අඟහරු ග්‍රහයා අපට වඩාත් සමීප වන අවස්ථාවේ ඊට ළංවීම පිණිස ඇමරිකාවත්, චීනයත්, එක්සත් ආරබි එමිරේට්ස් (UAE) රාජ්‍යයත් එම ග්‍රහයා වෙත ළඟාවීමට කළ අභ්‍යවකාශ තරගයෙන් ජය ගැනීමට එමිරේට්ස් රාජ්‍යය ඊයේ (2021 පෙබරවාරි 9) සමත් වුණා. පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 493ක් ගෙවා ගෙන අඟහරුවාදා 16:15 GMT වේලාවට අඟහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුළුවීමට එමිරේට්ස් රාජ්‍යය යැවූ හෝප් (Hope) හෙවත් ‘අමල්’ යානය සමත් වුණා. ඒ අනුව අභ්‍යවකාශයට පිවිසීමට සමත් වූ ලොව පස්වැනි රට බවට පත් වීමට එමිරේට්ස් රාජ්‍යයට හැකි වුණා.
එමිරේට්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන විදියට ඔවුන්ගේ හෝප් (Hope) යානය, අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේ ඇති කාලගුණික වෙනස්කම් හා එහි විවිධ ස්තරවල දත්ත ඇතුළත් පූර්ණ විස්තරයක් ප්‍රථම වරට පෘථිවියට එවීමට සමත් වනු ඇති. ඒ සමග ම ඒ යානය පෘථිවි දින 687ක් (අඟහරු වසරක්) පුරා අඟහරු කක්ෂයක රැඳෙමින් එහි වායුගෝලයේ තොරතුරු හා දත්ත පෘථිවියට එවාවි. අඟහරුගේ වායුගෝලයේ සියයට 95ක් ම ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. ඒ වායුගෝලයෙහි හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු නොමැති වීමට හේතු කවරේද ආදී ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ඒ අනුව ලැබෙනු ඇති.
හෝප් හෙවත් ‘අමල්’ යානයේ මේ ජයග්‍රහණයත් සමඟ ගල්ෆ් කලාපයේ රටවල් උද්දාමයට පත් වුණා. අරාබි බසින් ‘අමල්’ යනු අපේක්ෂාව හෙවත් බලාපොරොත්තුවයි. ඔවුන්ගේ බලවත් අපේක්ෂාව වන්නේ කවදා හෝ ඇමරිකාව අඟහරු මත ජනාවාස පිහිටුවන විට තමන්ගේ ම ජනාවාස පිහිටුවීමටයි.
මේ යානය මුළුමනින් ම තනා නිම කළේ එමිරේට්ස් රාජ්‍යය තුළ වන අතර එය අභ්‍යවකාශ ගත කළේ ජපානයේ තනෙගෙෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Tanegashima Space Center) සිටයි. ඒ පසුගිය වසරේ ජූලි 19 වැනිදායි. එතැන් පටන් දින 275ක් තිස්සේ ගිය දිගු ගමනකින් පසු අඟහරු කක්ෂයට පිවිසීමේදී ඒ යානයට ඉතා අවදානම් හා සංකීර්ණ ක්‍රියාවලියකට මුහුණ දීමට සිදුවුණා.
අඟහරු කක්ෂයට පිවිසීමේ දී ඒ යානයේ විශේෂ රොකට මිනිත්තු 27ක් ක්‍රියාත්මක කර එතෙක් ධාවනය වූ පැයට කි.මී. 121,000ක වේගය එකවරම පැයට කි.මී. 18,000කට අඩු කරන්න සිදු වුණා. එසේ කක්ෂයට ('capture orbit') පිවිසෙද්දී ම යානයට අඟහරුගේ නොපෙනෙන පැත්තට යාමට සිදුවුණා. ඒ පෘථිවිය හා සමඟ තිබූ සම්බන්ධතාවද එකවරම නතර වුණා. ඒ මොහොතේ ඩුබායිහී මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පාලක මැදිරිය ද තුළ ද දැඩි නිහඬතාවක් ඇති වුණා. යළිත් යානයේ සංඥා ලැබෙන්නට පටන්ගත්තේ මිනිත්තු 11කට පසුවයි. ඒ අඟහරු මුවාවෙන් මිදුණු පසුයි. ඒ අවස්ථාවේ දී පාලක මැදිරියේ පිරිස ඔල්වරසන් දුන්නා. ඒ සමග ම මේ විස්තරය විකාශය දැවැන්ත රූපවාහිනී තිරවලින් නරඹමින් සිටි පිරිස් ද ඔල්වරසන් දුන්නා.
හෝප් යානය මේ කක්ෂයේ මාස දෙකක් පමණ රැඳී සිටිනු ඇති. ඒ කාලය තුළ එහි උපකරණවල ක්‍රීයාකාරිත්වය විමර්ශනයට ලක්කොට අවශ්‍ය වෙනස්කම් ඇති කොට ඊළඟ අදියරට මුහුණ දීමට සූදානම් කෙරෙනවා. එය ඔවුන් විසින් හඳුන්වා ඇත්තේ විද්‍යා අදියර (science orbit) කියලයි.මේ විද්‍යා අදියරේ දී තමයි, විද්‍යාත්මක ගවේෂණ සිදු කෙරෙන්නේ. අඟහරු මතුපිට සිට කි.මී 22,000 - 44,000ත් අතර කක්ෂවල යමින් නිරීක්ෂණ, දත්ත හා ඡායාරූප පෘථිවියට එවනු ඇති. මෙය අපේ වසර දෙකක් තිස්සේ සිදු කිරීමට සැලසුම් කර තියෙනවා.
මේ දත්ත එක් රැස් කොට නිවැරදිතාව පරීක්ෂා කර බලා ලබන සැප්තැම්බර මුල හරියේ දී පමණ පළමු තොරතුරු වටය ලොව පුරා විද්‍යාඥයන්ට සැපයීමට ඔවුන් බලා පොරොත්තු වන බව එමිරේට්ස් අභ්‍යවකාශ ආයතනයේ සභාපතිනිය වූ සාරා බින්ට් යූසුප් අල් අමිරි (Sarah bint Yousef Al Amiri) කියනවා. ‘මේ මෙහෙයුමේ දී අප එක් රැස්කිරීමට බලාපොරොත්තු වන තොරතුරු මීට කලින් කිසිවකුත් නොදත් ඒවා නිසා අනාගතයේ මෙහෙයුම්වල යෙදෙන අයටත් මේ දත්ත ප්‍රයෝජනවත් වේවි.’ ඇය වැඩිදුරටත් පවසනවා.
හරු බලා යන මේ අභ්‍යවකාශ ගමනට එක්වූ අනික් යානා දෙක වන්නේ ඇමරිකාවේ නාසා (NASA) ආයතනය යැවූ ‘පර්සවරන්ස්’(Perseverance) යානය (අරුත - අපරාජිත එඩිය) හා චීනයේ ටියැන්වෙන් - 1(Tianwen-1) (අභ්‍යවකාශය ගැන ලියැවුණු වසර 2000ක් පැරණි චීන කවියක මැයයි.) යානයත්ය. මේ යානා දෙක ම අඟහරු ග්‍රහයාට ගොඩබසින අතර හෝප් යානයේ විශේෂය වන්නේ එය අඟහරුගේ කක්ෂයකින් ඔබ්බට නොයාමයි. මෙයින් චීන යානය බදාදාත්, නාසා යානය පෙබරවාරි 18 වැනිදාත් අඟහරු ග්‍රහයා වෙත යනු ඇති. මේ යානා තුනම අඟහරු බලා පෘථිවියෙන් පිටත් වුණේ පසුගිය වසරේ ජූලි මාසයේයි. ඒ පිළිබඳ ‘මල් කැකුළු’ සටහන 2020 ජූලි 29 වැනිදා ‘ලෝක ඉතිහාසයේ පළමු වරට රතු ග්‍රහයා අල්ලන්න රටවල් තුනක් පෙරට!’ යනුවෙන් පළ වුණා.
දැනට අභ්‍යවකාශ යානා හයක් අඟහරු වටා කක්ෂගතව පවතිනවා. ඒ ඇමරිකාවෙන් තුනක්, යුරෝපයෙන් දෙකක්, ඉන්දියාවෙන් එකක් ආදී වශයෙනුයි. චීනය හා එමිරේට් රාජ්‍යය පළමු වතාටයි අඟහරු වෙත යන්නේ. මේ චීනයේ පළමු උත්සාහය නොවෙයි. 2011 දී රුසියාවත් සමග කළ එක් උත්සාහයක් වැරදී ගියා. ඇමරිකාව මුලින් ම අඟහරු ග්‍රහයාට ගොඩ බට ප්‍රථම රටයි. අද සිදුවීමත් සමග චීනය එහි දෙවැන්නා බවට පත්වෙනවා.
- පර්සි ජයමාන්න
0 Comments