානය යොමු කරලා තියෙනවා ඒ ස්වාභාවික චන්ද්‍රිකාව මත මිනිසා ජනාවාස අරඹන කොට ඔවුන්ට කළ හැකි මොනවාදැයි සොයා බලන්න. ‘මනි’ (‘Money.co.uk) කියන වෙබ් අඩවිය මේ අතින් ඉදිරියෙන්ම ඉන්නවා. ඔවුන් ඒ සඳහා වන වියදම් ගැන සොයා බලා විස්තර පළ කරලා තියෙනවා, හඳ‍ෙහි පදිංචියට යන අයට දැන ගැනීම පිණිස. 

නිවසේ ඇතුළත කාමර වෙන් කෙරෙන හැටි. අපේ සාමාන්‍ය නිවාසයක නැති 
හරිතාගාර හා ජලය ප්‍රතිචක්‍රීකරණය කරන කාමරයක්, න්‍යෂ්ටික බලාගාරයක් මෙයට ඇතුළත් වෙනවා.

මුලින් ම ඔවුන් හඳ‍ෙහි නිවාස ඉදිකිරීමේ දී අවධානය යොමු කළ යුතු අංශ ගැන විමසා බැලුවා. එහිදී ඒ වායුගෝලයට හා පරිසරයට උචිත වන, පාවිච්චි කළ යුතු, විශේෂ අමු ද්‍රව්‍ය ගැන හෙව්වා. ඒ ඉදිකිරීම්වලට අවශ්‍ය සේවකයන් එහි ගෙන යන ආකාරය ගැන විමසා බැලුවා. 

මේ හ‍ඳ‍ෙහි ඉදිකිරීම් සඳහා වන වියදම්වලට අවශ්‍ය පෘථිවියේ සිට හඳට භාණ්ඩ ප්‍රවාහයට වන වැය ගැන තොරතුරු ඔවුන් ලබා ගෙන ඇත්තේ ස්පේස් එක්ස් (SpaceX) ආයතනයෙන්. ඔවුන් පිරි වැය දී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයට රාත්තල් බර අනුවයි. 

චන්ද්‍ර නිවසේ කාමරයක් තුළ දසුනක්.

ඒ අනුව බලන විට හඳ මත තැනෙන මුල්ම අංග සම්පූර්ණ නිවස ඉදිකරන්නට ඩොලර් 48,454,063ක මුදලක් ඒ කියන්නේ රුපියල්වලින් නම් කෝටි 96ක් විතර වැය වෙනවා. ඒක මේ මිහිමත නිවසක් ඉදිකරන්නට යන මුදල එක්ක සංසන්දනය කරන කොට ‍අති විශාල වියදමක්. ඒත් ඉන්පසු තනන ගෙවල් සඳහා වැය වෙන වියදම ඩොලර් 40,662,642 ක් දක්වා අඩු වෙනවා. ඒ වන විට අමු ද්‍රව්‍ය හා ශ්‍රමය එහි ගෙන ගොස් අවසන් නිසයි. 

හඳ මත ජීවිත්වීමේ දී ඊට ආවේණික ජීවන රටාවක්, ශෛලියක් තියෙනවා. එහි ජීවත්වීමේ දී එහි ඇති ආන්තික තත්වයන් නිසා වැඩිපුර අවශ්‍ය වන්නේ බලශක්තියයි, ඒ නිසා විකල්ප භාවිතයන් කීපයක් යෝජනා කෙරෙනවා. එයින් වඩාත්ම කාර්යක්ෂම බලශක්ති සැපයුම වන්නේ න්‍යෂ්ටික බලශක්තියයි. ඒ සඳහා කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් අවශ්‍ය වෙනවා. එවැන්නක මිල ඩොලර් බිලියන 1.3ක් පමණ වෙනවා. මෙය ගෙවල් කීපයකට යොදා ගත හැකියි. 

දැන් පළ කර ඇති චන්ද්‍ර නිවාස සැලසුම

තවත් විකල්පයක් වශයෙන් යොදා ගත හැකි සූර්ය බලය යෙදුවොත් ඒ සඳහා එක නිවසකට පැනල 34ක් ඕනෑ කරනවා. එයට නිවසකට යන්නේ ඩොලර් 23,616ක් පමණයි. 

හඳට ගියාට පස්සේ එහි නිවැසියන්ට එහි ජීවත්වීමේ දී තමනට අවශ්‍ය ආහාර ජාති වවා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් හතර දෙනෙකු ඉන්නා නිවසකට නම් හරිතාගාර හතක් අවශ්‍ය වෙනවා. එවිට ආහාර ටොන් 1.1ක් නිපදවා ගන්න පුලුවන්. ඒ තරම් දේවල් වවා ගන්නත් විශාල ජලය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. 

නාසා ආයතනය පසුගිය ඔක්තෝබරයේ දී ප්‍රකාශයට පත් කළා සඳ මතුපිට හිරු එළිය වැටෙන පැත්තේ ජලය තියෙන බව. එය හඳ මතට යන චන්ද්‍රගාමීන්ට යම්තම් ප්‍රමාණවත් වුනත් එහි ජීවත්වන අයටයි ආහාර වගාවටයි කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ‍එහි එක නිවසක් සඳහා වසරකට ජලය ටොන් ටොන් 5.9ක් අවශ්‍ය වෙනවා. ඔවුන් දක්වන හැටියට මේ ජලය අවශ්‍යතාව සපුරා ගන්නට නම් සියලුම අප ජලය නැවත ප්‍රතිචක්‍රීකරණය කර ගන්නට සිදු වෙනවා. 

චන්ද්‍ර නිවසක් තුළ සුව පහසු කාමරයක් තුළ මවක් හා දරුවෙක්.

හඳ‍ෙහි හීලියම් 3 මූල ද්‍රව්‍ය ඇති බව චීනයේ ගවේෂණවලින් හෙළි වී තිබෙන නිසා එය නිවාසවලට විදුලිය ලබා දීමට මේ හීලියම් 3 භාවිත කළ හැකි බවයි. 

හඳ‍ෙහි ජීවත්වීමට යන පිරිවැය ගැන ගණනය කළාට පසු ඊළඟට සිදු කෙරෙන්නේ ජනාවාස පිහිටුවීමට සුදුසු බිම් ප්‍රදේශ තෝරා ගැනීමයි. ඔවුන් දැනටමත් අපේක්ෂා කර ඇති පරිදි ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සී ඔෆ් රේන්ස් (Sea of Rains) හා මාරේ ඉම්බ්‍රියම් (Mare Imbrium) යන ප්‍රදේශයි. 

ඇපෙ‍ාලෝ නිවුන් සොහොයුරිය හඳට පළමු කත ගෙන යාවි! 

නාසා ආයතනය 2024 දී පළමු කාන්තාව හඳට යවන්න සූදානම්. ඒ ආටිමිස් අභ්‍යවකාශ වැඩසටහන මගින්. ආටිමීස් නම ඊට දී තිබෙන්නේ ග්‍රීක දේවකථාවල එන ඒ නමින් යුත් දෙවඟනගේ නමින්. ඇයගේ නිවුන් ‍සො‍හොයුරිය වූ ඇපොලෝ සඳට අධිපති දෙවඟනයි. 

ආටිමීස් 1 (Artemis 1) තමයි මෙවර හඳට යන මුල්ම ගමන වන්නේ. මුලු ආටිමීස් වැඩපිළිවෙළ මගින් වතා ගණනාවකදී හඳටත් අඟහරුටත් ගවේෂණය සඳහා මිනිසුන් ගෙන යාවි. ආටිමීස් 1 කියන්නේ ඈත අභ්‍යවකාශයට ගවේෂණ යානා යවන වැඩ සටහනක්. එයට යොදා ගැනෙන්නේ ඔරායන් අභ්‍යවකාශ යානයත්, මෙතෙක් යැවෙන බලවත්ම රොකටය ඇතුළත් අභ්‍යවකාශ යානා පද්ධතිය (Space Launch System) මෙයයි. 

ආටීමීස් යානය ගැන නාසා නිකුත් කළ වීඩියෝවත් පහතින් නරඹන්න! 

ඔරායන් අභ්‍යවකාශ යානයට මෙතෙක් කිසිම අභ්‍යවකාශ යානයතට නොහැකි තරම් කාලයක් අභ්‍යවකාශයේ ගමන් කරන්න පුලුවන්. අභ්‍යවකාශ නැවතුම්පොළකට සම්බන්ධ නොවී අභ්‍යවකාශයේ රැ‍ඳ‍ෙන්න පුලුවන්. එයට පෘථිවියේ සිට කි.මී. 450,000ක් ඈතටත් හඳටත් එහාට තවත් කි.මී. දසදහස් ගණනක් ඈතටත් ගොස් ඉක්මනින්ම ආපසු ආ හැකියි. මුල් ගමනේදී එයට මෙට්රික් ටොන් 26කට වඩා ගෙන යා හැකි අතර, අවසාන ගමන්වල දී මෙට්රික් ටොන් 45ක් ගෙන යාමට හැකි වේවි. 

මේ චන්ද්‍ර සංචාර අවසන් භාගයට ළඟාවෙද්දී 2028 දී තරම මිනිස් ජනාවාස පිහිටු වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments