හිමේෂ් එය සොයා ගෙන හඳුනා ගත්තත්, හරියටම ඒ ගහ නිවැරදිව තහවුරු කරන්න අපේ උද්භිද විද්‍යාඥයන්ට එහි මල් පිපෙනකම් බලා ඉන්න අවශ්‍ය වුණා. අවසානයේ මල් පිපුණා. ඒක තහවුරු වුණා. දැන් පිළිගන්නේ මුළු ලෝකයටම ඇත්තේ මේ ගහ විතරක් බවයි. රනිල පවුලේ ශාකයක් වන මෙහි මල් පිපුණු පසු බීජ ලබා ගෙන දැන් ඒවා පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේ රෝපණය කර තියෙනවා.
පැල රෝපණය කරගෙන තියෙන නිසා වසර 40කටත් වැඩි කාලයක් තිස්සේ වැඩුණු මුළු ලෝකයටම ඇති එක වෘක්ෂය ගැන ආඩම්බර වෙනවා වෙනුවට මේ විශාල ගහ ගලවා ගෙන ගොස් වෙන තැනක හදන්න දැන් පවතින රජය තීරණය කරලා තියෙනවා. මේ වටිනා ජාතික වස්තුව එසේ ම තිබියදී අධි වේගී මාර්ගය වෙනස් කරන්නට කලින් පැවති රජය එකඟ වුනත් වර්තමාන රජය ගත් තීරණයට දැනටමත් පරිසරවේදීන් විරෝධය පළ කරනවා. මේ තරම් ලොකු ගහක් ගලවා ගෙන ගොස් සිටුවීම කළ නොහැක්කක් බවයි, ශාක විශේෂඥයන් කියන්නේ.
මේ ගහ ගලවන්නට යන බව දැන ගත් වහාම ගම්පහ දිසා වනජීවී නිලධාරිනී දේවානි ජයතිලක එහි ගොස් දැනට එය තහනම් කර තිබෙනවා. ඇය එහි යන විටත් ඒ මහ ගහ අවට තිබූ තවත් දුර්ලභ ගණයේ වඳවී යන ශාක විශේෂ 5ක් ඩෝසර් කර තිබූ බවත් ඇය කියනවා. ඇය කියන්නේ මෙවැනි විශාල ශාකයක් ගලවා වෙන තැනක සිටුවීමට හැකි තාක්ෂණයක් අපේ රටේ තිබේද යන්න ප්‍රශ්නයක් බවයි.
මේ පිළිබඳව දේවානිගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන වනජීවී අධ්‍යක්ෂවරයා කියන්නේ ශාකය විධිමත් ලෙස ගලවා වෙනත් සුදුසු ස්ථානයක සිටුවන්නට මාර්ග සංවර්ධන අධිකාරිය සමග එකඟතාවකට පැමිණ ඇති බවයි. පරිසර ඇමතිවරයාත් මෙයට මැදිහත්ව ඇති අතර දැනට මේ පිළිබඳව යළිත් සලකා බලා තීන්දුවක් දෙනතුරු මාර්ගයේ වැඩ තාවකාලිකව නවතා තියෙනවා.
පරිසරවේදී විශේෂඥයකු වූ නීතීඥ ජගත් ගුණවර්ධන කියන්නේ මේ අති දුර්ලභ වෘක්ෂයටත් ඒ ආශ්‍රිත දුර්ලභ ශාකවලටත් හානි කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. පරිසරවේදී නයනක රන්වැල්ල චෝදනා කරන්නේ මේ ගහ ඉවත් කර වෙනත් තැනක රෝපණය කිරීමට අවසර දී ඇත්තේ දේපළ වෙළඳාම් සමාගමකට බවයි. පළපුරුද්දක් නැති එවැනි අය අතින් මේ වටිනා වෘක්ෂයට නියත වශයෙන් ම හානි සිදු විය හැකි යයි ඔහු අවධාරණය කරනවා.
අප එදා 2020 ජනවාරි 13 දා පළ කළ ‘මල්කැකුළු’වල මේ ශාකය ගැන මෙසේ සඳහන් කළා. උද්භිද විද්‍යාත්මක ව කෲඩියා සිලනිකා (Crudia zeylanica) යනුවෙන් හැඳින්වෙන මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික එකක් නිසා මෙයට දේශීය නමක් තිබිය යුතුයි. ඒ ගැන විමසුමක් කළ විට එහි නම පඬුකරඳ යැයි ගැමියන්ගෙන් දැන ගන්නට ලැබුණා. පැරණි වාර්තාවලින් දැක්වෙන පරිදි මෙම ශාකය මුලින් හඳුනා ගෙන ඇත්තේ 1868 වසරේදියි. මෙම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල වැවෙන සපුෂ්ප ශාකයක් ලෙස එහි දක්වා තියෙනවා.
'ඉන්පසු මෙම ශාකය යළිත් වරක් 1911දී හමු වී ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත්, මෙම ශාකය 1998 වසරෙන් පසුව වඳ වී ගිය ශාකයක් ලෙස ලෝක රතු දත්ත නාමාවලියේ (Red Data List) සඳහන් කර තිබෙනවා. 2006 දී ලෝක රතු දත්ත නාමාවලියේ මෙය වඳ වී ගිය ශාකයක් ලෙස දක්වා තියෙනවා. 2012දී ජාතික රතු දත්ත නාමාවලියේත් (National Red Data list) මෙය වඳ වී ගිය ශාකයක් ලෙස සටහන් කර තියෙනවා. මේ ජාතික රතු දත්ත නාමාවලිය සකසන්නේත්, ලෝක රතු දත්ත නාමාවලියට තොරතුරු සපයන්නේත් රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටි ජාතික ශාකාගාරයයි.’
පරිසරවේදී හිමේෂ් ඩිල්රුවන් ජයසිංහගේ හපන්කම සටහන තබද්දී අප එදා කීවේ මේ වනජීවී සම්පත බේරා ගෙන අධිවේගී මාර්ගය වෙනස් වේවි කියා වුවත් දැන් තත්වය ඊට වඩා වෙනස් වී ඇති බවයි, පෙනී යන්නේ. අවුරුදු 100කටත් වැඩි කාලයක් වඳ වී ගියේ යැයි කියා ලෝකයේ ම ඇස්වලින් සැඟවී, ගම්පහ, දාරළුවේ වන පෙතකට වී දිවි රැක ගත් මේ ‘වනස්පති’ රැක ගන්නට පරිසරයට, රටට, ආදරය කරන, ලොව පුරා සිටින පරිසරවේදීන් පෙරට ආ යුතුයි. නැතිනම් ‘පැල බෝකර ගෙන තියෙනවා, මේක දැන් නැතත් කමක් නෑ’ කියන ශාක විද්‍යාඥයන්ගේ අමන උපදෙස් අනුව වත්මන් රජය මේ ‘වනස්පති’ගේ ඉරණම අද හෙටම තීන්දු කරනු ඇති.
- පර්සි ජයමාන්න
0 Comments