HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජයන්තා රුක්මණී දිවිසැරියෙන් සමුගනියි!

ඇය අප සමග විනිසුරු මඬුුවල සේවය කළාය. ටෙලි නාට්‍ය ඇගයීම් මණ්ඩලවල සේවය කළාය. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩල සාමාජිකාවක සේ කටයුතු කළාය. ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය, වේදිකා නාට්‍යය ඇතුළු සියලු කලා මධ්‍යවලට ආදරය කළ ඇය, ඒ හැම එකකටම ඉඩ ඇති පරිදි එක් වූවාය. අපේ කාන්තාවන් අතරින් ඒ හැම එකකටම වැඩිම දායකත්වයක් ලබා දුන් කාන්තාව ඇයයි. නිතරම සිනාමසු මුහුණින් සිටි ඇය, ඇසුරු කළ සැමගේ සිත දිනා ගත් නිහතමානී කාන්තාවකි. 

ඇය ජයන්තා රුක්මණී සිරිවර්ධනයි. ඇය නොහඳුනන කලාකරුවෙක්, කලාකාරියක් නැති තරම් ය. නිර්මාණයක් ජනගත කරන තැනකට ඇය ගියේ ඒ නිර්මාණකරුට සුබ පතන්නටය. නිර්මාණකරුවා ප්‍රවීණ ද ආධුනික ද යන්න ඇයට ගැටලුවක් නොවීය. කලාකරුවන්, කලාකාරියන්, ලේඛකයන්, ලේඛිකාවන්, නළුවන්, නිළියන් ආදී හැම දෙනකුට ම ඇය හොඳ මිතුරියක් වූවාය. විවාරිකාවකවුවද ඇය කිසිම නිර්මාණකරුවකුගේ සිත රිදෙන අයුරින් විවේචනය නොකළාය. 

නිර්මාණ අගය කිරීමෙන් නොනැවතුණු ඇය තමන්ගේ ම නිර්මාණ බිහිකරන්නට ද කාලය සොයා ගත්තාය. ඇය කෙටිකතා ලීවාය. කවි පද බැන්දාය. නවකතා ලීවා ය. කලා ලොව තුළ විවිධ චරිත නිරූපණය කරමින් සිටි ජයන්තා රුක්මණී, 2021 පෙබරවාරි 3 වැනිදා දිවිසැරියෙන් සමුගත්තාය. කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 71 වන වියේ පසුවූවාය. ඇගේ අවසන් කටයුතු සිකුරාදා කොළඹ කනත්තේ දී සිදුවිය. 

1978 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන විටත් ඇය දිවයිනේ පුවත්පත් සඟරාවලට කෙටිකතා, කවි ආදිය ලියූ ජනප්‍රිය රචිකාවකි. රජයේ සේවයේ හා නිවසේ කටයුතු කෙතරම් බහුලවුවත් ඇය නිර්මාණ කරණයට ඉඩහසර ලබා ගත්තාය. ඇය නවකතා දෙකක්, කෙටිකතා පොත් දෙකක්, කාව්‍ය සංග්‍රහ පහක් ඇගේ නිර්මාණ ගොන්නට එක් කළාය. සහෘදයන් වශයෙන් අපට ඇය අද ඉතිරි කර ඇත්තේ ඉහතින් දැක්වෙන සුන්දර සිනහවේ මතකයත් ඇගේ මේ අපූරු නිර්මාණත් පමණි. 

මේ සමග පළ වන්නේ ඇය 2013 පළවූ ‘සාහිත්‍යය - විශේෂ කලාපය’ට සැපයූ පැදි පෙළකි. 

තනිකඩයාගේ කවිය 

- ජයන්තා රුක්මණී සිරිවර්ධන 

පුස්ගඳ දුරුකරන හිරු කිරණ වළකන 
පිටතින් හමන සුළඟට පවුරු බඳිමින 
පොත් කඩදාසි ඇතිරූ යහනෙ ඉඩගෙන 
සැතපෙනු කෙලෙස සොඳුරිය කැටුව සිහිනෙන 

සුසුම් පිරුණු කළුවර දකිමින් සිටිමී 
සිනා නැගෙන අරුණලු සොයමින් හිඳිමී 
රන් රස සදිසි ප්‍රේමය සිහිනෙන් දකිමී 
නුඹ කොතැනද ඉන්නේ තවමත් සිතමී 

සඳ එළියෙන් ඉපදෙන ඒ ගෙවුණු පෙම 
ඉර එළියත් සමග මිය යන අරුම කිම 
නොසිතා වැටෙන කඳුළක ඇති මිහිරි බර 
උහුලමි ගෙවමි තනිවම යන ගමන දුර 

පලාගිය දවස කැඳවන්නේ කෙලෙස 
මධුරස පිරුණු බඳුනක ඔබ රුව පෙනෙන 
නුරා පිරි දිගැස දැල්වෙන බව දැනෙන 
හිතටත් හොරා තවමත් පෙර මග බැලෙන 

අහන්නෙපා ආ ගිය තැන් කොහිද කියා 
තැවෙන්නෙපා බඩගින්නක් ඇද්ද කියා 
බලන්නෙපා එන යන්නේ කවුද කියා 
හිතන්නෙපා ජීවිතයම දුකයි කියා 

ජයන්තා රුක්මණී කිවිඳියනි! ඔබ නිම න‍ො කළ නිර්මාණවලින් රසික හදචත් පුබුදු කරන්නට යළිත් අප අතර ම ඉපදේවා! 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments