අපෙන් සමුගත් ‘මා දුටු සුන්දර ම මිනිසා’ - ජයලාල් රෝහණ

අපේ ගම සියනෑ කෝරළයේ ගම්පහ කොස්සින්නයි. කොස්සින්න ලස්සන කළ ‘නෑයෙක්’ කලකට පෙර අපේ ගම සිය ස්ථිර පදිංචිය කර ගත්තා. තෙරක් නොපෙනෙන සුන්දර වෙල් යායකට මුහුණලා කඳු මුදුනක පිහිටි නිවසක් තමයි, ඔහු තෝරා ගත්තේ. එහි සිට තමයි, ඔහු රටපුරා කලා කටයුතුවලට ගියේ. මා දුටු ඒ ‘සුන්දර ම මිනිසා’ නම් චරිතයට පණ පෙව්ව, ඔහු තමා ජයලාල් රෝහණ. 
ජයලාල් රෝහණ

ඔහුට මට මුලින් ම හමු වුණේ 2001 දී, අමුණුගොඩ-කොස්සින්න ගම් දෙකෙහි දරුවන් උදෙසා හිතමිතුරු සමාජයක් විසින් දිරිය දරුවන් වෙනුවෙන් සංවිධානය කළ කලා කුසලතා අගයන ‘රියැලිටි’ තරඟයක විනිශ්චයට පැමිණි අවස්ථාවෙදියි. සේපාලි, වජිරා, ප්‍රීති, නාලක, ශානක, සාජීව, ආසිරි, හා ධනුෂ්ක නම් ගම් දෙකේ යොවුන් පිරිසක් සංවිධානය කළ ඒ සඳහා ළමුන් එවේලේ ම චිත්‍ර ඇන්දා, විවිධ නිර්මාණ, කවි ගායනා කළා, තමන්ගේ විවිධ හැකියාවන් ඉදිරිපත් කිරීමට සංවිධායකයන් ඉඩ සලසා දුන්නා. විනිශ්චය සඳහා කොළඹින් තවත් ප්‍රකට පුද්ගලයන් කීප දෙනකුට ම ආරාධනය කර තිබුණත් ඔවුන් පැමිණියේ නැහැ. කොතරම් පුංචි දරුවන් කළ වැඩක් වුනත් එය අගය කරන්නට ජයලාල් විතරක් පැමිණ සිටියා. ‘ළමුන්ගෙ වැඩක් නෙ. කොහොම හරි මේක ඇද ගෙන යමු කියලා’ ඔහු කීවා. දවස පුරා ම වෙහෙසිලා ඒ හැම එකක ම විනිශ්චයට ඔහුගේ විස්මයජනක දායකත්වය දුන්නා. ඔහුගේ කැපවීම, ශක්තිය, නිර්මාණශීලී භාවය, කලා කුසලතාව, විචක්ෂණ බුද්ධිය, නිර්මාණ ඇගයීමේ හැකියාව, නිරහංකාර බව මා ඒ ගත කළ දවස පුරා ම දුටුවා. 

අපේ කාර්යය කරන අතරතුර ඔහු මා සමග බොහෝ දේ කීවා. අපේ කටයුත්තෙහි විඩාව නිවන්න රසකතා කීවා. ඔහු ආකර්ෂණීය පුද්ගලයෙක් හැටියට ඒ මුල් දවසේ ම මා අබෝධ කර ගත්තා. 

‘මං වේදිකාවට ආවේ මේ වගේ පාසල් යන කාලෙදිමයි.’ ඔහු මා සමග කීවේ ළමුන්ගේ කෙටි නාට්‍යයක් විනිශ්චය කර අතරතුරදියි. ඒ පාසලේ ආචාර්යවරියක් වූ සෝමා පෙරේරාගේ ‘මුහුදු ගියා’ නාට්‍යයේ රඟපාමින්. ඒ සඳහා අන්තර් පාඨශාලීය නාට්‍ය තරගාවලියේ හොඳම නළුවා වෙන්න ඔහුට පුළුවන් වුණා. 

පසුව, සයිමන් නවගත්තෙගම, සුගතපාල ද සිල්වා වැනි මෙරට දැවැන්තයන් ඇසුරෙන් රංගනයට පිවිසි ජයලාල් 1976 දී වේදිකාව, සිනමාව, ටෙලිවිශනය යන මාධ්‍යයන් තුනෙන් ම එකවර කුසලතා පෙන්වමින් සම්මාන දිනා ගත්තා. සයිමන් නවගත්තේගමගේ ‘ගංගාවක්, සපත්තු කබලක් හා මරණයක්’, ‘සුබ සහ යස’, ඩග්ලස් සිරිවර්ධනගේ ‘හිට්ලර්’, ගුණසේන ගලප්පත්තිගේ ‘මුහුදු පුත්තු’ ආදී වේදිකා නාට්‍යවල රඟපෑවා. 

හෙළයේ මහා උපහාස කෙටිකතාකරු ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වාගේ පුත් සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘ඉසුරු යෝගය’ මාලා නාටකයේ ‘මුතුමිණ’ නම් දෛවඥයාගේ චරිතයට පණ දුන් ඔහුගේ රංග ප්‍රතිභාව ප්‍රේක්ෂකයන්ගේ සදා නොනැසෙන සේ සටහන් කර තැබීමට සමත් වුණා. එදා සුසිරන් වදන්වලින් හා රූපවලින් ගොඩ නඟන්නට බලාපොරොත්තු වූ ඒ සියුම් උපහාසයට ඔහු රංගනයෙන් පණ දුන් ආකාරය කොතරම් විශිෂ්ට වී ද යත් 2006 වසරේ හොඳම ටෙලි නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබු‍වා. ඒ චරිතය මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂ මං සලකුණක් වුණා. ඒ වගේ ම ඔහු සුසිරන්ගේ සියුම් උපහාසය රැගත් ‘එකට ගැටුම’ මාලා නාටකයේත් ඔහු සම්මානනීය රංගනයක් ඉදිරිපත් කළා. ඔහුගේ රූපවාහිනී මාලා නාටක රංගනය ඉතා දිගු එකක්. ‘සඳගල තැන්න’, ‘සල්මල් යාය’, ‘මිරිඟු දිය’, ‘නිල් අහස ඔබයි’, ‘රිදී දූවිලි’ආදිය ඉන් කීපයක්. 

ඔහු සිනමාවට පිවිසියේ පරාක්‍රම නිරිඇල්ලගේ ‘අයෝමා’ චිත්‍රපටයෙන්. ඉන්පසු ‘සිහින දේශයෙන්’, ‘ටිකිරි සුවඳ’, ‘සිංහාවලෝකනය’, ‘නිදහසේ පියා - ඩී. එස්.’, ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’, ‘ද නිවුස් පේපර්’, ‘මිස් ජෙනිස්’ කැපී පෙනෙන රංගන ඉදිරිපත් කළා. 

ජයලාල් රෝහණ, මෙයට වසර 56කට පෙර, 1964 නොවැම්බර් 1 වැනි දා උපන්නේ මහ එගොඩගේ ජයලාල් රෝහණ ලෙසයි. ඔහුගේ පියා වූ අර්නෝලිස් අප්පුහාමි සේවය කළේ ගිනි නිවන භටයෙකු ලෙසයි. පියාගේ අකල් වියෝවෙන් ඔහු කුඩා කලම පාසල් යන ගමන් සිය මව වූ කරුණාවතී වීරසේකරටත් දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ නඩත්තුව ද ජයලාල්ට බාර වුණා. ඔහු පාසල් නොයන හැමවිට සුළු රැකියා කරමින් ඒ කටයුත්තට මුදල් හෙව්වා. ‘මං බී. ඒ. එම්. ඒ. කළේ ඉස්කෝලේ ඕලෙවල්වලටත් ඉස්සරින්. ඔහු බී. ඒ. කීවේ ‘බදාම ඇසිස්ටන්’, එම්. ඒ. කිව්වේ ‘මේසන් ඇසිස්ටන්’ යන්නට. ඒ ගෙවල් ඉදි කරපු තැන්වල අත් උදවු දුන් බව ඔහු කිව්වේ එහෙමයි. 

ජයලාල්ගේ අවසාන දේශන පහත වීඩියෝවෙන් නරඹන්න

ඒ නිසා ඔහු ජීවිතය නමැති විශ්ව විද්‍යාලයෙන් තමයි, බොහෝ දේ ඉගෙන ගත්තේ. ඒත් ඔහු විධිමත් අධ්‍යාපනය අත් ඇරියේ නැහැ. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු එහි දීප්තිමත් ශිෂ්‍යයෙක්. ඉන්පසු පේරාදෙණියේ විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාවෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. පසුව ඒ විශ්ව විද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධියක්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ දර්ශනපති උපාධියත් ලබා ගත්තා. ඔහුට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ලබා ගත් ආචාර්ය උපාධියකුත් ඇති බව වරක් මා සමඟ කීවා. ඔහු තරම් ශාස්‍ත්‍රවන්තයෙක්, කලාකරුවන් අතර සිටියේ නැති තරම්. 

ඔහු නාට්‍ය හා රංග කලාවට අදාළ වටිනා ග්‍රන්ථ ගණනාවක් ලිව්වා. එයින් එකක් 1999දී ලියූ අංග රචනය ගැන අත්පොතයි. එය ‘සැබෑ මුහුණේ වෙස් මුහුණ’ ලෙස නම් කළා. එහි චිත්‍ර හා සිතුවම් ඇන්දේත් ඔහුමයි. වේදිකා ආලෝක කරණය ගැනත් පොතක් ලිව්වා. ඒක ඒ විෂයය ගැන සිංහලෙන් පළවූ පළමු අත්පොතයි. එහි නම ‘සබේ විදුලි විලක්කුව’යි. වෙස් මෝස්තර රචනය ගැන ඊළඟ පොත ඔහු නම් කළේ ‘සවේශයට ප්‍රවේශයක්’ කියායි. ඔහුගේ නිර්මාණශීලී භාවය ඒවාට දී නම්වලින් ම ඔබව වටහා ගත හැකියි. 

ආදරණීය ජයලාල්, ඔබ ගෙවූ දශක පහක ජීවිතය තුළ ඔබ සියක් වසක මෙහෙයක් අප වෙනුවෙන්, රට වෙනුවෙන් කළා. අපේ රටේ මිනිසුන්ගේ ඇස් පාදන්න දේශන පැවැත්තුවා. ඒවා අද අන්තර් ජාල‍ය පුරා තියෙනවා. ඒ නිසා ඔබේ සේවය නොනැසී ඉදිරියටත් යනවා. ඒත් ඔබ වැන්නකුට අලුතින් කළ හැකි තවත් බොහෝ දේ ඇති. ඒවා කරන්නට යළිත් අප අතරට එන්න! 

 - පර්සි ජයමාන්න


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments