HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

70 හැවිරිදි වියේදී සිය 40 වැනි කුරුලු පැටියා තුරුලු කර ගත් ‘නැණවතී’!

දැනට හඳුනාගෙන ඇති පරිදි ලෝකයේ වනගතව වෙසෙන වැඩි ම වයස්ගත කිරිල්ලිය ඇයයි. ඇයට නමකුත් දීලා තියෙනවා. ඒ ‘නැණවතී’ යන අරුත් ඇති ‘විස්ඩම්’ (Wisdom). ඇය ලේසන් ඇල්බත්‍රස (Laysan albatross) පක්ෂි වර්ගයට අයත් කිරිල්ලියක්. ඇය පසුගියදා 40 වැනි වතාවටත් අම්මා කෙනෙක් වුණා. දැන් ඔබ අසාවි කොහොමද වනගතව ඉන්නවා නම් වයස කියන්නේ? කියලා. 

ලෝකයේ වනගතව වෙසෙන වැඩි ම වයස්ගත කිරිල්ලිය වන 70 හැවිරිදි ‘නැණවතී’ (Wisdom) 
මෙහි සිටින්නේ 2014 දී ඇය බිහි කළ පැටවා සහ අනන්‍යතාව සඳහා පාදයට දැමූ මුදුවත් සමග. 

ඔබ දන්නවානේ කුරුල්ලන් ගැන නිරික්ෂණය කරන පක්ෂි විද්‍යාඥයන් ඔවුන් නිරීක්ෂණය කරන්න අනන්‍යතාව සඳහා පාදවලට මුදු ලන බව. ඒ විදියේ 1956 මුදු ලෑමට අල්ලා ගත් ඇය ඒ වන අවුරුදු පහක විතර කිරිල්ලියක්. ඒ ඔවුන් බිත්තර දමන පරිණත වයසයි. පක්ෂි විද්‍යාඥයන් ඇයට මුදුවක් දාලා, ඒ ගමන් නමකුත් දාල, තමයි ආපසු ඇය ජීවත් වුණු පරිසරයට මුදා හැරියේ. 

මේ ලේසන් ඇල්බත්‍රසයන් ලෝකයේ දිග ම පියාපත් තියෙන යෝධ කුරුලු වර්ගයට නෑදෑකමත් තිබුණත් එච්චර විශාල කුරුල්ලෙක් නෙවෙයි. ප්‍රමාණයෙන් කුඩා මුහුදු ලිහිණි වර්ගයක්. හවායි දූපත් වල සිට කි.මී. 1,300ක් ඈතින් පිහිටි කුඩා කොදෙව් හෙවත් අතොල සමූහයකින් එකක් වූ මිඩ්වේ අතොලෙ (Midway Atoll) දි තමයි මේ කිරිල්ලිය බිත්තරය දමා තියෙන්නේ. ඒ කොදෙව්වලින් එකක නම අනුව තමයි ඔවුන් ලේසාන් කියා හැඳින්වෙන්නේ. උතුරු පැසිපික් සාගරයේ විතරයි, මේ පක්ෂි වි‍ශේෂය දැක ගත හැක්කේ. 

සෑම ශීත කාලයකදීම ඔවුන් මේ කොදෙව් අතර මැද දූපතකට එක් රැස් වෙනවා.

ඇය ඇගේ අලුත් සගයා වූ කුරුල්ලා සමග ජීවත්වෙන්න පටන් අරන් තියෙන්නේ 2010 සිටයි. ඔහුටත් ඔවුන් ‘අකීකමායි’ (Akeakamai) කියා නමක් දාලා තියෙනවා. ඒ බව කියන්නේ එක්සත් ජනපදයේ මත්ස්‍ය හා වනජීවී සේවාවට (US Fish and Wildlife Service) අයත් කුරුලු විශේෂඥයන් පිරිසයි. 

මේ කුරුල්ලන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් දහයෙන් නව පංගුවක් ම ජීවත්වන්නේ මුහුදේයි. ඒ නිසා පර්යේෂකයන්ට ඔවුන්ව අධ්‍යයනය කළ හැක්කේ බිත්තර දැමීමට පමණක් එන, හවායි දූපත් අසල ඇති මේ අභිජනන බිම්වලදී විතරයි. 

‘මේ කිරිල්ලිය මෙසේ හමුවීම ඇත්තෙන් ම ලොව සියලුම පක්ෂීලෝලීන්ගේ ප්‍රීතියට කරුණක් වෙනවා නොඅනුමානයි. ‍මේ ගැන කරන අධ්‍යයනයන්වලින් මේ අලංකාර කුරුල්ලන් රැක ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට හැකි වෙනවා.’යයි කුරුලු විශේෂඥයන් වැඩිදුරටත් කියනවා. ‍

ඇයගේ සහකරු ‘අකීකමායි’ (Akeakamai) සමග මෙහෙම ඉන්නේ 2010 සිටයි

බ්‍රිතාන්‍ය ජාතික සත්ව විද්‍යාඥයකු හා බැංකුකරුවකු වූ ලයනල් වෝල්ටර් රොත්චයිල්ඩ් තමයි, 1893 දී ප්‍රථම වරට මේ කුරුල්ලන් ගැන විද්‍යාත්මක විස්තරයක් කළේ. හවායි දූපත්වල බහුලව දැකිය හැකි කුරුල්ලන් අතර දෙවැනි තැන හිමිකර ගෙන සිටින මේ කුරුලු විශේෂය මිලියන 2.5ක් පමණ මේ දූපත්වල වෙසෙනවා. 

21 වැනි සියවස තෙක් විශ්වාස කරනු ලැබුවේ මේ කුරුල්ලන්ගේ පරමායුෂ වසර 40ක් කියායි. විස්ඩම් තමයි ඒ කතාව බොරු බව ජීවත්වීමෙන්ම ඔප්පු කළේ. 2002 දී මේ විස්ඩම් කිරිල්ලිය දුටු නිරීක්ෂණ කණ්ඩායමේ චන්ඩ්ලර් රොබින්ස් එක්වරම ඇගේ පා ලූ මුදුව පළුදු වී ඇති බව දුටුවා. ඔවුන් ඒ කිරිල්ලි අල්ලා ගෙන අලුත් මුදුවක් දමන්න හදද්දී තමයි ඔවුන් දුටුවේ ඒ මුදුව ඊට වසර 46කට පෙර දමපු එකක් බව. 

70 හැවිරිදි කිරිල්ලිය පසුගිය මාසේ තවත් එක් බිත්තරයක් දැම්මා. හවායි දූපත්වල සිට සැ.1300ක් 
දුරින් පිහිටි මිඩ්වේ අතොලෙ (Midway Atoll) දියි.

විස්ඩම් මේ තරම් කාලයක් තිස්සේ ජීවත්ව සිටීම ඔවුන්ගේ පුදුමයට හේතු වුණා. වර්තමානයේ ලේසන් ඇල්බත්‍රසයන්ට ඇති වන විවිධ තර්ජන, දරුණු දේශගුණික තත්වයන්, විලෝපික මෝරුන්, ආක්‍රමණකාරී මීයන් ආදීන් ඔවුන් හමුවේ මෙසේ වනගතව දිවි රැක ගැනීම ඇත්තෙන්ම විස්මිත දෙයක්. 

මේ මුහුදු කිරිල්ලියක් වසරකට දමන්නේ එක් බිත්තරයක් විතරයි. ඒ නිසා එකම පැටියා රැක ගැනීමත්. ලොකු වනතුරු ජීවත්කරවීමත් විශාල අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. 

විස්ඩම් කිරිල්ලිය සිය එකම බිත්තරය රකිද්දී (වමේ), පසුව එකම පැටවා සමඟ (දකුණේ)

‘විස්ඩම් ඇගේ සහකරුවා ලෙස තෝරාගෙන ඇති අකීකමායි නම් කුරුල්ලා ඇය සමග දිගු කලක් තිස්සේ එකටයි, ජීවත්වන්නේ. 2010 සිට ඔහු ඇගේ විශ්වාසදායක සහකරුවාව සිටිනවා. ඊට කලින් ඇගේ ජීවිතකාලය තුළ සහකරුවන් කීපදෙනෙක් ඉන්නට ඇති.’ ඒ විශේෂඥ කණ්ඩායම කියනවා. 

‘ඇල්බත්‍රසයන්ගේ මේ බැඳීම අත්‍යවශ්‍යයි, වසරකට දමන එකම බිත්තරයකින් ලැබෙන එකම පැටවා බලා කියා ගැනීමට ඒ බැඳීම විශාල පිටිවහලක් වෙනවා. මේ වගේ බැඳීමක් ඇති වෙන්න කාලයක් ගත වෙනවා. ඒ වගේ ම මෙවන් බැඳීමක් දශක ගණනාවක් නොනැසී පවතිනවා. සමහර විට ඔවුන්ගෙන් එකකු නැසෙන තෙක් පවතිනවා.’ ඒ විශේෂඥයන්ගේ මතයයි. 

පහත වීඩයෝවෙන් මේ කුරුල්ලන්ගේ අනංගරංගයන් දැක ගන්න පුලුවන් 

‘තම සහකාරයා තෝරා ගන්නට තරුණ ඇල්බත්‍රස කුරුල්ලන්, මිනිසා වසර දහස් ගණනක් තිස්සේ යොදා ගත් ක්‍රමයක් තමයි, පාචිච්චි කරන්නේ. ඔවුන් තම සහකරුවන් තෝරා ගන්නට, හඳුනා ගැනීමේ සාද පවත්වනවා.’ විශේෂඥයන් කියනවා. 

‘සෑම ශීත කාලයකදීම ඔවුන් මේ කොදෙව් අතර මැද දූපතකට එක් රැස් වෙනවා. එහිදි තමා ඔවුන් තෝරා ගත් අය සමග අනංගරංගනවල යෙදෙන්නේ. මෙසේ වසර කීපයක් ඔවුනොවුන් ආශ්‍රය කළ පසුව, අවසානයේ දී ජීවිතකාලයක් පුරා එකට සිටින්නට සුදුසු සහකරුවා හෝ සහකාරිය හෝ තෝරා ගනු ලබනවා. කුරුලු ආදරයේ විවිධ ලක්ෂණ තුළින් තමයි එකිනෙකාව හඳුනා ගන්නේ. එකිනෙකා ගේ පිහාටු පීරන්න, එකිනෙකාට තුරුලු වී උණුසුම සපයන්න, වඩාත් සුදුසු කෙනා තෝරා ගත් පසුව වසර තුන හතරක් ප්‍රේමයෙන් හිඳ, ඊට පසුවයි, බිත්තරයක් දමා පැටවකු බිහි කරන්නේ. 

‘ඇල්බත්‍රසයන් දිවි රැක ගෙන වැඩුණු කුරුල්ලන් බවට පත් වී, සහකරුවකු තෝරාගෙන, සාර්ථක මාපියන් බවට පත් වීම, මෙම කුරුලු ගහණයේ පැවත්මට අතිශයින් ම වැදගත් වෙනවා.’ විශේෂඥයන් වැඩිදුරටත් කියනවා. 

- පර්සි ජයමාන්න 

මේ කුරුල්ලන් වෙසෙන්නේ උතුරු පැසිපික් සාගරයේ මේ මිඩ්වේ අතොලෙ ආශ්‍රිත කොදෙව්වලයි.

Post a Comment

0 Comments