HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබ නිදන්නේ හඳ මෝරන තාලයටයි - පර්යේෂණයකින් හෙළිවේ!

පසළොස්වක පෝයට කලින් රාත්‍රිවල දී ඔබේ නින්දේ වෙනසක් ඔබට දැනුනාද? දින 29.5ක් වූ චන්ද්‍ර චක්‍රය පුරා කළ පර්යේෂණයකට අනුව විද්‍යාඥයන් කියන්නේ ඔබ නිදද්දී චන්ද්‍රයාගේ බලපෑමට ලක් වන බවයි. හඳ‍ෙහි මෝරන කාලයේ දී මිනිසුන් පමා වී නින්දට යන බවත්, ඒවාගේ ඔවුන් ඒ කාලෙදි ලබන නින්දත් ක‍ෙටි වන බවත් අලුත් ම අධ්‍යයනයකින් හෙළිවී තියෙනවා. මේ අධ්‍යයනය කළ ඇමරිකානු පර්යේෂකයන් කියන්නේ මේ වෙනස්කම නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලත් එක හා සමානව සිදුවන බව ඔවුන්ගේ නිරීක්ෂණවලින් හෙළිදරවු වුණා. 

සඳට පෘථිවිය වටා කක්ෂයක් සම්පූර්ණ කරන්නට දින 27.3ක් ගතවෙනවා. 
එහෙත් චන්ද්‍රයාගේ කලාවන් වෙනස් වන්නට (නව සඳක සිට 
ඊළඟ නව සඳ දක්වා) දින 29.5ක් ගතවෙනවා.

ස‍ඳ‍ෙහි කලාව අනුව නින්ද සිදුවන බව හෙළිකෙරන මේ පර්යේෂණයෙන් නගින කලාවෙහි දී නින්දේ අඩුවකුත් බහින කලාවේ දී එනම් අමාවක තෙක් කාලයේ දී වැඩි වේලාවක් හා දිගු නින්දක් මිනිසා ගත කර බැව් තහවුරු වී තියෙනවා. 

විශේෂඥයන් කියන්නේ පසළොස්වකට ආසන්න දවස්වල හිරු බැස ගියාට පසුවත් ස්වභාවික හඳ එළිය වැඩියෙන් ඇති නිසා හිරු එළියට එය ආදේශකයක් වෙනවා. මෙසේ හඳ එළිය ඇති නිසා මිනිස් සිරුරට රාත්‍රිය එළඹුණු බව දැනීම නොලැබී යනවා. මෙය විදුලි එළිය නිසා වෙනස් විය හැකියි. 

‘අපට පැහැදිලිව පෙනී ගොස් තියෙනවා, සඳ අපේ නින්දට බලපෑමක් කරන බව, ඒක සිදු වන්නේ චන්ද්‍ර කලාවට අනුවයි.’ කියා ඒ අධ්‍යයනය මෙහෙයවූ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ හොරේෂියෝ ඩි ලා ලගේසියා කියනවා. ‘මේ තත්වය ගම්ප්‍රදේශවලදී පැහැදිලිව දැක ගන්න පුලුවන්. විදුලි බලය තියෙන අපේ ශිෂ්‍යයන්ගේ ගම් ප්‍රදේශවලත් ඒ රටාව ඒ විදියට තිබුණා.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

දින 29.5ක කාලයක් තිස්සේ චන්ද්‍රකලාවන් ඔබට දැක ගන්න පුලුවන්. ඒවායේ වෙනස් කම් අපේ ජීවිතවලට බලපාන බව නොයෙක් අවස්ථාවන්හිදී අපට පෙනී ගොස් තිබුණා. එහි දී චන්ද්‍රයාගේ වර්ධන කලාව පවතින අවස්ථාවේදී හිරු බසින නිසා සඳ එළියෙහි දීප්තිය ඉතාමත් වැඩියි. ඒ නිසා එහි බලපෑමක් ඇති වෙනවා. එයින් අප මෝහනයට පත් වෙනවා. දිනපතා කලාවකට සිදුවන මේ වෙනස්කම් අප නොදැනුවත්ම අපේ චර්යාවන්ට බලපානවා. 

‘අපේ මුතුන්මිත්තන්ටත් ‍මේ බලපෑම තදින් ම තියෙන්නට ඇති. ඒවා අපටත් ඔවුන්ගෙන් උරුම වෙන්නට ඇති.’ කියා මේ අධ්‍යයනයේ සම සංස්කාරක වොෂිංටන් විශ්විද්‍යාලයේ ජීව විද්‍යා පශ්චාද් උපාධි අධ්‍යයන අංශයේ ලියනාඩෝ කැසිරාගි කියනවා. 

මේ චන්ද්‍රයාගේ කලාවන් වෙනස් වෙන ආකරයයි. නව සඳ, අටවක සඳ, 
පුන්සඳ, අවඅටවක, අමාවක ලෙස මේවා සිදුවෙන චක්‍රයට දින 29.5ක් ගත වෙනවා.

මේ කාලවල නිදියන රටාවන් ගැන අධ්‍යයනය කරන්නට ඔවුන් තෝරා ගත්තේ උතුරු ආජෙන්ටිනාවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජාවන් පිරිසක්. ඒ වගේම ඇමරිකාවේ සියැටල් හී විසූ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්. අතේ බඳින මොනිටරවලින් මේ කණ්ඩායම 98 දෙනකුගේ නිදා ගැනීමේ රටාවන් ගැන නිරීක්ෂණය කළා. ආජෙන්ටිනාවේ ෆෝමෝසා පළාතේ ටෝබා-කොම් ගම්වැසි ප්‍රජාවන් තුනක් මේ සඳහා යොදා ගත්තා. අත් මොනිටර මගින් තොරතුරු ගත්තාට අමතරව ඔවුන් ඒ රාත්‍රියන් ගත කළ ආකාරය පිළිබඳ වාර්තාවන් ද ඔවුන්ගෙන්මත් ලබා ගත්තා. 

මේ ප්‍රජාවන් ඔවුන්ට විදුලි බලය ලැබුණු ආකාරය අනුව එකිනෙකාට වෙනස් වුණා. මුල් ප්‍රජාවට විදුලි බලය ලැබී තිබුණේ නැහැ. දෙවැනි ප්‍රජාවට විදුලි බලය ලැබුණේ සීමිත ප්‍රමාණයකටයි. ඔවුන්ගේ එක ගෙදරකටම තිබුණේ එක් විදුලි බුබුලක් පමණයි. තුන් වැනි ප්‍රජාව ඇති තරම් විදුලිය තිබුණා. 

ටෝබා-කොම් ගම්වැසි ප්‍රජාවන් අතරින් මේ අධ්‍යයනයට එක් වූ අයගෙන් හතරෙන් තුනක් ම දිනපතා තමන්ගේ නින්ද පිළිබඳ තොරතුරු සටහන් තබන්නට ඉතා උනන්දුවෙන් සහභාගි වුණා. සමහරුන් සම්පූර්ණ චන්ද්‍ර මාසයක් හෝ දෙකක් පුරා දිනපතා මේ තොරතුරු ලබා දුන්නා. 

මේ තොරතුරුවලට අනුව චන්ද්‍ර කාලවන්වල වර්ධනයට සමපාතව ඒ ප්‍රජාවන් තුනම එකම නිදන රටාවක් ලබා ගෙන තිබුණු බව හෙළිවුණා. ඒ ප්‍රජාවන්ගේ නිදා ගැනීමේ සාමාන්‍ය කාලය වෙනස් වුණේ මිනිත්තු 46ත් 58ත් අතර ගණනකින්. නිදා ගැනීමට ගිය වේලාව‍ වෙනස් වුණේ මිනිත්තු 30කින් පමණයි. 

ඒ ප්‍රජාවන්ට අමතරව සියැටල් ප්‍රදේශයේ විසූ වොෂින්ටන් විශ්ව විද්‍යාල සිසුන් 464ක් ද මේ අධ්‍යයනයට සහභාගි කර ගෙන තිබුණා. වෙනම අධ්‍යයනයක් ලෙස කළ එහි නිදන රටාවේ කරුණුත් ආජනේටිනාවේ ප්‍රජාවගෙන් ලබාගත් කරුණුත් විස්මයජනක ලෙස සාමානකමක් දැක්වුවා. 

‘චන්ද්‍ර කලාව මිනිසාගේ නින්ද බලපෑම් කරන බව මේ අධ්‍යයනයෙන් තහවුරු වුණා. නගරයේ කොතරම් ආලෝකය තිබුණත් ගෙතුළ සිටි අය චන්ද්‍රාලෝකය නොදුටුවත් නිදියන රටාව ස‍ඳ‍ෙහි මේරීම අනුව සිදුවූ බව හෙළිවුණා.’ කැසිරාගි කියනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments