මේ යෝධ ග්‍රහකය මීටර 340ක් දිගයි. එය පියවි ඇසට පෙනෙන්නේ නැහැ. සමහර විට තියුණු දුරදක්නයක් තුළින් එය දැක ගත හැකි වුනත් ඒත් මෑ ඇටයක් තරම් ප්‍රමාණයකිනුයි, එය පෙනෙන්නේ. මීට පෙර මුලින් ම මේ ග්‍රහකය දැක ඇත්තේ ඇරිසෝනාවේ කිටිහෝක් ජාතික ග්‍රහ නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන් පිරිසක්. එදා ඉඳන් ඔවුන් එහි ගමන් මග දෙස නොකඩවා බලා හිටියා. ඒ ග්‍රහකය සූර්යයා වටා කක්ෂයක යනවා. පෘථිවියත් සූර්යයා වටා කක්ෂයක යනවා. සූර්යයා වටා යද්දී ඒ වෙනස් කක්ෂ දෙක එකිනෙක කැපෙන අවස්ථාවක් එනවා. ඒ කැපෙන අවස්ථාවකදී ග්‍රහකයත් පෘථිවියත් එක තැනක පිහිටියොත් අනිවාර්යයෙන් ම ඒ දෙක එකිනෙක ගැටෙනවා.
එහෙම අවස්ථාවක් ගිය සතියේ සිදුවෙතැයි කලින් ගණනය කර තිබුණත් ඒක එහෙම වුණේ නැහැ. නමුත් 2068දී එවැනි අවස්ථාවක් උදා වෙතැයි දැන් ගණන් බලා තියෙනවා. එහෙම හැපුනොත් ට්‍රයිනයිට්‍රිටොලුවින් (TNT) නම් බිහිසුණු පිපිරුම් ද්‍රව්‍ය ටොන් මිලියන 880ක් එකවර පුපුරා යාමකට සමාන වේවි. මේ වතාවේ එය හඳටත් වඩා 44 ගුණයක් ඈතිනුයි පිහිටියේ. ඒ නිසා ගැටීමක් සිදුවුණේ නැහැ.
ඇපොපිස් සූර්යයා වටා යන්නේ පෘථිවියත් ඇතුළු වන කක්ෂයකයි. පෘථිවියට සූර්යයා වටා වරක් යාමට දින 365ක් ගත වන බව ඔබ දන්නවා නේ. මේ ග්‍රහකයට සූර්යයා වටා වරක් යාමට ගතවන්නේ දින 324ක් පමණයි.
මේ වතාවේ ටිකක් දුරින් වුනත් ඒ දුර ප්‍රමාණවත් තාරකා විද්‍යාඥයන් පිරිසට ඒ ගැන වැඩිදුරටත් හදාරන්නට. 2029 දී මෙය තවත් ළං වෙනවා. ඒ අවස්ථාවේ දී තව තවත් ඒ ගැන ඉගෙන ගන්නට ඉඩ ලැබෙනවා.
‘මේ වගේ ග්‍රහකයක් හැපෙනවායැයි කීම ලොවපුරා විද්‍යාඥයන් අතර වාද විවාදවලට තුඩු දෙන්නක්.’ ග්‍රහක ගැටුම් ආරක්ෂක උපදේශකයකු වූ විෂ්ණු රෙඩ්ඩි කියනවා. ‘ඒ නිසා අපි මේ ග්‍රහකය මීළඟට එන විට ඒ ගැන මාස ගණනක් තිස්සේ නිරීක්ෂණය කරන්නට බලාපොරොත්තු වෙනවා.’
2029 දී ඇපොපිස් පෘථිවියට තවතවත් ළඟින් යනවා. පෘථිවියේ ඉහළම චන්ද්‍රිකා රඳවන කක්ෂයක, එනම් කි.මී. 37,000ක් පමණ ඉහළින් යාවි. එය චන්ද්‍රයාට සියයට 10ක් ආසන්නවයි. ‘2029 දී මේ සමීප වීම අපේ විද්‍යාඥයන්ට ස්වර්ණමය අවස්ථාවක්’ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ මරීනා බ්‍රොසොවික් කියනවා. ‘අපට එය දෘෂ්ටි දුරේක්ෂකයන්ගෙන් පමණක් නොව රේඩාර් දුරේක්ෂකයන්ගෙන් ද හොඳින් නිරීක්ෂණය කළ හැකියි.’ ඇය වැඩිදුරටත් කියනවා.
2029 අප්‍රේල් 13 වැනිදා ඇපොපිස් පෘථිවියට මෙතෙක් වඩාත්ම ආසන්න වන දිනයයි. මේ ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවියට මේ තරම් ළං වන අවස්ථාවක් කල් තියා දැන ගන්නට ලැබුණේ නැහැ. කෙසේ හෝ එහි කක්ෂය පෘථිවියට ටිකෙන් ටික ළං වෙන බව ඔවුන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
මෙය මුලින් ම 2004 දී හඳුනාගත් තාරකා විද්‍යාඥයකු වූ ඩේව් තෝලන් 2020 දී සුබාරු දුරේක්ෂයකින් නිරීක්ෂණය කළා, එහි කක්ෂය පෘථිවිය දෙසට වසරකට මීටර 170ක් බැගින් ළං වන බව. ‘මේ අනුව 2068 දී පෘථිවිය හා ගැටීමට ඒ වෙනස්වීම ඒ අයුරින් ම සිදුවුවහොත් හොඳටම ඉඩ තියෙනවා.’ ඔහු කියනවා. ඒත් බොහෝ විද්‍යාඥයන් කියන්නේ එය පෘථිවියේ හැපෙන්නට ඇති සම්භාවිතාව 380,000කට එකක් බවයි.
සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරුත් බ්‍රහස්පතීත් අතර ග්‍රහක වළල්ලක් තියෙනවා. එහි ලොකු කුඩා ග්‍රහක අසංඛ්‍යාත ගණනක් තියෙනවා. ඒවා අතරින් ඉඳහිට එකක් ඉන් මිදී සුර්යයා දෙසට ඇදී යා හැකියි. මේ එවැනි ඇදී ආ එකක්. ග්‍රහක ගැන හදාරන්නට අපට හොඳම අවස්ථාවක් මේ ඇපොපිස් ලබා දී තියෙනවා.
පහත වීඩියෝවෙන් ඔබට මේ ගැන අදහසක් ගත හැකියි
පෘථිවියට ළඟින් ඇති ග්‍රහකවලින් පාෂාණ ගෙන එන්න ව්‍යාපෘති කීපයක් ම සකස්කර තියෙනවා. එයින් ප්‍රථම වරට ජපානය යැවූ අභ්‍යවකාශ යානයක් පාෂාණමය ග්‍රහකයක් වූ ඉතොකාවා (Itokawa) වෙත යවා පාෂාණ ගෙන ආවා. ඒ වර්ගයේ ග්‍රහකවල පාෂාණවලට අමතරව යකඩ, නිකල් ආදිය ඇති බව දැන් අප දන්නවා.
මෙවැනි ග්‍රාහක ගැටුමකින් පෘථිවියට සිදුවිය හැකි හානිය මෙතෙකැයි කල්තියා කියන්න බැහැ. අන්තිමට මෙහි වැටුණු ග්‍රහකය නිසා තමයි, මිහිමත ඇවිද ගිය දැවැන්ත ඩයිනොසෝරයන් පෘථිවියෙන් අතු ගෑවී ගියේ.
- පර්සි ජයමාන්න
0 Comments