25 සංවත්සර උත්සවය අමතමින් අගමැතිතුමා එදා ලෝක කුසලාන දිනූ කණ්ඩායම පැසසුවා. ‘එදා ක්‍රීඩා කළේ සාමාන්‍ය කණ්ඩායමක් නෙමෙයි. පවුලක් වගේ එකට බැඳුණු, මහා කැපවීමකින් ක්‍රියා කරපු, මුදලට වැඩ නොකළ, උපරිම කණ්ඩායම් හැඟීමෙන් යුතු, රට වෙනුවෙන් ම ක්‍රීඩා කළ, සුපිරි කණ්ඩායමක්. ඒක තමයි ජයග්‍රහණයට මුල් වුණේ.’ අගමැතිතුමා කිව්වා. විසිපස් වසරකට පෙර ඔවුන් පාකිස්ථානයේ දී ලත් ඒ සිහිවටන පදක්කම් අගමැතිතුමා ඔවුන්ට ගෙදර ගෙනියන්න දුන්නා. (ඒවා එතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුවයි, තිබුණේ.)
සම්මානය දිනාගෙන එන දවසේ වුණු දෙයක් ගැනත් අගමැතිතුමා මතක් කළා. ‘එදා සම්මානය අරන් එද්දී එවකට බලයේ සිට ජනාධිපතිනිය වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. අර්ජුනගේ පියා ඒ කැබිනෙට්ටුවේ ඇමතිවරයෙක්. ජනාධිපතිය කප් අරගෙන එන කණ්ඩායම පිළිගන්න බලාගෙන හිටියා. ඒත් අර්ජුන කප් එකත් කණ්ඩායමත් අර ගෙන කෙළින්ම ගියේ අපේ ක්‍රිකට් ජාතන්තරයට ගෙන යන්න මූලික වුණු, ගාමිණී දිසානායක මහත්තයගෙ ගෙදරටයි. ඒ වන විට කොටි ප්‍රහාරයකින් ඒ මහතා අපට අහිමිවෙලයි තිබුණෙ. ඒත් කළගුණ සැලකීමක් හැටියට එතුමාගේ බිරිඳට කප් එක පෙන්නලා කළගුණ මෙනෙහි කරල තමයි, අර්ජුන ජනාධිපතිනියගෙ නිල උත්සවයට ඒක අරන් ආවේ.’
එදා ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් අර්ජුන රණතුංග 25 වැනි සමරු උළෙලේදී ඓතිහාසික කතාවක් කළා. ඒ කතාව පහත වීඩියෝවෙන් බලන්න.
1996 පාකිස්ථානයේ ලාහෝර් නගරයේ ගඩාපි ක්‍රීඩාංගනයේ දී ජයග්‍රාහී කප් එකයි, තෑගි මුදලට ලැබුණු චෙක් එකයි අරගෙන පෙරහරෙන් පිට්ටනිය වටා යන්නට යද්දී සෙනඟගෙ තෙරපීම වැඩි වුණා. කප් එකත් අතින් අරගෙන ගිය අර්ජුන ඒකත් එක්කම පස්සෙන් ආ සෙනඟගෙ තෙරපුමට ඇද ගෙන වැටුණා. ‘චෙක් එක ඉස්සුව. කප් එක පරිස්සම් කර ගන්න’ කියලා පස්සෙන් ගිය මට කියවුනා, එහෙම කීවේ ඒ ජයග්‍රාහී මොහොතේ පස්සෙන් ගිය හෂාන් තිලකරත්නයි. ‘ඒ එක්ක ම ගුරා පැනලා කප් එක ගත්තා. චෙක් එකට වෙච්ච දෙයක් නෑ. මං ඒකෙ කීයක් තිබුණද දන්නෙත් නෑ.’ ඔහු කීවා.
අවසාන මහා තරගයට ආ ගමන අමතක නොවන එකක්. කොටිත් එක් යුද්ධයක පැටලිලා හිටිය නිසා ආරක්ෂාවට තර්ජනයක් කියා මුල් තරඟවලට එන එක ඕස්ට්‍රේලියානු පිලත් කොදෙව් පිලත් ශ්‍රී ලංකාවට ඒම ප්‍රතික්ෂේප කළා. අයිසීසී එක ඒ තරග නොපවත්වාම ජයග්‍රාහී ලකුණු ශ්‍රී ලංකාවට දුන්නා. සිම්බාබ්වේ පිලත් කෙන්යා පිලත් ශ්‍රී ලංකාවට ආවා. ඒ තරඟ ජයත් සමග මුල් තරඟ ක්‍රීඩා නොකරම ශ්‍රී ලංකාව උඩට ආවා.
මහ තරඟයට කලින් ඉන්දියාවත් එක්ක පැවති අර්ධ පූර්ව වටයේ ඉන්දියාවත් එක්ක තරගය පැවැත්වුණේ කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්හිදී එක් ලක්ෂ දසදහසකටත් වැඩි නරඹන්නන් පිරිසක් ඉදිරියෙයි. එහිදී මුලදී පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී 251ක් ලබා ගත්තා. 35 වැනි ඕවරය වන විට ඉන්දියානු පිල ලබා සිටියේ විකට් 8කට 120ක් පමණයි.
තරගයේ තීරක ක්ලයිව් ලොයිඩ් තරගය අතර මග නතර කර නරඹන්නන් සන්සුන් කරන අදහසින් ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයට යැව්වා. විනාඩි 10කට පසු යළිත් ක්‍රීඩාව පටන් ගත්තත් එය කර ගෙන යන්න නරඹන්නන් ඉඩ දුන්නේ නෑ. ඔවුන් තවත් වතුර බෝතලවලින් ගැහුවා. නැරඹුම් හල තුළ ගිනි දල්වන්නට පටන් ගත්තා. අන්තිමේදී ශ්‍රී ලංකාවට ජය ලබා දී තරගය නවතා දන්නට ක්ලයිව් ලොයිඩ් තීරණය කළා. ඒ වෙලාවේ එක් ඉන්දියානු නරඹන්නකු ‘ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සමාව ඉල්ලන වගන්තියක්’ ලියූ කොළයක් අල්ලා ගෙන සිටියා. එදා ටීවී එකෙන් දුටු ඒ පින්තූරය පසුවදා ශ්‍රී ලංකාවේ පුවත්පත්වල දැන්වීමක පළ කර තිබුණේ ඉන්දියානු තානාපති කාර්යාලය විසින්.
එදා ඉන්දියානු ක්‍රීඩකයන් ගිය බස්රථයටත් නරඹන්නන් පහර දුන්නා. ඔවුන් ගැලවුණේ අර්ජුන කල්තියා ශ්‍රී ලංකා පිලත් සමග හොර රහසේ ම ඉන්දියනු පිලත් තමන්ගේ බස්රථයට නංවාගෙන හෝටලයට ගෙන ගිය නිසයි.
ලෝක කුසලාන දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ නම ලොවපුරා හැම දෙනකුගේ අවධානයට යොමු වුණා. කලින් ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කිරීම නිසා කීර්තියක් ලබා සිටි ශ්‍රී ලංකාව යළිත් වරක් ලෝකයාගේ හදවත දිනා ගත්තේ ඒ විස්මිත තරග ජයත් සමගයි.
ඒ විස්මිත තරගයේ දී 1996 ශ්‍රී ලංකා පිල තැබූ ලෝක වාර්තා!
ලෝක කුසලාන අවසාන මහා තරගයක දී අඩුම දැවීම් (විකට් 3ක් දැවී) ඇතිව කුලසලාන දිනූ එකම රට - ශ්‍රී ලංකාව.
කාසියේ වාසිය දිනා දෙවැනියට පන්දුවට පහර දෙමින් තරගය ජයග්‍රහණය කළ එකම රට.
ඊට පෙර පැවති ලෝක කුසලාන අවසන් මහා තරග පහේදීම ජය ගත්තේ පළමුව පහර දුන් පිලයි. සත්කාරක හෝ සම සත්කාරක රටක් ලෝක කුසලාන දිනූ පළමු අවස්ථාව.
තරග හතරකට පමණක් සහභාගි වී ලෝක කුසලාන දිනූ එකම රට. (තරග දෙකක් පිළිමලුන් තරගයට නොපැමිණීම හේතුවෙන් ජයාග්‍රාහී ලකුණු ශ්‍රී ලංකාවට හිමි වුණා.)
අවසාන තරගයේ දී අරවින්දගේ ශතකය සමග බැඳුණු වාර්තා - ලෝක කුසලාන අවසන් මහා තරගයකදී ශතකයක් ලබා ගත් තුන්වැනි පිතිකරු, අරවින්ද ද සිල්වා නොදැවී 107යි. පළමු වැන්නා 1975 දී කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් 102 යි, දෙවැන්නා 1979 දී විවියන් රිචඩ්ස් නොදැවී 138 යි. ලෝක කුසලාන අවසන් මහා තරගයකදී වැඩිම ලකුණු (නොදැවී 107), වැඩිම කඩුලු (03), වැඩිම උඩ පන්දු (සම) 02ක් රැක ගත් ලොව එකම ක්‍රීඩකයා. තරගයේ වීරයා වූයේත් අරවින්ද ද සිල්වායි. එම තරගාවලියේ වීරයා වූයේ සනත් ජයසූරියයි.
ලෝක ඉතිහාසයේ විශිෂ්ට ක්‍රීඩා පිල් 50 අතරින් තුන්වැනි තැන ශ්‍රී ලංකාවට!
එංගලන්තයේ ‘ඩේලිමේල්’පත්‍රය තේරූ ලෝක ඉතිහාසයේ හොඳම ක්‍රීඩා පිල් 50 අතරින් තුන්වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ 1996 ශ්‍රී ලංකා ක්‍රිකට් පිලයි. ඒ බව 2012 ඔක්තෝබර් 14 වැනිදා ‘මල් කැකුළු’ තුළින් කීවා. මෙතැනින් කියවන්න!
එක්සත් රාජධානියේ ඩේලිමේල් පුවත්පත ක්‍රීඩා ඉතිහාසයේ ආරම්භයේ සිට 2010 වන තෙක් ලෝක ඉතිහාසයේ වඩාත් ආකර්ෂණීය වූ, විනෝදාස්වාදය සැපයූ ක්‍රීඩා කණ්ඩායම් 50ක් තේරුවා. එයින් පළමු 10 අතරෙහි තුන් වැනි තැනට 1996 දී ලෝක කුසලාන දිනූ අපේ කණ්ඩායම තේරී පත්වුණා. එහි මුලට තෝරා තිබුණේ 1970 දී පාපන්දු ලෝක කුසලාන දිනූ පේලේ නායකත්වය දැරූ බ්‍රසීල පාපන්දු කණ්ඩායමයි. දෙවැනි තැනට තෝරා තිබුණේ හාලම් ග්ලෝබ් ට්‍රොටර්ස් නම් ඇමරිකන් බාස්කට් බෝල් කණ්ඩායමයි. ලොව වෙනත් කිසිම ක්‍රිකට් කණ්ඩායමක් මුල් දහය අතරට තෝරා තිබුණේ නැහැ. වැඩි හරියක් තිබුණේ පාපන්දු කණ්ඩායම් වූ අතර 6 වන තැනට නම් කර තිබුණේ 1995 රග්බි කුසලාන දිනූ නවසීලන්තයේ ඕල්ඩ් බ්ලැක්ස් පිලයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තෝරමින් ඒ පිළිබඳ හේතු පාඨය මේ විදියටයි ලියා තිබුණේ. ”මේ කණ්ඩායම නිකම් ම විනෝදය සැපයූ කණ්ඩායමක් නෙවෙයි. ඔවුන් ඉතාමත් පහළ, නවක මට්ටමක සිට වසර කීපයක් තුළ ලෝක ශූරයන් බවට පත්වීම ඇදහිය නොහැකි තරම් දෙයක්. ලෝක කුසලානයේ සුරංගනා කතාව එයයි. ශ්‍රී ලංකාවට ආරම්භක ජවය සැපයුනේ ඔවුන්ගේ ආරම්භ පිතිකරු සනත් ජයසූරියගෙන්. ඔහුට පන්දු යැවූ හැමදෙනාම අසරණ කළ ඔහු එකල ලොව කිරුළු දරා සිටි සියලුම ප්‍රහාරක පිතිකරුවන්ට පරමාදර්ශයක් වුණා. ඒ තරඟය අරවින්ද සිල්වාට අමතක නොවන එකක් වූයේ ඔහු උඩ පන්දු දෙකක් රැක ගනිමින්, පන්දු යවා දක්ෂම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් වූ නායක මාක් ටේලර් හා රිකී පොන්ටින් ඇතුළු විකට් තුනක් දවා ගැනීමත් නොදැවී ලකුණු 107ක් ලබා ගැනීමත් නිසයි.”
0 Comments