නිදහස් සිතුවිලි - ආනන්ද සමරකෝන්ට මරු කැඳවූ ජාතික ගීය

ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම නිසා ජාතික ගීය ගැනත් ජාතික කොඩිය ගැනත් යළිත් අපට මතක් කිරීමට සිදුවෙනවා. මීට කලින් අපේ ජාතික ගීය නිර්මාණය කළ ‘නමෝ නමෝ මාතා’ ගැනත් එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ගැනත් ඔහුට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැනත් ‘මල් කැකුළු’ තුළින් ගෙනාවා ඔබට මතක ඇති. 

ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් එය නිර්මාණය කළ අන්දම 1951 නොවැම්බර් 25 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයට ලියමින් මෙසේ ආවර්ජනයක් කර තිබුණා. ‘නිදි නැති රාත්‍රියක මා කළ ප්‍රාර්ථනාව’ නම් ඒ ලිපියේ මෙසේ සඳහන් වෙනවා. 

‘ඉන්දියාවේ හාපුරා සැරිසැරූ දින කිහිපයේ මවුබිමේ ස්වභාව සෞන්දර්යය, නටබුන්, නරවරයන්, මතකයට නැඟීමෙන් පිස්සෙකු වීමි. ලංකාව බලා එද්දී ඒ හැඟීම යළි යළිත් බුර බුරා කැඟුණි. ස්වදේශානුුරාගය පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුව දැනුනු අතර ටී. ඩී. ජයසූරිය මහතා එවැනි ගීයක අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේය. 1940 ඔක්තෝබර් 20 වැනිදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ උදාර සිතුවිලි හා සෞන්දර්යය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රි 10 පමණ පහන් නිවා කළුවරේම කල්පනා කළෙමි. ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පදමාලාවත් සමග ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණ. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීය ප්‍රබන්ධ වූ සැටියි.’ යයි ආනන්ද සමරකෝන් ලියනවා. 

මේ ගීය ජාතික ගීය වෙන්න කලින් මුලින් ම ළමයින්ට පුහුණු කළේ 
මහින්ද විද්‍යාලයේ මේ ඕල්කට් ශාලාවෙදියි.

ආනන්ද සමරකෝන් මහතා ඒ ගීතය ලියු දාට පසුදා ඔහු එවකට සේවය කළ ගාල්ලේ මහින්ද විදුහලේ සිසු පිරිසකට උගන්වා තියෙනවා. එය මුලින් ම ඉගෙන ගත් පන්තියේ සිටි ඩබ්ලියු. එම්. කල්යාණ ද සිල්වාට ලියන ඕනෑම දෙයක් අදාළ දිනය සමග ලියාගැනීමේ පුරුද්දක් තිබුණේය. ඒ පුරුද්ද නිසා අපේ ජාතික ගීයා හාහාපුරා කියූ දිනය ගැන සාක්ෂියක් ඔහු සතුව තියෙනවා. කල්යාණ ද සිල්වා ඒ කතාව 2006 පෙබරවාර් 5 වැනිදා ලක්බිම ඉරිදා සංග්‍රහයේ මිහිරි ‍ෆොන්සේකා සමග කීවේ මෙහෙමයි. 

‘ඉස්කෝලේ පියානෝව තිබුණෙ ඕල්කට් ශාලාවේ. ඒ නිසා අපි සංගීතය ඉගෙන ගන්න ඕල්කට් ශාලාවට යනවා. මට මතකයි එදා අපට සංගීතය උගන්නන්න ආරිය සිංහල ඇඳුම ඇඳගත් මහත්මයෙක් ආවා. ඒත් මා දැනගෙන හිටියෙ නෑ, ඔහු තමයි ආනන්ද සමරකෝන් කියලා.’ 

කල්යාණ ද සිල්වා තවදුරටත් ඒ ගැන කියමින්, ‘අපේ සංගීත ගුරුතුමා කළු ලෑල්ලේ ‘නමෝ නමෝ මාතා’ යන ගීතය ලිව්වා. මම මගේ ඇක්සයිස් පොතේ වම් පැත්තේ දිනය සටහන් කරගෙන කළු ලෑල්ලේ තිබුණු ගීය ලියා ගත්තා. ඉන්පසුව සංගීත ගුරුතුමා පියානෝව වාදනය කරමින් අපි ලවා කළු ලෑල්ලේ ලියූ ඒ ‘නමෝ නමෝ මාතා’ ගීතය ගායනා කෙරෙව්වා. 

‘නමෝ නමෝ මාතා’ ගීතය මගේ පොතේ ලියා ගන්න කොට මට තේරුණේ නැහැ, කවදා හරි මේ ගීය ගායනා කරන විට මුළු ලෝකයෙම ජනතාව ඒකට ආචාර කරමින් නැඟිටීවි කියලා. ඒක ආනන්ද සමරකෝන් ගුරුතුමාවත් හිතන්නේ නැතුව ඇති.’ යයි කියන කල්යාණ ද සිල්වා එදා දිනය යොදා ලියා ගත් නිසා අපේ ජාතික ගීය මුලින් ම ගායනා කළ දිනය අපට කහවුරු කර ගන්න පුලුවන්. ඒ වගේ ම මේ කතාව ජ්‍යෙෂ්ඨ පත්‍රකලා වේදියකු වන සුන්දර නිහතමානි ද මැල් ඔහුගේ ‘මහින්දෙ තමයි ඉස්කෝලේ’ නම් කෘතිය ආරම්භයටම යොදා ඇත්තේ එහි ඇති වැදගත්කම සලකා ගෙනයි. 

ජාතික ගීය මුලින් ම ගායනය කළ තැන පිහිටුවා ඇති ඵලකය

ඔහු එහි දී මෙහෙම කියනවා, ‘ආනන්ද සමරකෝන් මහතා ජාතික ගීය ලියූ කඩදාසිය ජාතිය සතුව නොමැති බැවින් ජාතික ගීය ලියැවුණු පැරණිම කඩදාසිය දැන් ඇත්තේ කල්යාණ ද සිල්වා මහතාගේ ඇක්සයිස් පොතේ යැයි සිතිය හැකියි.’ 

කෙසේ වුවද ආනන්ද සමරකෝන් මහතා ජාතික ගීය ලියූ දිනය හැටියට ඉරිදා ලංකාදිපයේ සඳහන් වන්නේ 1940 ඔක්තෝබර් 21 වැනිදායි. එහෙත් කල්යාණ ද සිල්වා එය සිය ඇක්සයිස් පොතේ දාතම යොදා ලියා ගෙන ඇත්තේ 1940 මාර්තු 05 වැනිදායි. ඒ පිළිබඳව සටහනක් මහින්ද විදුහලේ ඕල්කට් ශාලාවේ තැන්පත් කර ඇති සිහිවටන ඵලකයක මෙසේ සඳහන් වෙනවා. ‘ආනන්ද සමරකෝන් මෙම විදුහලෙහි චිත්‍රශිල්පය සහ සංගීත‍ය පිළිබඳ ආචාර්යවරයා වශයෙන් සේවය කළ කල්හී (1938-42) පුංචි සුදා, එන්නද මැණිකේ, පොඩිමල් එතනෝ ආදී ගී ද ශ්‍රී ලංකා ජාතික ගීය ද (1940 නොවැම්බර්) ප්‍රබන්ධ කොට මුලින් ම මෙහි සිසුන් හා ගැයුවේ මේ හල තුළ දිය.’ 

කල්යාණ ද සිල්වා ශිෂ්‍යයා එයාගේ පාසල් පොතේ ලියා ගෙන ඇති දිනය වන්නේ 1940 මාර්තු 05 වැනිදායි. ඵලකයේ සඳහන් වන්නේ 1940 නොවැම්බර් කියලයි. ඒත් ආනන්ද සමරකෝන් සූරීන් කියන්නේ ඒ ගිය පිළිබඳ අදහස ඔහුගේ හිතට ආවේ 1940 ඔක්තෝබර් 20 වැනි රාත්‍රියේ කියලයි. එහෙම නම් මාස හයකට කලින් ඔහු ඒ ගීය මහින්ද විදුහලේ ළමයින්ට ඉගැන්නුවේ කොහොමද? ඒක දින වකවානු පැටලීමක් නිසා වූ දෙයක්. අපට ජාතික ගීයේ ආරම්භය ලෙස ගන්න වෙන්නේ කල්යාණගේ දිනයයි. ඔහු එදාම දිනය යෙදූ නිසා ඔහුට වරදින්න විදියක් නැහැ. ආනන්ද සමරකෝන් සූරීන් වසරක් එකොළහකට පසුව මතකින් කී දෙයක් නිසා සමහර විට මේ පැලැවිල්ල සිදුවෙන්න ඇති. 

අපේ මේ ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය මුලින් ම නිදහස් උත්සවයක දී ගායනය කළේ සිංහල දෙමළ දෙබසින්මයි. එතකොට දෙමළ භාෂාව දැන් වගේ රාජ්‍ය භාෂාව වෙලා තිබුණෙත් නැහැ. ඒත් ඒ බව‍ නොදන්න ඇතැම් සිංහල දේශපාලනඥයන් අද එය දෙමළෙන් ගායනා කරනවාට විරුද්ධයි. ඒ නිසා අද නිදහස් උත්සවයේදිත් සිංහලෙන් විතරයි ගායනා කළේ. හැබැයි ගායනයට සිංහල, දෙමළ දෙබසින් ම ඉගෙන ගන්නා සිසුසිසුවියන් එක්ව සිටියා. 

ආනන්ද සමරකෝන් සූරීන්

ජාතික ගීය තමන්ගේ බසින් ඇහෙන විටයි, තමන් තුළ, තම රට ගැන, ජාතික හැඟීමක්, අභිමානයක් ඇති වන්නේ. එහෙම නැතිව තමන්ට නොතේරෙන බසකින් ගැයුවාම ඒ හැඟීම තමන් තුළ ඇති වන්නේ නැහැ. රටවල් දෙකක් අතර තරගයක ආරම්භයේ දී වාදනය කරන ඒ රටවල ජාතික ගීවලට සවන්දී බලන්න. එතකොට ඔබට ම තේරේවි. ඒ නිසා මා යෝජනා කරන්නේ දෙමළ කථා කරන දරුවන් තුළත් මේ රට ගැන ආදරයක් අභිමානයක් ඇති කරන්න නම් ජාතික ගීය දෙමළ බසිනුත් ගායනය කිරීම අත්‍යවශ්‍යයි කියලා. එතකොටයි එකම කොඩියක් යට, එකම රටක් තුළ අපි ඉන්නවා කියන හැඟීම අප ඔක්කොටම දැනෙන්නෙ. මෙය රාජ්‍ය භාෂා වැඩි ගණනක් ඇති වෙනත් රටවල කරනවා වාගේ අපේ ජාතික ගීයත් පද පේළි මාරුවෙන් මාරුවට දෙබසින්ම ගායනා කළා නම් වඩාත් උචිතයි. 

අවසාන වශයෙන් එකක් කිවයුතුයි. දැන් අපේ ජාතික ගීය ‘නමෝ නමෝ මාතා’ කියා හඳුන්වන එක වැරදියි. ගීයක් හඳුන්වන ක්‍රමයට අනුව එහි නාමය ‘ශ්‍රී ලංකා මාතා’ විය යුතුයි. ‍මුලින් එය 1952 සිට ‘නමෝ නමෝ මාතා’ යනුවෙන් ගායනය කළත් පසුව 1960 ගණන්වල බලයට ආ රජය එහි ආරම්භය වෙනස් කළා. ‘ශ්‍රී ලංකා මාතා - අප ශ්‍රී ලංකා මාතා’ යනුවෙන් එහි ආරම්භය දැන් ගැයෙන ආකාරයට වෙනස් කරනු ලැබුවේ ‘නමෝ’ යන වදනෙහි ඇති ‘ජගණ’ දෝෂය නිසා ශ්‍රී ලංකාවට අගුණ ඇති වන බැවින් යසස් හා කීර්තිය ගේන ‘මගණ’යෙන් යෙදීම සුදුසු යැයි ඒ අවස්ථාවේ බලයට පත් ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පණ්ඩිතයන් යෝජනා කළා. ඒ අනුව ‘ශ්‍රී ලංකා මාතා’ කියා වෙනස් කළා. ඒ වන විටත් ජීවත්ව සිටි ආනන්ද සමරකෝන්ගෙන් නො විමසා කළ මේ ක්‍රියාව නිසා ඔහුගේ සිත බිඳුණා. ඒ නිසා බලවත් සේ මානසිකව ඇද වැටුණු ඔහු පසුව අකල් මරණයකට ගොදුරු වුණා. එසේ ගණ වෙනස් කිරීම නිසා ඇති වූ විශේෂසෙතක් ආපසු හැර බලන විට මට නම් පෙනෙන්නේ නැහැ. 

- පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments