HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිලියන 50කට පෙර ගොඩබිම ඇවිද ගිය තල්මසාගේ මීමුත්තා හමුවෙයි!

තල්මසා මුහුදට යන්නට ඉස්සර ගොඩබිම දුව ඇවිද්ද මුවෙක් වාගේ සතෙක්ද? මේ ගැන හෙළිදරව්වක් පසුගියදා ඇමරිකාවේ ඔහියෝ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කරනු ලැබුවා. මේ අපූරු හෙළිදරව්ව කරනු ලැබුවේ වසර මිලියන 50ක් අතීතයේ සතකුගේ අස්ථි පර්යේෂණයකට ලක් කිරීමෙන් පසුවයි. වසර මිලියන 47ක් පැරණි පොසිල අස්ථි වගයක් හෑන්ස් තෙවිසෙන් (Hans Thewissen) නම් මහාචාර්යවරයා විසින් සොයා ගනු ලැබුවේ පාකිස්ථානයෙන්. 
මිහිමත සිටින විශාලතම සතා වූ තල්මහ අද ගැඹුරු මුහුදේ පිහිනුවත් වසර මිලියන 50කට පෙර 
උගේ ආදීමයා ගොඩබිම පාද හතරකින් දිව ගිය මුවකුට සමාන ඉන්දෝහියුස් 
නම් සතකු බව දැන් හෙළිකර ගෙන තියෙනවා.

නරියකුගේ ප්‍රමාණයේ යුත් එහෙත් දිගටි, තරබාරු සිරුරක් ඇති අමුතු සතකුට අයත් මේ අස්ථි තියුණු ලෙස පිරික්මට ලක් ලක් කිරීමෙන් පසුවයි, මේ සතා තල්මසාගේ ආදිමයා ලෙස හඳුන්වනු ලැබුවේ. ඒ සතාටත් නමක් තියෙනවා. ඌ ‘කුඩා මුවා’ යන අරුත් ඇති ඉන්දෝහියුස් (Indohyus) නම් ක්ෂීරපායී සිව්පාවෙක්. 

මහාචාර්ය හෑන්ස් තෙවිසෙන් හා කණ්ඩායම සොයා ගෙන තියෙනවා මේ ඉන්දෝහියුස් කියන සතා තමන් ගොදුරු කරගන්නට එන විලෝපිකයන්ගෙන් බේරීමට හිපොපොටේමස් සතුන් වගේ ජලයේ ආහාර සොයමින් සැරිසැරූ හැටි ගැන. ඒ වගේම කල්යාමේදී වැඩිපුර කාලයක් ජලයේ ආහාර සොයමින් ජීවත්වෙන්නත් පසුව ජලයේ පරිසරයට අනුගත වන්නටත් අනතුරුව මුලුමනින් ම සාගර ජීවිතයට හැඩගැසන්නටත් ඇති කියා ඔවුන් පරිකල්පනය කරනවා. 

විද්‍යාඥයන් කීවේ ඒ සතා ‘නරියකු බඳු ක්ෂීරපායී සතකු බවත් හැඩරුවින් 
 කුඩා ප්‍රමාණයේ මුවකුට සමාන බව’ත්ය.

චාල්ස් චාවින්ගෙන් පසු විද්‍යාඥයන් අතර පිළිගැනීමක් ඇති වුණා, තල්මසුන් ආදිකාලයේ දී ගොඩබිම සැරිසැරූ ක්ෂීරපායීන් හෙවත් මැමේලියාවන්ගෙන් පැවැත එන බවට. ඒත් ඒ සඳහා පිළිගත හැකි සාක්ෂි තිබුණේ නැහැ. එය හෙළිදරව් නොවූ රහසක් වශයෙනුයි පැවතුණේ. ඒත් පාකිස්ථානයේ දී මහාචාර්ය හෑන්ස් තෙවිසෙන් හා කණ්ඩායම සොයා ගත් පොසිලවලින් තමයි, ඒ අබිරහස් සම්බන්ධය හෙළිදරවු කර ගත හැකි වුණේ. 

ඒ පොසිල ඔවුන්ට හමු වුණේ කාශ්මීරයේ මඩගල් අතර තැන්පත් වී තිබියදියි. විශේෂයෙන් කාශ්මීරයේ ඉන්දියාවට අයත් කොටසෙහි මේ ඉන්දෝහියුස් සතුන්ගේ අස්ථි පොසිල සිය ගණනක් හමු වුණා. ඒවා පරීක්ෂා කළ විද්‍යාඥයන් කීවේ ඒ සතා ‘නරියකු බඳු ක්ෂීරපායී සතකු බවත් හැඩරුවින් කුඩා ප්‍රමාණයේ මුවකුට සමාන බව’ත්ය. 


තල්මසුන් හා හිපොපොටේමසුන්ගේ පරිණාමය ගැන සොයන මහාචාර්ය හෑන්ස් තෙවිසෙන්ට 
පාකිස්ථානයෙන් හමු වී තියෙනවා, වසර මිලියන 47ක් පැරණි පොසිල අස්ථි රැසක්, 
දිගටි සිරුරක් හා වල්ගයක් ඇති මහත සතකුගේ.

මේ පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී මේ පර්යේෂකයන්ට සොයා ගැනීමට හැකි වුණා, තල්මසුන්ගේ හා ඉන්දෝහියුස්ගේ හිස්කබලේ සහ කන් අතර බොහෝ ‍සමානතා ඇති බව. ඉන්දෝහියුස්ගේ සැකිල්ලේ අස්ථිවල පිට ස්තරය එම ප්‍රමාණයේ අනෙක් ක්ෂීරපායීන්ට වඩා බොහෝ ඝනකමින් යුත් බව. මේ කායික ලක්ෂණය මේ කාලයේ හිපොපොටේමස් වැනි ජලයේ හැසිරෙන මන්දගාමී මැමේලියාවන් තුළ බොහෝ විට දකින්නට ලැබෙන්නක්. 

‘අපි හිතනවා, ඒ සතුන් දියට බැස දියයට හැංගිලා බලා ඉන්න ඇති, විලෝපිකයන් දිය බී ඉවත් වී යනතුරු, දැන් කිඹුලන් කරනවා වාගේ’ තෙවිසෙන් කියනවා. 

ඉන්දෝහියුස්ගේගේ ජලචර චර්යාවන් ඔවුන් තහවුරු කර ගෙන ඇත්තේ ඒ සතුන්ගේ දත්වල ඇති රසායනික සංයුතිය පරීක්ෂාවට ලක්කිරීමෙන්. එහිදී හෙළිවුණා, ඔක්සිජන් සමස්ථානික අනුපාතයන් ඒ ජලජ සතුන්ගේ අනුපාතයන්ට සමාන බව. ඒ හැම දෙයකින් ම පෙනී යන්නේ මේ සතාත් වැඩි කාලයක් ජලාශ්‍රිතව වාසය කර ඇති බවයි. මේ සොයා ගැනීම්වලට පෙර විශ්වාස කළේ තල්මසුන් සාගරයේ වෙසෙන මාළු අල්ලා ගෙන කෑමට පුරුදු වූ මාංශභක්ෂක ආදීමයකුගෙන් පැවත එන්නට ඇත කියායි. 

පොසිල හිස්කබලෙහි මැද කනෙහි ඇති ඉඩෙහි අස්ථි ‍කොටසක් තිබූ නිසා තල්මසුන්, ඩොල්පින් ආදීන් ඇතුළත් වන සෙටේෂියන් ගෝත්‍රයට ආවේණික දෙයක් ලෙස හඳුනා ගනු ලැබුවා. හිස් කබලෙහි ඇස් කෙවනි පිහිටා ඇත්තේ ද තල්මසුන්ගේ පිහිටන ආකාරයටයි. 

තෙවිසෙන් හා කණ්ඩායම ඉන්දෝහියුස්ගේගේ දත් පරීක්ෂා කර බැලුවා කෑමට ගන්නා දේ ගැන අදහසක් ගන්නට. ගොඩබිම වෙසෙන සතුන්ගේ දත්වල එනමලයෙහි කාබන් හා ඔක්සිජන් සමස්ථානික මට්ටම් ජලාශ්‍රිත සතුන්ගේ ඒවාට වඩා වෙනස් වෙනවා. එසේ සමස්ථානික සංයුතියන් වෙනස් වන්නේ ඔවුන් කෑමට ගන්නා ආහාර හා ජලය අනුවයි. 

මඩෙහි රැඳී තිබී හමුවූ පොසිල අස්ථිවල, වර්තමාන තල්මසුන්ගේ හිස් කබලේ 
මැද කනේ අස්ථියට සමානකම් ඇති බව.

ඉන්දෝහියුස්ගේ දත්වල කාබන්-13 සමස්ථානික මට්ටම් වැඩියෙන් තිබුණා, ඉයෝසීන යුගයේ විසූ ජලාශ්‍රිතව ආහාර ගත් තල්මසුන්ගේ දත්වලට වඩා. ඒ වෙනස් වීමට හේතුව ඔවුන් ගොඩබිමෙහි ශාක වර්ග ආහාරයට ගත් නිසයි. 

‘අපට වැඩිදුරටත් විස්තර අවශ්‍ය වුුණා, ඔවුන් කෑවේ මොනවා යන්න ගැන. ඔවුන්ගේ දත්වල තිබූ සමස්ථානිකවලින් අපට පෙනී ගියේ ඔවුන්ගේ ආහාර දිය යට තිබූ ශාක නොවූ බවයි. ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’ මහාචාර්ය තෙවිසෙන් කියනවා. 

තවත් සාධකයක් වන්නේ ඉන්දෝහියුස්ගේගේ ගාත්‍රා අස්ථි හිපොපොටේමසුන්ගේ ගාත්‍රා අස්ථි මෙන් වැඩි ඝනකමකින් හා වැඩි බරකින් යුත් ඒවා වීමයි. එයින් පෙනී යන්නේ ඒ සතා ජලය මත දිව ගිය අතර, ජලයේ පා වීම වැළැක්වීමට, උගේ බරින් වැඩි අස්ථි උපකාර වූ බවයි. 

මේ කරුණු පාදක කර ‍ගෙන තෙවිසෙන් කියන්නේ තල්මසුන්‍ගේ ආදීමයන් ජලයට පිවිසෙන්නට ඇත්තේ වි‍ලෝපිකයන්ගෙන් ගැළවීමේ උපක්‍රමයක් හැටියට බවයි. ඒ නිසා ඔවුන් තුළ ජලාශ්‍රිත වැවෙන ශාක ආහාරයට ගැනීමේ පුරුද්දක් නොවූ බවයි. ඔහුගේ අදහස එය බොහෝ කලෙකට පසු ඇති වූවක් බවයි. 

පහත වීඩියෝ නිර්මාණයෙන් ඉන්දෝහියුස් ජලයේ ඇවිද ගිය හැටි නරඹන්න! 

ඇමරිකාවේ ස්ටේට්ස්බරෝහී පිහිටි ජෝර්ජියා‍ දකුණු විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥයකු වූ ජොනතන් ගීස්ලර් මීට කලින් හඳුනාගෙන තිබුණා රොයිලිඩස් ගෝත්‍රයට අයත් වඳවී ගිය කුරංග විශේෂයක් හා තල්මසුන් අතර සම්බන්ධයක් ඇති බව. ඔහු මේ බව කීවේ කුඩා දත් කැබලි කීපයක් උපයෝගී කර ගෙනයි.මේ නව සොයා ගැනීම නිසා ඔහුගේ අදහස තහවුරු වෙනවා කියලයි ඔහු කියන්නේ. 

‘මේ පොසිල වැදගත් වන්නේ එයින් තහවුරු වෙනවා, සෙටේෂියන් ගෝත්‍රයේ ආදීමයන් අර්ධ ජලචර සත්ව විශේෂයක් වූ බව. මසුන් ආහාරයට ගන්නට හැකි වන සේ දත් පරිණාමය වූයේ පසුව බව.’යයි ගීස්ලර් කියනවා. 

තල්මසුන්ගේ මුල් ම ආදීමයන් විශේෂය ඇති වූයේ මීට වසර මිලියන 42ත් 48ත් අතර කාලයේදියි. තෙවිසෙන් කියන්නේ මුහුදු සිංහයන්ට ඇති සමානකම් පහදමින්. ඊළඟට ආවේ බැලීන් තල්මස් (Baleen whales) විශේෂයයි. ඒ වසර මිලියන 41කට පෙරයි. ඒ ආදීමයන්ගෙන් තමයි මොල්ලි තල්මහ (humpbacks) හා නිල් තල්මහ පරිණාමය වී ඇත්තේ. ඔවුන්ගෙන් වසර මිලියන හතකට පසුව දත් සහිත තල්මස් විශේෂ පරිණාමය වුණා. ඔවුන් තමා මේ දක්වා අපේ සාගරවල පිහිනමින් සිටින්නේ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments