HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පරිසරය රැක ගන්න පෙරට එන්න! දැන් ඒ සඳහා හොඳම හෝරාවයි!

දාරළුවේ කඩු කරඳ ගහ

පරිසරවේදීන්ගේ හඬට කන්දීමට ජනාධිපතිතුමා ගත් තීරණය ගැන පරිසරයට ආදරය අයගේ මෙන් ම රටට ආදරය කරන හැමදෙනාගේ ම ප්‍රණාමය එතුමාට හිමි විය යුතුයි. එසේ ම දාරළුවේ කඩු කරඳ ගහ ගහලයන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් වෙහෙසුණු හැම දෙනාටමත් අපේ ප්‍රණාමය හිමි වෙනවා. මේ එක නිදර්ශකයක් වෙනුවෙන් කළ සටන රටපුරා සිදු කෙරෙන මහා වන විනාශය කෙරෙහිත් දිගු කළ යුතු වෙනවා. 

මේ මොහොත වන විට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බලපත්‍ර ලබා ගෙන විශාල වන සංහාරයක් දැන් සිදුවෙමින් පවතිනවා. සෝමාවතිය රක්ෂිතයේත්, පිදුරන්ගල ප්‍රදේශයේත්, පොල්ලබැද්ද රඹකැන් ඔය ප්‍රදේශයේත් දැන් මේ වන විටත් මහා පරිසර විනාශයක් සිදු වෙනවා. 

මෙරට සිදුවන පරිසර විනාශය පිළිබඳ තමන් දන්නා බව පිළිගනිමින් විශ්‍රාමික මේජර් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් අමතා ඒ ගැන ජනාධිපතිතුමා දැනුවත් බවත් ඒ නිසා පොලිසියත් සමග එක්ව ඒවා වහාම නවත්වා දමන්නට කටයුතු කළ යුතු බවත් වන සංහාරයට ඉඩ සැලසෙන පරිදි බලපත්‍ර නිකුත් නොකරන ලෙසත් ඉල්ලා සිටියා. ඩ්‍රෝන කැමරා මගින් අහසින් ගොස් ඒවා අධීක්ෂණය කරන්නට බලාපොරෙත්තු වන බවත් කීවා. පරිසරවේදීන්ටත් මහජනතාවටත් කළ හැක්කේ ඒවා පෙන්වා දී සහය දැක්වීම පමණයි. අපට මේවා නවත්වන්නට අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ සංවේදී ජනතාවක් බිහි කිරීමෙන් පමණයි. එසේ ඉදිරිපත් වන පරිසර විරයන් ආරක්ෂා කිරීමටත් හැකි වන්නේ එවිටයි. 

පසුගිය දා ආන්දෝලනයට ලක් වූ දාරළුවේ ගස ගැන කියන ජොන්ස්ටන් ප්‍රනන්දු මහාමාර්ග ඇමතිවරයා ඒ ගැන නැඟූ උද්ඝෝෂණය දකින්නේ ප්‍රතිවාදීන් විසින් මහාමාර්ග සංවර්ධනයට කරන අකුල් හෙළීමක් ලෙසයි. එත් ඔහුගේ ඒ කතාවට පිළිතුරු අධිවේගී මාර්ගය ඒ වනස්පතිය මග හැර ඉදි කරන බව ප්‍රකාශ කරමින් ඔහුගේ රජය විසින් ම දැන් දී තිබෙනවා. ඇමතිවරයා මහා හඬින් ඝෝෂා කරමින් කීවේ බෝධියකට වඳිනවා මිසක් වෙනත් ගස්වලට වඳිනවා තමන් කිසි දිනෙක දැක නැති බවයි. ඒත් එතුමා නියෝජනය කරන කුරුණෑගල ඇතුළු ප්‍රදේශවල වැසියන් අදත් වෘක්ෂ වන්දනාව කරනවා. අතීතයේ පණ්ඩුකාභය රජ දවස නුගගසටත්, තල්ගසටත් වැඳුම් පිදුම් කළ බව අපේ මහාවංශයේ පවා සඳහන් වෙනවා. 

නවසීලන්තයේ ජනතාවගෙන් පිදුම් ලබන වනස්පති ලෙස සලකන‘ටානේ මහුටා’ (Agathis australis) නම් කෞරී වෘක්ෂය. එහි විශාලත්වය ඒ යට සිටින මිනිසාගෙන් මැන ගත හැකියි.

ශ්‍රී මහා බෝධිය මෙහි වැඩමවීමත් සමඟ වෘක්ෂ වන්දනාවේ වෙනසක් සිදු වුණා. ශ්‍රී මහා බෝධිය වැදගත් වන්නේ බෞද්ධයන්ට පමණක් නොවෙයි. අඛණ්ඩ වාර්තාවක් ඇති ලොව පැරණිතම වෘක්ෂය එයයි. විද්‍යානුකූලව සලකන කල එයට වඩා පැරණි ජීවමාන වෘක්ෂ ලෝකයේ තවත් තිබෙනවා. ඒත් ඒවාට ලෝකයේ කවුරුවත් දොහොත් මුදුන් තබා වඳින්නේ නැත. එහෙත් ඊටත් වඩා වැඩි ගරුසැකිලි දක්වනවා. 

අපේ පාසල් පෙළ පොත් මගින් දැන් පරිසරය ගැන දරුවන්ට උගන්වනවා. පරිසරය සුරැකීම අවශ්‍ය ඇයි කියා කියා දෙනවා. ගස්වලට වඳිනවා කියන්නේ පරිසරයට වඳිනවා කියන එකයි. ඒ නිසා පරිසරයට වඳින එකටයි, පරිසරයට ගරු කරන එකටයි, හිනාවෙන අවස්ථාවාදී දේශපාලනඥයන්, පාලකයන් ඉතා ඉක්මනින් මේ පරිසරයෙන් තුරන් කළ යුතුයි. නැතිනම්, ඔවුන් වනසන පරිසරයත් සමග අපටත් ඉක්මනින් අවසන් ගමන් යාමට සිදුවනු නියතයි. 

එය නරඹන්නට එන අය ඒ අසලට යන්නට පෙර මෙතැනින් දෙපා සෝදා පිරිසිදු කර ගත යුතුය.

අපේ ඇතැම් ඇමතිවරුන්ට ගස්වලට වන්දනාමාන කරන එක විහිළුවක් වගේ පෙනුනට මට නම් ලෝකය දිහා බලන කොට ඒක වරදක් අපරාධයක් සේ පෙනෙන්නේ නෑ. මොකද නවසීලන්තයේ දී මා දුටුවා වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබෙන ගහකට කරන සැලකිල්ල කොයි වගේ ද කියලා. ඒක වසර 2000ක් පමණ පැරණි ‘ටානේ මහුටා’ (Agathis australis) නම් කෞරී වෘක්ෂය ප්‍රමුඛ රූස්ස ගස් නරඹන්නට අවශ්‍ය නම් ඒ අසලට යන්නට කලින් දෙපා සෝදා පිරිසිදු වීමට ඔබට සිදු වෙනවා. වන දෙවියෙකු සේ සලකා එරට වන්දනාවට පාත්‍රවී තියෙනවා. 

ලෝකයේ අනික් රටවල් කරනවා වගේ පරිසරය ආරක්ෂා කිරීමට ගත හැකි හැම පියවරක් ම වහාම අප විසින් ගතයුතු වෙනවා. අපේ පරිසර සාරක්ෂරතාව ගැන අවබෝධයක් දේශපාලනඥයන්ටත් ලබා දිය යුතු වෙනවා. එවිට පරිසරය රකින්නට කඩොලාන ශාක සිටුුවීම වැනි පරිසර ආරක්ෂිත ව්‍යාපෘතිවලට එරෙහිව දේශපාලනඥයන් විරුද්ධව නැඟී සිටින එකක් නැහැ. ‘හුස්ම ගන්න අපට ඔක්සිජන් ඕනේ නැහැ’ වැනි අමන කතා කියන එකක් නැහැ. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments