නාසා යානය ‘උට්ඨාන වීරියෙන්’ යන ‘මිනිත්තු හතේ ත්‍රාසජනක ගමන’ අදයි!

රටවල් තුනක් එක විට අඟහරු හ‍ෙවත් රතු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානා ගවේෂණය සඳහා යැවූ බව ඔබ දන්නවා. එයින් එමිරේට් රාජ්‍යය යැවූ යානය ගිය සතියේ රතු ග්‍රහයා වටා කක්ෂයකට ළං වුණා. එය රතු ග්‍රහයා මතට ගොඩ බසින්නේ නැහැ. පෘථිවි වසර දෙකක් ඒ වටා යනවා පමණයි. දෙවන වර යැවූ චීන යානය ඊළඟට එහි ගියා. ඊළඟට ඇමරිකාව එහි යැවූ යානය නම් කර තිබුණේ පර්සිවරන්ස් (Perseverance) කියලයි. එහි අරුත ‘උට්ඨාන වීර්යය’ යන්නයි. ඇමරිකානු නාසා ආයතනය එයට කෙටි නමකුත් දීලා තියෙනවා. එ තමයි ‘පර්සි’. පෘථිවි පාලක මැදිරිය යානය අමතන්නේ ඒ කෙටි නාමයෙන්. 
යානය අඟහරු වායුගෝලයට ඇතුළු වන්නේ අධික තාපයකින් ගිනි ගනිමින්.

දැන් ඒ යානය අඟහරු මතට ගොඩ බසින්නයි සූදානම. ඒක හරිම භයානක අවස්ථාවක්. ඒ අවස්ථාව ඔවුන් හඳුන්වා ඇත්තේ ‘ත්‍රාසජනක මිනිත්තු හත’ කියලයි. ඒ වෙලාවේ ‘පර්සි’ යානය ෆැරන්හයිට් 2,370ක උපරිම උෂ්ණත්වයකට මුහුණ දෙනවා. ඒ යානය අඟහරු හෙවත් රතු ග්‍රහයා වෙත කඩා වදින්නේ පැ.සැ. 12,000ක වේගයෙන්. ඒ අවසන් ගමනට මිනිත්තු හතක් ගතවෙනවා. නාසා ආයතනය හා අඟහරු යානය අතර යැවෙන රේඩියෝ සංඥා හුවමාරුවට මිනිත්තු 10ක් ගත වෙනවා. නාසා ආයතනයේ පාලක මැදිරියේ කණ්ඩායම ඒ ‘පර්සි’ යානයට ගොඩ බසින ලෙස කීවාම රෝවරය පාලනය සියතට ගෙන තනිව ම රතු ග්‍රහයා මතට ගොඩ බසින්නට පටන් ගන්නවා. ඒ කාලය තුළ යානයත් පෘථිවියේ පාලක මැදිරියත් අතර සම්බන්ධතාව සම්පූර්ණයෙන් ම නැති වී යනවා. 

අඟහරු මත පදවන රෝවරය

යානය අඟහරුගේ වායුගෝලය හරහා ගමන් කරන්නේ පැ.සැ. 12,000ක වේගයෙන් වන නිසා ඊළඟ මිනිත්තු හත තුළ, අඟහරු බිමට ගොඩ බැසීමට ප්‍රථම එහි වේගය බින්දුව දක්වා අඩු කළ යුතු වෙනවා. 

‘ඒක හරියටම සාර්ථක වේයැයි සහතික කර කියන්න බැහැ.’ එහි ඇති අවදානම ගැන නාසා විද්‍යා මෙහෙයුම් අංශයේ සහකාරක පාලක තෝමස් සුර්බුකෙන් කියනවා. 

නාසා ආයතනය මෙම පර්සිවරන්ස් යානය අභ්‍යවකාශ ගත කළේ‍ ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන්, පසුගිය අවුරුද්දේ ජූලි 30 වැනිදායි. ඒ යුනයිටඩ් ලොන්ච් එලායන්ස් ඇට්ලස් පහ (United Launch Alliances Atlas V) රොකට්ටුවකින්. මේ රොකට්ටුවෙන් උඩට ගෙන ගියා විශාල කාරයක් තරම් ප්‍රමාණයේ රෝද හයකින් යුත් යානයක්. ඒ සමග රාත්තල් 4ක් (1.8kg) බර හෙලිකොප්ටරයකුත් රැගෙන ගියා. එහි නම ‘ඉන්ජෙනියුටි’ (Ingenuity) එහි අරුත ‘සුහුරුව’ යන්නයි. අඟහරු වායුගෝලය අධ්‍යයනය කරන්නේ ඒ හෙලිකොප්ටර මගින්. 

රෝවරය අඟහරු මතට පහත් කරන්නේ අඩි 25ක් ඉහළ සිටයි.

සැලසුම් කර ඇති පරිදි 2021 පෙබරවාරි 18 වැනිදා රෝවරය ගොඩ බසින්නට යන්නේ ජෙසේරෝ (Jezero) නම් ආවටයටයි. එය අඩි 820ක් (මීටර් 250ක්) ගැඹුරු එකක්. එය වසර බිලියන 3.5කට පෙර ජලය පිරී තිබුණු පසුව සිඳී ගිය විලක්. 

මේ රෝවරය අපේ කාලයෙන් වසර දෙකක් (අඟහරුගේ කාලයෙන් අවුරුද්දක්) අඟහරු ග්‍රහයා මතුපිට ඔබ මොබ යමින් එහි පෘෂ්ඨය සිදු කර පාෂාණ සාම්පල එක් රැස් කරාවි. ඒවා 2031 දී කරන අඟහරු මෙහෙයුමකදී තමයි පෘථිවියට ආපසු එවන්නේ. මේ සියල්ල සිදු වන්නේ පර්සිවරන්ස් යානයට, මුලින් අප සඳහන් කළ ‘ත්‍රාසජනක මිනිත්තු හත’ තුළ සුරක්ෂිතව රතු ග්‍රහයා මතට ගොඩබසින්නට හැකි වුණොත් පමණයි. ඒ ගමන පටන් ගන්නේ අඟහරුගේ වායුගෝලයට ඇතුළුවීමට මිනිත්තු 10ක් තිබියදීයි. 

කැප්සියුලය පැරෂූටය මගින් වේගය බාල කරමින් පහත් කර අයුරු සිත්තරකුගේ ඇසින්.

පර්සිවරන්ස් යානය රැගෙන යන නෞභාර කැප්සියුලයෙන් වෙන් කර රෝවරය එය බිමට පහත් කිරීම සඳහා එහි පිටත ආවරණයෙහි ඇති කුඩා තෙරපන රොකට්ටු (thursters) දල්වනවා. එසේ පහත් වන අවස්ථාවේ දී එය ෆැරන්හයිට් 2,370ක උපරිම උෂ්ණත්වයකට මුහුණ දෙනවා. ඒ එහි වායුගෝලයට ඇතුළු වී තත්පර 75ක් ඇතුළතයි. 

බිමට පහත් වන්නට මිනිත්තු හතරක් තිබියදී එනම් යානය සැතැපුම් හතක් ඉහළ දී පැරචූටය විවෘත කෙරෙනවා. තාපාරක්ෂක පලිහ ඒ අවස්ථාවේ ඇති දැඩි තාපයට මුහුණ දුන් පසු ගැලවී යන විට තමයි, පැරචූටය විවෘත වන්නේ. එය සිදු වන්නේ සැතැපුම් 1.3ක් තිබියදියි. 

යානය බිමට බස්සවන එන්ජින්වල ප්‍රතිගාමක රොකට්ටු අටක් තියෙනවා. ඒවා දැල්වීමෙන් තමයි යානය බිමට හෙමින් පහත් කිරීම සිදු කරන්නේ. මේ යානය දැන් කරන්නේ මීට කලින් 2012 දී කියුරියෝසිටි (Curiosity) යානය අඟහරු මතට ගොඩබෑමට එදා ස්කයි දොඹකරය (sky crane) කළ දේමයි. එහි නයිලෝන් කඹ ආධාරයෙන් පර්සිවරන්ස් යානය අඩි 25ක් පහතට බානවා. එසේ බිමට බෑ පසු ස්කයි දොඹකරය ඉවතට පියාඹා යනවා. 

රෝවරය අඟහරු මතට පහත් කරන අයුරු දැක්වෙන නිරූපණයක්

එතැන් පටන් පර්සිවරන්ස් යානය වසර දෙකක් තිස්සේ කිරීමට නියමිත භූමි ගවේෂණ කටයුතු අරඹනවා. රෝවරය ගමන් අරඹන්නට පෙරාතුව එහි ඇති ‘ඉන්ජෙනියුටි’ (Ingenuity) හෙලිකොප්ටරය මුදා හැරෙනවා. එය වෙන් වීමෙන් පසු ඉහළට නැඟ ඊට නියමිත පියසැරිය අරඹනවා. පෘථිවියේ අඩි 100,000ක් තරම් උසක සිට පියාසර කරමින් රෝවරයට යා නොහැකි තැන්වල ඇති භූවිද්‍යාත්මක දත්ත එක්රැස් කරනවා. 

නාසා ආයතනය කියන්නේ මෙය රයිට් සහෝදරයන්ගේ ඒ අසිරිමත් අවස්ථාවට සමාන ජයග්‍රහණයක් සලකනු ලබන බවයි. මිනිසා තැනූ යානයක් වෙනත් ග්‍රහ ලෝකය පියාසර කරන ප්‍රථම අවස්ථාව වන මෙය ඉතිහාස ගත වන එකක්. 

අඟහරු මත පළමු වරට සිදුවන අහස් ගමන සිදුවන ආකාරය.

පර්සිවරන්ස් යානය අඩි හතක් උසයි. අඩි නවයක් පළලයි. රාත්තල් 2,260ක් බරයි. පර්සිවරන්ස් යානය රතු ග්‍රහයාගේ ජීවීන් පිළිබඳ කිසියම් හෝ ලක්ෂණයක් ඇද්දැයි සොයා බැලීමත් කරනවා. ඒ වගේ ම 2026 දී නාසා කරන මෙහෙයුමකදී එන අභ්‍යවකාශ යානයකින් පොළොවට යැවීමට අඟහරු පස් හා පාෂණ සාම්පල එක් රැස් කරනවා. මේ යානය විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ කලින් කියුරියෝසිටි යානය යවා ලත් අත්දැකීම් උපයෝගී කර ගෙනයි. 

එයට බල ශක්තිය සපයන්නේ න්‍යෂ්ටික බැටරියකින්. එහි බහාලුවක දමා ඇති රාත්තල් 10.6ක ප්ලූටෝනියම් මූල ද්‍රව්‍ය ප්‍රමාණයකින්. ඒ ප්ලූටෝනියම්වලින් වොට් 2,000ක තාප බල ශක්තියක් වසර 14ක් පුරා සැපයිය හැකියි. 

රෝවරය රතුග්‍රහයා මතුපිට දුවිලි යටින් ඇති පෘෂ්ඨය විද එහි යටි පාෂාණ එක්රැස්කර බීජානුහරණය කළ ටයිටේනියම් නළවලට දමා සීල් කර ඒ යානය තුළ ඇති විශේෂ කුටියක තැන්පත් කර ගන්නවා. මේ ආකාරයට නළ 43ක් පුරවන්නට නියමිතයි. නාසා ආයතනය අපේක්ෂා කරනවා, ඒවා මගින් එකිනෙකට වෙනස් විවිධ පස් හා පාෂාණ සාම්පල 20ක්වත් එක්රැස් කර ගෙන තවදුරටත් විශ්ලේෂණය සඳහා පෘථිවියට ගෙන්වා ගැනීමට හැකිවේවි කියායි. 

නාසා දැනටමත්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමග, 2026 වන විට පසුවිපරම් යානා එකක් හෝ දෙකක් හෝ අඟහරු වෙත යැවීමට එකඟත්වයකට පැමිණ තියෙනවා. ‘2026 දී අපි බලාපොරොත්තු වෙනවා, ඒ පස් සාම්පල් ආරගෙන එන්න, පෘථිවියෙන් අඟහරු වෙත මෙහෙයුමක් යවන්න. අඟහරු ලොවේ පස් පෘථිවියට ගෙනෙන්නේ මේ ප්‍රථම වතාවටයි.’ නාසා ආයතනයේ පරිපාලන ප්‍රධානියා වූ ජිම් බ්‍රයිඩ්න්ස්ටන් කියනවා. ට්‍රම්ප් පරිපාලනය යටතේ පත් වූ ඔහු ජනාධිපති බයිඩන්ගේ කෙනෙකුට ඉඩ දී ළඟදී ඉවත්වී යාමට නියමිතයි. 

මේ මෙහෙයුම සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක් වැය කොට තිබෙනවා. 

- පර්සි ජයමාන්න 

පහත විඩියෝවෙන් ඔබට ඒ ගැන නැරඹිය හැකියි.


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments