කැලේ මැදින් ආවා
හිට ගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලෑවා
කොළ දෙ කටක් කෑවා
පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා
ඉතින් ඇතැයි කීවා
තබා නිකට ගාවා
වීණාවක් ගෑවා
මිහිරි සින්දු කීවා
නැටුම් ටිකක් පෑවා
එයින් වෙහෙස වූවා
ඉඳ-ගෙන හති ලෑවා
තණ බිස්සේ බාවා
ඇඟපත සැතැපූවා
බිරුම් හඬක් ආවා
ඉහළ වීසි වූවා
කොඳු ඇට හිට වූවා
කන් දෙක දිග පෑවා
බිරීම ළං වූවා
කඳ හරහට බාවා
පතර පයට පාවා
දීලා ‘යමු’ කීවා
පඳුරු උඩින් බෝවා
විදිලි කෙටිලි පෑවා
කොළ සර බර ගෑවා
බිරූ කටත් ආවා
බිරීම නැවතූවා
නාසය බිම ගෑවා
ඇහින් රැුහැන් ලෑවා
කොයිද කොයි ද හාවා
මුනිදාස කුමාරණතුංග මහතාගේ පද්‍යාවලිය මා මෙහි දැක්වූයේ මට කට පාඩම් වූ සැටියෙනි. ගැඹුරු අරුතින්, තතනා ඈඳන ලද උපමා රූපකයන්ගෙන් තොරවුවද කුඩා දරුවන් උදෙසා රචිත මේ පද්‍යාවලියෙන් කාව්‍ය රචනය අරබයා මයුර සන්දේශයෙන් නොලැබිය හැකි අගනා උවදෙස් ලැබිය හැකිය. මේ පද්‍යාවලිය හරහා කුමාරණතුංග මහතා වහල් කොට ගෙන තිබෙන්නේ බැවහර බසින් ගත වචන සමූහයකි. ඇතැම් වචන රූපකාර්ථ නඟනු පිණිස අනික් වචන හා ඈඳන ලද සැටි අපූරුයි. පද්‍ය කාව්‍යයට පමණක් නොව ගද්‍ය කාව්‍යයට ද බැවහර බසෙහි වචන තරම් පිරිමසින, හැඟීමෙන් හා ව්‍යංගාර්ථයෙන් බර වූ වදන පණ්ඩිතයන්ගේ ශබ්දකෝශයෙහි නැති බව කුමාරණතුංග මහතාගේ පද්‍යාවලියෙන් හෙළිවෙයි. වස්තුව විසින් අලුත් වුව ද මේ පද්‍යාවලිය සන්දර්භය, වෘත්තය, තාලය, රීතිය යන ආදිය විසින් සිංහල ගැමි කවියට ළං වෙයි.
කුමාරණතුංග මහතා, බැවහර බසෙහි ඇතැම් වචන අර පද්‍යාවලියෙහි ලා යොදන්නේ, පෙර නුදුටු විරූ සියුම් වර්ණ සෞන්දර්යයක් නඟන අදහසින් තිර පටෙහි වර්ණයක් එක් කොට ගළපන ශූර චිත්‍රකාරයකු ලෙසිනි.
මේ පද්‍ය පාදයන්හි ‘බාවා, සැතැපූවා, ආවා, බෑවා, පාවා දීලා ‘යමු’ කීවා’ යන වචන ඒ පද්‍යයන් නඟන රූපකාර්ථවලට අමුතු පණක් දෙයි. ‘ආවා’ යන පදය නිසා ‘බිරුම් හඬ’ සිත් පිත් ඇති වස්තුවක ස්වරූපය ගන්නේ නිතැතිනි. ‘බාවා’ යන වචනය නිසා ‘කඳ’ හාවා සිතන කියන දේ කරන සිත් පිත් ඇති වස්තුවක් වෙයි.
මේ පද්‍යයෙහි පළමු වන පාදය හැර අනික් තුනෙහිම වචන කිසිම ආයාසයක් නැතිව ව්‍යංග්‍ය අර්ථ නඟයි. ‘හාවා පඳුරු උඩින් පැන සරබර හඬින් වේගයෙන් දිවී ය.’ යනු මේ පදයට වාසගමින් කිව හැකි අරුතයි. එහෙත් ඒ පද්‍යයෙහි ව්‍යාංග්‍ය අර්ථය නිසා නඟින චිත්‍රය ඒ ගද්‍ය පාඨයෙන් නොනඟියි. ‘විදුලි කෙටිලි පෑවා - කොළ සරබර ගෑවා’ යන දෙපාදය කියවන කල සාවා පා සොලවමින් පනිනු, පා සතර දෑතට දික් කොට කන් උඩ හිඳුවාගත් උගේ කඳ හීයක් මෙන් පඳුරු උඩින් විදෙනු අපේ මනැසට හසු වන්නේ දෑඟුම් සිත්තමක් ලෙසිනි. ‘විදුලි කෙටිලි පෑවා - කොළ සරබර ගෑවා’ යන දෙපාදයෙහි වචන හඬ ද එයින් කියවෙන අරුතට උචිත වන්නේ ගායනට සරිලන වාදනයක් ලෙසිනි. ‘බිරූ කටත් ආවා’ යන පාදයෙහි තාලය අර දෙපාදයෙහි තාලයට වෙනස් වෙයි. බල්ලා ආවේ හාවා කටින් අල්ලා ගැනීමට ය. එහෙයින් ‘බිරූ කටත් ආවා’ යනු එතැනට කොතරම් උචිත ද?
බල්ලා ඉව අල්ලා පඳුරු දෙසට බැලුම් විද ‘හාවා කොයි ද?’ යි අසන්නාක් මෙන් වට පිට බලනු මේ තුන් පාදයෙන් කියැවෙන්නේ දෑඟුම් සිත්තමක් දැක්වෙන්නාක් මෙනි. විශේෂ ප්‍රයෝගයන් නිසාම කතා කරන, ඉඟි කරන, ජීව වස්තූන්ගේ ස්වරූප ගන්නා මේ වචන නගන ව්‍යංග්‍ය අර්ථ අපේ හදවත් කනට දැනෙයි.
ඉතා සුන්දර ජන කවි ලෙස ඇද දැක්විය හැක්කේ කුඩා දරුවන්ගේ තුඩක් පාසා පවතින සිවුපදයයි හැඟෙයි. ජන කවියක වෘත්තය, තාලය, අර්ථය යන තුනෙහි රමණීයත්වය දුටු කුමාරණතුංග මහතා රචනා කළ අර පද්‍යාවලිය අපේ වර්තමාන කවීන්ගේ සැලකිල්ලට භාජන නොවීය. අලුත් ම මං පාදා ගනු සඳහා වෑයම් කරන වර්තමාන තරුණ කවීන්ගේ සිත් ජන කවියෙන් ලැබිය හැකි උගැන්මත් ආවේශයත් දෙස යොමු කිරීමට ඒ පද්‍යාවලිය හේතු වෙතැයි සිතමි.
- මාර්ටින් වික්‍රමසිංහ
කවි පද බැඳීමේ දී නවක කවියන්ගේ අවධානය යොමුවිය යුතු පැත්තක් ගැන වික්‍රමසිංහ සූරීන් මෙහිදී සඳහන් කරනවා. ආයාසයක් නැතිව කවි සංකල්පනා මතුකර ගන්නා අන්දම කෙතරම් අපූරු දෙයක් දැයි ඔහු මෙහිදී කියා දෙනවා. ඒ වගේ ම කවි රසාස්වාදනය සඳහා පාඨකයා පොලඹවනවා.
මේ පැදි පන්තිය නිර්මාණය කළ කුමාරතුංග මුනිදාස සූරීන් ජීවත්ව සිටියදී අපට මෙවැනි ප්‍රබන්ධ රැසක් ඉදිරිපත් කළා. මෙය ඔහු දරුවන් වෙනුවෙන් කළ එකක්. ඔහු ගැන විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. දැනට ජීවතුන් අතර නැති ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මහත්මාව කළ පර්යේෂණයකට අනුව කුමාරතුංග මුනිදාස සූරීන් අපේ ලේඛකයන් අතර වැඩිම වාං මාලාවක් ඇති තැනැත්තායි. ඒ ගැන ඇය සඳහන් කරන්නේ කුමාරතුංග මුනිදාස සූරීන් ගැන ග්‍රන්ථයක් සම්පාදනය කරමින්.
කුමාරතුංග මුනිදාස සූරීන්ගේ මේ ‘හාවාගේ වග’ ඔහු විසින් ලියන ලද පාසල් පොතකට ඇතුළත් කළ එකක්. ඒ පිළිබඳ විශේෂ ලිපියක් කලකට ඉහත ළමා ගී යටතේ ‘මල් කැකුළු’වල පළ කළා.
0 Comments