HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිංහල සිනමාවේ නව රැල්ලේ පුරෝගාමියා ජී. ඩී. ඇල් ජීවිතයට සමුදෙයි!

අපේ සිංහල සිනමාවට අසාමාන්‍ය කැපවීමක් කළ, නිහඬ ව ලාංකීය සිනමාවට මහ මෙහෙවරක් කළ, සිනමා සහෘදයෙක් පසුගියදා එංගලන්තයේ දී මෙලොවින් සමුගත්තා. 60 දශකයේ සිනමාවට ඇවිත් ඔහු කළ සේවය තවමත් ඵල දරනවා. එපමණක් ‍නොව ඔහු සිංහල සිනමාව තුළ දැල් වූ ආලෝකය තවමත් නොනැසී දැල්වෙමින් පවතිනවා. 60 දශකයේ ලොව පුරා නව සිනමා රැල්ලක් හඹා යමින් තිබුණා. 

චිත්‍රාගාර වලින් කෙරෙන දැවැන්ත නිෂ්පාදන වෙනුවට, චිත්‍රාගාරවලින් බැහැර වෙමින් නිර්මාණශීලී අදහස් ප්‍රකාශනයක් ලෙස සරල සිනමා රීතියක් අනුගමනය කරන තරුණ පිරිසක් තමයි, ඉතාලිය, ප්‍රංශය ඇතුළු රටවලින් බිහි වී ලෝක සිනමාව තුළ මේ නව රැල්ල ඇති කළේ. ‍ඒ සමගම ඉන්දියාවේත් ඒ ප්‍රවණතාව මතු වුණා. ඒ කාලයේම සිංහල සිනමාවේත් මේ රැල්ල එසේ ම ගලා ගියා. චිත්‍රාගාරවලින් බැහැර වෙමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව’ (1956) චිත්‍රපටයෙන් මුල්පියවර තැබුවත් සිංහල සිනමාවේ සැබෑ නව රැල්ල ආරම්භ වුණේ අද මේ අපි කතා කරන අපේ කතා නායකයාගෙන්. ඔහු තමා ජී. ඩී. ඇල්. පෙරේරා, කෙටියෙන් කවුරුත් ඔහු ඇමතුවේ ‘ජී. ඩී. ඇල්’ කියායි. 

ජී. ඩී. ඇල්. පෙරේරා

සිනමාව තුළ ඔහු කළ පෙරළියට මඟ පෑදුණේ. ඔහු අධ්‍යක්ෂණය කළ ‘සාමා’ චිත්‍රපටයෙන්.’කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් සිංහල සිනමාව ආරම්භ වූයේ වේදිකාවේ ආභාෂ‍යෙන් වුවත්, ඉන් මිදී සිනමානුරූපීව සිතන අධ්‍යක්ෂවරයකු බිහිවුණේ ‘සාමා’ (1965) චිත්‍රපටයෙනුයි. යථාර්ථවාදී රීතිය අනුගමනය කරමින් තැනූ ‘සාමා’ චිත්‍රපටය මුලුමනින් ම ආධුනිකයන්ගේ දායකත්වයෙන් නිර්මාණය කෙරුණකි. ‘සාමා’ නිපදවූයේ කලින් ජී. ඩී. ඇල්ගේ ම එම නමින් යුත් නාට්‍යය ඇසුරෙන් වුවත් එහි වේදිකා ලක්ෂණ මුලුමනින් ම බැහැර කර සිනමාවට උචිත ලෙස සකසා ගන්නට ජී. ඩී. ඇල් සමත් වුණා. ඒ අනුව වේදිකාවත් සිනමාවත් අතර ඇති වෙනස හඳුනාගත් ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස ජී. ඩී. ඇල්ව හඳුන්වන්න පුලුවන්. 

ජී. ඩී. ඇල් යන කෙටි ඉංග්‍රීසි අකුරු තුනෙන් හැඳින්වෙන, ගෝනදූව‍හඳුුන්ගේ දොන් ලක්ෂ්මන් පෙරේරා උපන්නේ 1935 ජූනි 26 වැනිදා රත්නපුරයේ තිරුවානාකැටියේදියි. තිරුවානාකැටියේ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි ඔහු කුඩා කල පෙළුණු ඇඳුම රෝගයට පිළියමක් ලෙස දේශගුණය මාරු කරන්නට ඔහුට සිදුවුණා. ඒ අනුව තමයි, ඔහු කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහලට ඇතුළත් කරනු ලබන්නේ. ඒත් වැඩි කලක් ඒ විදුහලේ රැඳුණේ නැහැ. ඔහුගේ දෛවය ඔහුව කොටහේනේ කුමාර විදුහලට ගෙනාවා. එහිදී ඔහුගේ කලා කුසලතා හඳුනාගත් එඩ්වින් හේවාකපුගේ ගුරුතුමාගේ මග පෙන්වීම ඔහුගේ ජීවිතය නව මඟකට යොමු කළා. 

සිංහල සිනමා නවරැල්ලේ නියමුවා, ජී.ඩී. ඇල් (වමේ), අධ්‍යක්ෂණය කරන ගමන් 
ඩොලිය තල්ලු කිරීම පවා ඔහු අතින් කෙරුණා.

1954 වාරාවසානයේ කොටහේනේ කුමාර විද්‍යාලයේ පැවති විවිධ ප්‍රසංගයේ දී ‘කුමාර රංග’ යටතේ ‘ඔක්කොම පිස්සෝ’ නමින් ඉදිරිපත් කළ කෙටි නාට්‍යය කාගේත් සිත්ගත් එකක් වුණා. ඒ නාට්‍යය ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න කාගේත් අවධානයට හා විමසිල්ලට ලක් වුණා. ඒ නාට්‍යය ලියා නිෂ්පාදනය කළේ එවකට එම විදුහලේ ජ්‍යෙෂ්ඨ පන්ති සිසුවකු වූ ජී. ඩී. ඇල් පෙරේරායි. එයින් ඔහුට ප්‍රතිලාභ රැසක් ලැබුණා. මරදානේ ටීටර් දර්ශනයක ප්‍රධාන අමුත්තා ලෙස සිය සොහොයුරා වෙනුවට යාමට ඔහුට අවස්ථාව පෑදුණා. ඒ වගේ ම කොටහේන අවට ඇති සියලුම සිනමාහල්වල පෙන්වූ දෙමළ හා හින්දි චිත්‍රපට නොමිලේ නැරඹීමටත් වරම් ලැබුණා. ජී. ඩී. ඇල් ඒ හැම එකකට ම ගියේ සිය අතිජාත මිත්‍රයා වූ වෝල්ටර් විමලරත්න සමගයි. 

‘මීට වඩා හොඳ නාට්‍යයක් කරන්න මට පුලුවන්’ දවසක් ටවර් රගහලේ නාට්‍යයක් නරඹා එළියට එන අතරතුර ජී. ඩී. ඇල් සිය මිතුරාට කීවා. ‘එහෙම කියන්න එපා බං, මේවා කරන එක එච්චර ලේසි නෑ’ යි කී මිතුරා ඒ ගැන උපදෙස් ගන්නට ඔහුව තොටළඟ ප්‍රසිද්ධ ටීටර්කාරයෙක් ළඟට කැටුව ගියා. 

‘ඕවට හුඟක් වියදම් යනවා, ළමයෝ! පොතට ගෙවන්න ඕනෑ. ඇක්ටර්ස්ලට ගෙවන්න ඕනෑ. මාස්ටර්ලාට ගෙවන්න ඕනෑ.’ ඔහු කීවා. 

‘හොඳයි අපිම කතාව ලියනව නං, අපිම රඟපානව නං, තව මොනවටද ගෙවන්න තියෙන්නේ?’ ජී. ඩී. ඇල් ඇසුවා. 

‘ඒත් ළමයෝ ඇත්තටම පෙන්වන්න හෝල් එකක් එපායැ. ඒවට සල්ලි ඕනෑ’ ටීටර්කාරයා කීවා. ‘අපි යාළුවන්ට කලින් ටිකට් විකුණනවා. අම්මල තාත්තලාට ටිකට් විකුණනවා. ඒ සල්ලිවලින් හෝල් එකට බඳිනවා.’ 

‘එහෙමනං ඕනෑ කෙනෙකුට බැරියැ ටීටර් කොරන්න’ යැයි කියමින් ටීටර්කාරයා තරුණ ජී. ඩී. ඇල් දිහා බැලුවේ ඔහුගේ ධෛර්යය ගැන මවිතයට පත් වෙමින්. 

‘සාමා’ චිත්‍රපටයේ ලියෝනි, දෙනවක හාමිනේ සමග එල්සන් දිවිතුරුගම (වමේ), 
ලියෝනි හා සුගතපාල සෙනරත් යාපා (පසු කලෙක ජගත් කීර්තියට පත් සිනමාකරුවා)

ජී. ඩී. ඇල් නාට්‍යයක් තැනීමේ අභියෝගය ඒ මොහ‍ොතේ සිට ම භාර ගත්තා. එදා මුළු රෑ පුරා ම නිදි මරා ගෙන නාට්‍යයක් ලිව්වා. ඒ සඳහා ඔහුට ආභාසය ලැබුණේ එතෙක් දැක තිබුණු චිත්‍රපටවලිනුයි. ඊට පසු දිනෙක විමලරත්නගේ කුලී කාමරයට රැස් වූ ඔහුගේ ළඟම හිතවතුන් කීපදෙනකු සමඟ ‘අගනුවර කලාපෙළ නාට්‍ය සංගමය’ පිහිටුවා ගත්තා. එහි අනෙක් ආරම්භක සාමාජිකයන් වූයේ ඇස්. කරුණාරත්න, අමිත මල්ලවාරච්චි, කරුණාරත්න ඩී. පිලිප්, වික්ටර් වික්‍රමගේ යන අයයි. 

ඔහු සිය නාට්‍යයේ රඟපාන්නට මිතුරන්ට අවස්ථාව දුන්නා. රැකියා කළ මිතුරන්ගෙන් නාට්‍යය පෙන්වූවාට පසු ආපසු දීමේ පොරොන්දුව පිට මාසයකට රුපියල් පහ බැගින් ණයට ගෙන අරමුදලක් පිහිටෙව්වා. එයින් රුපියල් විසිපහක් ගෙවා ශාලාව වෙන්කර ගත්තා. කලාපෙළ නාට්‍ය සංගමයේ කුළුඳුල් වේදිකා නාට්‍යය වූ ‘කඳුළු’ 1955 නොවැම්බර් 9 දා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී වේදිකා ගත කිරීමට ඔහුට හැකි වුණා. 

1955 දී වේදිකාවට ගෙනා‘කඳුළු’ වේදිකා නාට්‍යයේ සිට ම ජී. ඩී. ඇල් අලුත් මුහුණු සොයා ගියා. ‘කලාපෙළ’ යනුවෙන් එක් වූ ජී. ඩී. ඇල් ප්‍රමුඛ සහෘදයන් වසර හතක් තිස්සේ නාට්‍ය ගණනාවක් වේදිකාවට ගෙනාවා. කඳුළු (1955) වලින් පටන් ගෙන, ‘අපවාදය’(1957), ‘මනමාලකම’(1957), ‘සාමා’(1960), ‘සක්කර වට්ටං’(1961), ‘රතුරෝස’ (1962), ‘මෙහෙව් ලෝකෙක’ (1962), ‘මඟුල් මතේ’(1963), ‘අන්දරේ’ (1963), ‘තොටුපළ’ (1964) ඉන් කීපයක්. එයින් ‘තොටුපොළ’ ජනවාර්ගික ප්‍රශ්නය තේමාව කර ගත් ප්‍රථම වේදිකා නාට්‍යයයි. 

‘සාමා’ චිත්‍රපටයේ ලියෝනි හා ෂෙල්ටන් සිල්වා රඟපෑ ජවනිකාවක්.

‘කලාපෙළ’ට හත් වසරක් පිරුණු දා මෙතෙක් වේදිකාවේ දස්කම් පෑ අපි දැන් ඊළඟට කළ යුත්තේ චිත්‍රපටයක් තැනීමයි කියා යෝජනා කළේ පැමිණි පිරිසට ස්තුති කරමින් සුගතපාල සෙනරත් යාපායි. ‘සාමා’ චිත්‍රපටය අරඹන විට කලාපෙළ අරමුදලේ තිබුණේ රුපියල් 250ක් විතරයි. ජී. ඩී. ඇල් ඒ ගැන අක්කාට කී විට අය සිය කනකර උගස් කර ඉන් ලැබුණු මුදල ඔහුට දුන්නා. කලාපෙළ සහෘද‍යන් පුලුවන් හැම අයුරින් ම සහය දුන්නා. කෑම බීම ආදී හැම දෙයක් ම එකිනෙකා ගෙනාවා. අවශ්‍ය වුණේ සති අන්තයට රූගත කරන්නට සිනමා පට රීල් තුනක් ගැනීම විතරයි. එයින් මුල් ම රිල් එක අරන් දුන්නේ ලියෝනිගේ පියායි. ධම්ම ජාගොඩ පඩියෙන් භාගයක් මාස්පතා දුන්‍නා. බුද්ධි වික්‍රම ඔහු වෑන් රිය දුන්නා. තවත් හිතවතෙක් සිය කාරය විකුණා ඒ මුදල අරමුදලට දුන්නා. 

චිත්‍රාගාරයෙන් බැහැරව රූ ගත කළ ලෙස්ටර්ගේ ‘රේඛාව’ අනුව යමින් ජී. ඩී. ඇල් ‘සාමා’ රූ ගත ‍කළේ මුලුමනින්ම එළිමහනේයි. ඔවුන් ඒ සඳහා තෝරා ගත්තේ කඩවත රන්මුතුගල ගම්මානයයි. නුුවර පාරේ කඩවත පසු කරන විට හමුවන රන්මුතුගල අද නාගරිකරණයට ලක් ව තිබුණත් එදා ගැමි ලක්ෂණවලින් පිරී තිබුණා. ‘සාමා’ට කලින් මේ ගම්මානයේ තවත් විශේෂ සිංහල චිත්‍රපටයක් රූගත කෙරුණා. ඒ අපේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’යි. ඒ නම යෙදුවෙත් මේ ගමේ නම අනුව යමින්. 

බොහෝ අරපරිස්සමෙන් කටයුතු කළ ජී. ඩී. ඇල් ‘සාමා’ තනා නිම කරන විට ඔවුනට වැය වී තිබුණේ මුදලින් රු. 40,000ක් පමණයි. ප්‍රධාන ප්‍රදර්ශන සමාගම් සම්බන්ධ නොවූ චිත්‍රපටයක් වූ නිසා ‘සාමා’ ප්‍රදර්ශනයට හොඳ සිනාමාහලක් ලැබුණේ නැත. ඒ නිසා 1965 මැයි 13 වැනිදා එය තිරගත වූයේ ඕඩියන් සිනමා හල ඇතුළු නවක සිනමා මණ්ඩලයකයි. ඒ වගේ ම අපේ විචාරකයන්ට එහි අගය නිසි ලෙස දැක ගැනීමට හැකි වූයේද නැත. දකුණු ඉන්දියානු රටාවේ ඔප දැමූ රූප රාමුවලට හුරු වූ ඇස් ඇති අපේ බොහෝ විචාරකයන් ‘සාමා’ චිත්‍රපටයේ රූප රාමුවල ඇති කලාත්මක බව දුටුවේ නැත. ඔවුන් ඒවා දුටුවේ කැමරාකරණයේ දුර්වලතා හැටියටයි. විචාරකයන්ගේ ඒ දෝෂය හොඳින්ම දුටුවේ තිස්ස අබේසේකර පමණයි. 

මා ජී. ඩී. ඇල් හඳුනාගත්තේ ‘සාමා’ චිත්‍රපටය තිරගත වූවාට පසුවයි. ලෝක සිනමාවේ නව රැල්ල ගැන උනන්දුවක් දැක්වූ මා ‘සාමා’ දුටුවේ අපේ නවරැල්ලේ උපත හැටියටයි. ඒ නිසා මා ඔහු දෙස බැලුවේ ප්‍රංශයේ යාන් කොක්ටෝ, ප්‍රංශුවා ටෲෆෝ, යාන් ලූක් ගොඩාඩ් වැනි සිනමාකරුවන් දෙස බලන්නාක් ලෙසයි. ඒ බව ඔහුට කී විට ඔහු නිහතමානීව සිනාසෙමින් කීවේ, ‘එහෙම ගැඹුරකින් හිතල නෙමෙයි, අපට තිබිච්ච සම්පත්වලින් කරන්න පුලුවන් දේ තමයි ඔය කළේ’ කියායි. 

නොදැනුවත් හෝ ඔහු කළ දෙයින් තරුණ පරපුර සිනමාව කෙරෙහි ආකර්ෂණය වුණා. නිර්මාණශීලී තරුණයන් රැසක් අපේ සිනමාවට එක් කිරීමට හේතු වුණා. ඒ වගේ ම අලුත් දෙයක් කරන්න අලුත් මුුහුණු සොයා යාම ඔහු පුරුද්දක් කර ගත්තා. ඔහු ‘සාමා’ චිත්‍රපටයෙන් අලුත් කැමරා ශිල්පියෙක් හඳුන්වා දුන්නා. ඔහු ඩබ්ලිව්. ඒ. රත්නායකයි. දෙවැනි චිත්‍රපටය වූ ‘දහසක් සිතුවිලි’(1968) සඳහා ඩී. බී. නිහාල්සිංහ එක් කර ගත්තා. නිහාල්සිංහ‍ එහිදී පළමුවරට යොදා ගත් හස්තගත කැමරාකරණය ඒ චිත්‍රපටයට අපූරුවට ගැළපුණා. ‘රොමියෝ ජුලියට් කතාවක්’ (1970) චිත්‍රපටයට ඉංග්‍රීසි ගීයක් ගයන්න සුනිල් සාන්ත කැමති කරවා ගන්නට ජී. ඩී. ඇල් සමත් වුණා. සුනිල් සාන්ත ගැයූ එකම චිත්‍රපට ගීය එයයි. 

මා සිනමාව ගැන කතා බස් කරන්නට ඔහු හමුවීම පුරුද්දක් කර ගත්තේ ‘සරසවිය’ පුවත්පතට එක් වූ පසුවයි. එවකට සරසවිය ප්‍රධාන කර්තෘව සිටි විමලසිරි පෙරේරා මහතාගේ සිත දිනාගෙන සිටි ජී. ඩී. ඇල් ඉඩ ඇති විටෙක ඔහු හා සුහද කතාබහකට සරසවිය කර්තෘ මණ්ඩලයට ද ආවා. ඔහු දවසක් සරසවියට ගොඩ වැදුණේ එංගලන්තයේ පොදු රාජ්‍ය මණ්ඩල කාඩිෆ් සිනමා උළෙලට ‘සාමා’ රැගෙන ගොස් ආපසු පැමිණි පසුවයි. ‘මට හරිම සතුටුයි. ලෙස්ටර්ගේ ‘ගම්පෙරළිය’යි, රායිගේ ‘චාරුලතා’යි, මගේ ‘සාමා’යි විතරයි මුළු ආසියාවෙන්ම ඒ උළෙලට තෝරා ගෙන තිබුණේ.’ ඔහු එදා කීවේ සතුටින් ඉපිල යමින්. 

ජී. ඩී. ඇල් තරම් සිංහල සිනමාවට අලුත් මුහුණු හඳුන්වා දුන්, නවකයනට අත දුන්, තවත් කෙනෙකු නැති තරම්. අපේ නළු නිළි පරපුර දිහා බලන්න. අපේ නිළි රැජින මාලිනී ෆ‍ොන්සේකා පමණක් නොව විජය කුමාරතුංගත් මුලින් ම කැමරාවක් ඉදිරියේ රඟපෑවේ ජී. ඩී. ඇල්ගේ ‘රොමියෝ ජුලියට් කතාවක්’ චිත්‍රපටයේයි. ඔහුගේ විශිෂ්ටතම හඳුන්වා දීම ‘සාමා’ චිත්‍රපටයෙන් ආ දෙනවක හාමිනේ (ඩී. එම්. පෙරේරා)යි. ධම්ම ජාගොඩ, ශ්‍රියාණි අමරසේන, ලියෝනි වීරසිංහ, නිලන්ති වි‍ජේසිංහ, ෂෙල්ටන් සිල්වා, බුද්ධි වික්‍රම, පී.බී. මයිල්ලෑව, ඩග්ලස් රණසිංහ, එල්සන් දිවිතුරුගම, සුගතපාල සෙනරත් යාපා, ගාමිණී වික්‍රමසූරිය, ගාමිණී විජේසූරිය ඔහු හඳුන්වා දුන් තවත් කීප දෙනෙක්. 

දෙනවක හාමිනේ වේදිකාවට ආ හැටි ජී. ඩී. ඇල්ගේ වචනවලින් ම කිව්වොත් මෙසේයි. ‘දෙනවක ඇන්ටිට එතකොට වයස අවුරුදු පනහක් විතර ඇති. ‘කඳුළු’ නාට්‍යයේ ප්‍රධාන චරිතයරඟපෑ පාසල් සිසුවා නාට්‍ය පුහුණුවට ආවේ අම්මත් එක්කයි. දවසක් අම්මා වෙනුවට ඇන්ටි කෙනෙක් එක්ක ආවා. ඇගේ නම ඩී. ඇම්. පෙරේරා. ඇය පාසල් ගුරුවරියක්. එදා ඉඳන් ඇය අපට නිතරම උදවු කළා. සමහර දාට තිරය පසුපස සිට, නාට්‍ය පෙළ කියෙවා. රඟපෑ අයට වචන මතක් කර දෙන එක වුනත් ඇය ඒක කළේත් රඟපාන විදියට ම නියම ලෙස දෙබස් උච්චාරණය කරමින්. දවසක් වැඩිහිටි නිළියක් අසනීප වුණු වෙලාවක මං ඇන්ටිට කිව්වා අපට උදව්වක් හැටියට ඒ චරිතය රඟපාන්න කියලා. 

‘අප්පේ හොඳට හිටීවි, මට ගෙදරින් විසුමක් වෙන එකක් නැහැ ගුරුවරියක් වෙලා ජවුසන් නටනවා කියලා’ ඇය එකපාරටම ඊට විරෝධය පළ කළා. 

ඒත් අපි ප්‍රශ්නයකට මැදිවෙලා ඉන්න බව තේරුම් ගිය ඇය මා ළඟට ඇවිත් කිව්වා , ‘හොඳයි මේ ළමයින්ට කරන උදව්වක් හැටියට රඟපාන්නම්. හැබැයි වේදිකාවෙ තිරය දිහා බලා ගෙන’ කියලා. ඔන්න ඔහොමයි දෙනවක හාමිනේ කලා ලොවට ආවෙ. එයා එදා හොඳට රඟපෑවා. ඊට ඉස්සරින් ඒ චරිතය මං රඟපැවෙ ඔළුව රෙද්දකින් වහගෙන.’ ජී. ඩී. ඇල් අතීතාවර්ජනය කරමින් සිනාසුණා. 

ඔහුගේ විශිෂ්ටතම හඳුන්වා දීම ‘සාමා’ චිත්‍රපටයෙන් ආ දෙනවක හාමිනේ (ඩී. එම්. පෙරේරා)යි.

‘මං රොමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටය සැලසුම් කරමින් උන්නු කාලෙ කලාපෙළ නිවහනේ ඉඳිද්දී දවසක් ළමයි ඇවිත් කිව්වා, චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් ඉන්න තරුණයෙක් ඇවිත් ඉන්නවා සර්ව හම්බ වෙන්න කියල. එන්න කියන්න ද ඇහුවා. මං එන්න කියන්න කිව්වා. ටික වෙලාවකින් ලස්සන කඩවසම් තරුණයෙක් මං ඉදිරියට ආවා. කොණ්ඩෙ හැඩට පීරලා ජැන්ඩියට හැඳ පැලඳ සිටි ඔහුගේ මුවඟ අහිංසක විදියෙ ආකර්ෂණීය හිනාවක් තිබුණා.’ ජී. ඩී. ඇල් තවත් පැරණි මතකයක් දිග හැරියා. 

‘මගේ අලුත් චිත්‍රපටයට ප්‍රධාන නළුවෙක් අවශ්‍යයි. ඒත් ඒකට ඔයා හරි යන්නෙ නෑ. මට ඕනෑ කොණ්ඩෙ කොටට කපපු, හම ගිය ජීන්ස් දෙකක් ගහපු, ටී ෂර්ට් එකක් ඇඳපු, නගරයේ රස්තියාදුකාර කොල්ලෙක්. තවම චරිතවලට කට්ටිය තෝරලා ඉවර නෑ. ඔයා තව සුමාන දෙකකින් විතර එන්න එතකොට මට පුලුවන් වේවි ඔයාට චරිතයක් දෙන්න’ කියලා එයාව පිටත් කරලා ඇරියා. 

‘ඒ ළමයා ඊළඟ සතියේම ආයෙත් ආවා. මං අපේ ළමයින්ට කිව්වා, මං එන්න කිව්වෙ සති දෙකකින් නෙ. දැන් හම්බ වෙන්න බැහැ, යන්න කියන්න කියලා.. අපේ ළමයින් හිනාවෙවි මට බල කළා ගෙන්නල බලන්න කියලා. මං හා කිව්වා. ඒත් අර ළමයා ආවෙ නෑ! ටික වෙලාවකින් මගේ දොරකඩ හිටගෙන ඉන්නවා එහෙම පිටින්ම වෙනස් කෙනෙක්. එක කකුලත් නවා ගෙන, අමුතු බැල්මක් දා ගෙන, අර ලස්සන කොණ්ඩෙ කපලා, ජැන්ඩියට ඇඳපු ඇඳුමුත් නැතුව. මට පුදුම හිතුනා ඒ ළමයගෙ කැපවීම ගැන. 

‘මං කිව්වා, දැන් මං රොමියෝට එක්කෙනක් තෝරාගෙන ඉවරයි. මං ඔය ළමයට දෙන්නං රෝමියෝගේ යාළුවගෙ චරිතෙ. එයාට හරිම සතුටුයි. ඒ බව කියලා යන්න හැරුණු එයා ආපහු හැරිලා මගෙන් ඇහුවා, ‘ෂුවර් නේද? සර්! මං පත්තරවලට කිව්වට කමක් නැද්ද?’ කියලා. ඔන්න ඔහොම තමයි විජය කුමාරතුංග සිනමාවට ආවෙ. ජී. ඩී. ඇල් ආයිත් හිනාවුණා. 

‘අගනුවර කලාපෙළ සංගමය’ පසුව පුළුල් කර ‘කලාපෙළ සංස්කෘතික සංගමය’ බවට පත්වෙමින් මහරගම නාවින්නේ ‘කලාපෙළ’ නිවහනට යද්දී එහි සභාපති පදවිය හෙබවූයේ එඩ්වින් හේවාකපුගේ මහතායි. ඒ මහතා ලොකු ශක්තියක් වුණා, ජී. ඩී. ඇල්ගේ ඉදිරි ගමනට. 

නාට්‍ය නිෂ්පාදනයට අමතර ව තම සාමාජිකයන් දැනුවත් කිරීම පිණිස විවිධ වැඩසටහන් නාවින්නේ කලාපෙළ නිවහනේ දී පැවැත්වුණා. රංගනය පිළිබඳ වැඩමුළු පැවැත් වුණා. 60 දශකයේ අග භාගයේ දී එහි පැවැත්වුණු සිනමා පාඨමාලාව හදාරා පසුව සිනමාවට එක්ව විවිධ අංශවලින් දස්කම් පෑ අය බොහෝයි. පරාක්‍රම සිල්වා, පී.යූ.ඩී. පෙරේරා, අයි. එන්. හේවාවසම්, ලාල් පියසේන, චන්දන සිල්වා, ස්ටැන්ලි අල්විස්, ධර්මසිරි බණ්ඩාරනායක, සුමින්ද වීරසිංහ, ෂෙල්ටන් පයාගල, රොලන්ඩ් අබේපාල, සීවලී ඉලංගසිංහ, පරාක්‍රම නිරිඇල්ල, බුද්ධදාස ගලප්පත්ති ඉන් කැපීපෙනෙන කීපදෙනෙක්. 

ජී. ඩී. ඇල් තවත් චිත්‍රපට කීපයක් ම තැනුවා. ඉගිලෙන කුරුල්ලෝ (1970), දුරගිය ගමනක් (1970), Peter Of The Elephants (1980) Winners and Losers (1986) යන ඒවායි. 1983 දී ජාතික රුපවාහිනීය ආරම්භයේ දී ‘රටගිය ඇත්තෝ’ කියා ටෙලිනාට්‍ය මාලාවක් ද කළා. කලක් එංගලන්තයේ ගත කළ ජී. ඩී. ඇල් පසුව මෙරටට ඇවිත් කන්ද උඩරට රමණීය තැනක චිත්‍රාගාරයක් තනාගෙන සිනමා පුහුණු ආයතනයක් පවත්වා ‍ගෙන ගියත් ඊට නොයෙක් අකුල් හෙළීම් සිදු කෙරුණෙන් එය අත හැර යළිත් එංගලන්තයට ගියා. එහි දී රෝගී වූ ඔහු 86 වි‍යේදී මෙලොව හැර ගියා. මේ විශේෂාංගය ඔහුට උපහාරයක් වේවා!‍ 

- පර්සි ජයමාන්න  

 

Post a Comment

0 Comments